සනත් මිලාන් ඇතුළු හයක් ජූනි 1 දක්වා රිමාන්ඩ් | දිනමිණ

සනත් මිලාන් ඇතුළු හයක් ජූනි 1 දක්වා රිමාන්ඩ්

අරලියගහ මන්දිරය හා ගාලුමුවදොර විරෝධාතකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත, මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් 6 දෙනකු ජූනි මස 1 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඊයේ (25) නියෝග කළේය.

මේ සැකකරුවන් ඊයේ (25) අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර, හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිත තවත් සැකකරුවන් හය දෙනකු හෙට (27) තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් එදිනම ඔවුන් පෙරට්ටුව සඳහා ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය නියම කළේය.

එසේම නීතිපතිවරයා විසින් කළ ඉල්ලීම පරිදි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ස්ථාන මාරු නොකිරීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන ලෙස ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලිසියට නිමය කළේය.

ඊයේ (25) දිනයේ පැවති හඳුනා ගැනීමේ පෙරට්ටුවේදි සාක්ෂිකරුවන් විසින් හඳුනා නොගත් සැකකරුවන් තිදෙනකු හා සැකකාරියක් ඇප මත මුදා හරින ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

ඊයේ (25) පැවති හඳුනා ගැනීමේ පෙරට්ටුවට අදාළ නොවන පිරිසක් පැමිණ ඇති බවට විරෝධතාකරුවන් පිරිසක් විසින් චෝදනා එල්ල කිරීමත් සමඟ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය අසල උණුසුම්කාරි තත්ත්වයක් ද ඇති විය.

ඡායාරූපය - රුවන් ද සිල්වා

සුභාෂිණී සේනානායක

නව අදහස දක්වන්න