දිළිඳු සහන කපන්න බෑ | දිනමිණ

දිළිඳු සහන කපන්න බෑ

ආර්ථික අර්බුදයකට මුහුණ දෙන රාජ්‍යයක් ජනතාවට ආධාර සැපයීමට ඉදිරිපත් වීම ආර්ථික න්‍යායට අනුව වැරැද්දකි. ජගත් මූල්‍යායතනවල උපදේශනය වන්නේ සියලු සහන කපා හැර බදු මුදල් ඉහළ දමමින් රාජ්‍ය ආදායම් තර කර ගත යුතු බවය. එහෙත් ජනතාව කෙරෙහි සංවේදී වන ආණ්ඩුවකට ලෝක බැංකු උපදේශන ගෙඩිය පිටින්ම පිළිගන්න හැකියාවක් නැත. ආර්ථික න්‍යායන් පසෙක තබා ජනතාව ජීවත් කරවීම සඳහා කොන්දේසි විරහිතව ඉදිරිපත් වීමට එබඳු ආණ්ඩුවකට සිදු වෙයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුව ද රටේ දුප්පත්ම ජනතාව සඳහා ආර්ථික සහනයක් දීමට කටයුතු යොදමින් සිටී.

සමෘද්ධි දෙපාර්තමේන්තුවේ ගණන් හිලව්වලට අනුව පවුල් ලක්ෂ තිස්තුනක් අන්ත දිළිඳු තත්ත්වයේ පසුවන බව සඳහන් ය. එම පවුල් විවිධ ආධාර මත ස්වකීය ජීවිතය ගොඩනඟා ගනිති. පවත්නා ආර්ථික අර්බුදය හමුවේ ඔවුහු බලවත්ම පීඩාවක ගොදුරු බවට පත්ව සිටිති. ආහාර, ඖෂධ, තෙල්, ගෑස් යන සියල්ල ගිනි ගණන්ය. තෙල් හා ගෑස් අතහැර දැමුව ද ආහාර හා ඖෂධ නැතිව ජීවිතය ගැටගසා ගත නොහැකිය. වකුගඩු රෝගියකුගේ මාසික වියදම දුප්පත් පවුලකට ඔරොත්තු නොදෙයි. දියවැඩියාව, හෘද රෝග, අධික රුධිර පීඩනය වැනි නිදන්ගත රෝගවලින් පෙළෙන විශාල පිරිසක් ද දුප්පත් පවුල් අතර සිටිති. මේ අයට යම් සහනයක් දිය හැකිනම් එය ජාතික සේවාවක් ලෙස සැලකිය හැකිය.

දිළිඳුකම තීරණය කිරීම සඳහා ගනු ලබන නිර්ණායක සියයට සියයක් නිවැරැදි නොවන්නට පුළුවන. සමෘද්ධි දීමනා දීම සඳහා දේශපාලනය සලකා බලන්නටත් පුළුවන. ජනසවිය සඳහා පවුල් තෝරා ගැනීමේ දී ද එවන් දේවල් සිදු වී ඇත. එහෙත් මේ මොහොතේ ඒවා ශුද්ධ කිරීමට අවස්ථාවක් නැත. පොදුවේ දුප්පත් යැයි සලකන සියලු දෙනාට ආධාර දීමට සිදු වෙයි. ආණ්ඩුවේ අවධානය යොමු වී ඇත්තේ අදාළ පවුල් සඳහා මාසිකව රුපියල් පන්දහසක් හෝ හත්දහස් පන්සියයක් හෝ දීමටය. ඒ සඳහා සැලකිය යුතු මුදලක් වෙන් කිරීමට ද සිදු වෙයි. අවම ලෙස මාස තුනක්වත් එම ආධාරය අඛණ්ඩව ලබා දෙන්නට සිදු වෙයි.

