අමරකීර්ති අතුකෝරල ඝාතනයට සම්බන්ධ තවත් සිව් දෙනෙක් අත්අඩංගුවට | දිනමිණ

අමරකීර්ති අතුකෝරල ඝාතනයට සම්බන්ධ තවත් සිව් දෙනෙක් අත්අඩංගුවට

පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවන් සිවු දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් නිට්ටඹුව ප්‍රදෙශයේදී පෙරේදා (24) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවු දෙනා අවුරුදු 44, 34, 30, 20 යන වයස්වල පසුවන්නන් බවට අනාවරණය කරගෙන තිබෙන අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.

අතුකෝරල මහතාගේ ඝාතනය සම්බන්ධ සැකකරුවන් 12 දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කටයුතු කරගෙන යයි.

නිට්ටඹුව නගර මධ්‍යයේදී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට අමානුෂික ලෙස පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මඟින් නිට්ටඹුව නගරයේදී පසුගිය දා (20) අත්අඩංගුවට ගන්නා ලද අතර, එම සැකකරු 29 හැවිරිදි වියේ පසු වන බස් රථ රියැදුරෙකි.

මේ පහරදීමේ සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන සහ විවිධ පුද්ගලයන්ගෙන් ගත් ප්‍රකාශවලින් හෙළි වූ තොරතුරු මත මේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන බව ද පොලිසිය සඳහන් කරයි. ඉකුත් 9 දා දහවල් අමරකීර්ති අතුකෝරළ මහතා අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමකින් පසු සිය නිවෙස බලා යමින් සිටිය දී නිට්ටඹුව නගර මධ්‍යයේදී කලහකාරි පිරිසකගේ ප්‍රහාරයට ලක් විය.

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න