රටේ මේ වන විට මිල උද්ධමනයක් පවතී. භාණ්ඩ හා සේවා මිල ශීඝ්‍රයෙන් ඉහළ යයි. මේ ආධාර සේ වක්‍ර බලපෑමක් හැටියට භාණ්ඩ හා සේවා මිල තවත් පියවරකින් ඉහළ යෑමටත් පුළුවන. එහෙත් අසරණ දරු පවුල් ලක්ෂ තිස්තුනක් ජීවත් කරවීම ඒ සියල්ලට වඩා වැදගත් බව ආණ්ඩුව තීරණය කර ඇති බවක් පෙනෙයි. අපට ද එම තීරණයට හිස නමන්න සිදු වී ඇත. රටේ ආර්ථිකය යම් ස්ථාවර තත්ත්වයක් පෙන්නුම් කරන තෙක් ඉහත ආධාරය දීම සුදුසු බව අපගේ හැඟීම වෙයි. රටක වටිනාම සම්පත මානව සම්පතය. එය ආරක්ෂා කිරීමට ආණ්ඩුවක් නිල වශයෙන් බැඳී සිටී. ඉදිරියේ දී ආහාර අර්බුදයක් මතුවිය හැකි බවට ද පුරෝකථන ඉදිරිපත් වී තිබේ. අගමැතිවරයා ද ඒ පිළිබඳ ඉඟියක් පළ කර ඇත.

ආහාර අර්බුදය කියූ සැණෙන් අපගේ සිහියට නැ‍ඟෙන සිදුවීම් දෙකක් ඇත. එකක් නම් අතීතයේ පැවතියා යැයි කියන බැමිණිටි සාය නම් සාගතයයි. එදා ශ්‍රී ලාංකිකයාට ගස්වල පොතු ආහාරයට ගෙන ජීවිතය ගැට ගසා ගන්නට සිදු වූ බව කියයි. අඛණ්ඩව වසර දොළහක් පමණ එම සාගතය පැවැති බව ද ඉතිහාසයේ සඳහන්ය. දෙවන්න නම් ඉතියෝපියාවේ දීර්ඝකාලීන සාගතයයි. එය ද වසර දොළහකට වඩා වැඩි කාලයක් පැවතියේය. මෑතක් වන තුරු ආහාර අර්බුදයේ හා සාගතයේ සංකේතය ලෙස ගත්තේ ඉතියෝපියාවේ දිළිඳු දරුවෙකි. එහෙත් එකී ශෝකජනක ඉතිහාසය වෙනස් කරන්නට ඉතියෝපියාවට හැකියාව ලැබී ඇත. නූතන ඉතියෝපියාව යනු ශීඝ්‍රයෙන් දියුණු වන රාජ්‍යයකි.

ශ්‍රී ලංකාව ද දුෂ්කර කාල පරිච්ඡේද ගණනාවක් පසු කර නැවතත් අතිශය දුෂ්කර කාල පරිච්ඡේදයකට මුහුණ දෙයි. මෙය නිදහසින් පසු කඩා පාත් වූ දරුණුම ආර්ථික කඩාවැටීම ලෙස විග්‍රහයට ලක් වී ඇත. අද වන විට ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර දීමට පවා ජාත්‍යන්තරය ඉදිරිපත් වී ඇත. තමිල්නාඩු ප්‍රාන්ත රාජ්‍යය මානුෂීය ආධාර රැගත් නෞකාවක් කොළඹ වරායට එවා ඇත. මේ මොහොතේ අන්තර්ජාතික ආධාර, ණය හා සහයෝගය නොමැතිව රට ගොඩනැඟීමේ හැකියාවක් නැත. අන්තර්ජාතික සහයෝගය ගත හැකි හොඳම රාජ්‍ය තාන්ත්‍රිකයා අගමැතිවරයා ලෙස පත්කර ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය කාර්යභාරය හොඳින් ඉටු කරමින් සිටින බව ද දැක ගත හැකිය.

මේ තීරණාත්මක අවස්ථාවේ විශ්වාසය ගොඩනඟා ගැනීමත්, රජයට සහයෝගය දැක්වීමත් අවශ්‍යයෙන්ම සිදු විය යුත්තකි. දේශපාලන පක්ෂවල නායකයන් සේම ජනතාව ද යම් කැපවීමක් කළ යුතුව තිබේ. දැන් කළ යුත්තේ මැතිවරණ ඉල්ලා සිටීම නොව ඉතා කෙටි කාලයකින් රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා දායකත්වයක් දීමය.

නව අදහස දක්වන්න