21 සංශෝධනයට හදිස්සියක් | දිනමිණ

21 සංශෝධනයට හදිස්සියක්

21 වන ව්‍යවස්ථා සංශෝධනය හදිසි කටයුත්තක් සේ සලකා සම්මත කර ගැනීමට යන බව පෙනෙයි. සමහර ජගත් ආයතන ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට පෙර එය සම්මත වනු දැකීමට කැමැත්තෙන් සිටින බව ද දැක ගත හැකිය. රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් ගැන දිගු කලක සිට සංවාද පැවැත්වෙයි. ඒ හැරෙන්නට 20 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු බවට ද, විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවට ද බලපෑම් තිබේ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටට කර ඇති විනාශය බලවත් යැයි කියන අය මෙන්ම එම ව්‍යවස්ථාවෙන් ස්ථාපනය කර ඇති විධායක ජනාධිපති ක්‍රමය රටක දියුණුවට අදාළ වැදගත් සාධකයක් යැයි තර්ක කරන අය ද සිටිති.

එක් පුද්ගලයකු කේන්ද්‍රකොට අසීමිත බලයක් ගොඩනැංවීම සුදුසු දෙයක් නොවන බව ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන බොහෝ දෙනකුගේ අදහසය. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පිළිගනු ලබන බොහෝ රාජ්‍යයන් ව්‍යවස්ථා සභාව, බුද්ධි මණ්ඩල, විශේෂ කමිටු, කොමිෂන් සභා ආදී වැදගත් ආයතන බලගන්වමින් රාජ්‍ය පාලනය ගෙන යයි. එය සැමට යුක්තිය හා සාධාරණත්වය ඉටු කරන බව ද ඒකාධිපති හිතුවක්කාරී තීන්දු තීරණවලට වැට බඳින බව ද බොහෝ දෙනා පිළිගනිති. එහෙත් අපේ රටේ පසුගිය කාලය තුළ සිදු වී ඇත්තේ තනි පුද්ගලයකු වටා බලය කේන්ද්‍රගත වීමට අවශ්‍ය ලෙස ව්‍යවස්ථාව වෙනස් කර ගැනීමය. මෙය පුරවැසි සමාජවල දැඩි විවේචනයට ලක්වූ කාරණයක් විය. දැනට පවතින දේශපාලන අවුලට බලපෑ සාධකයක් ලෙස ද එය පවතී.

අපේ මූලික ගැටලුව ආර්ථිකයේ කඩාවැටීම වුව ඒ හා සමඟ බැඳුණු දේශපාලන අවුල ද විසඳාගත යුතුව තිබේ. මේ අර්බුද දෙක එකිනෙකට සම්බන්ධය. ජපානයේ ජයිකා ආයතනය ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා සහයෝගය දැක්වීමට පෙර 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම අපේක්ෂා කරයි. ජගත් ආයතන සෑම රාජ්‍යයකම යහපාලනයක් අපේක්ෂා කරයි. ශ්‍රී ලංකාව ද එය පෙන්නුම් කළ යුතුය. ඒකාධිපති රාජ්‍යවලට සහයෝගය දැක්වීමට බලවත් රාජ්‍යයන් පවා කැමැති නැත. මේ හැරෙන්නට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට හඬක් විපක්ෂය ගෙන යයි. සියල්ල සලකා බලන විට ව්‍යවස්ථා සංශෝධනය හදිසි අවශ්‍යතාවක් ලෙස පවතී.

නව අධිකරණ අමාත්‍යවරයා 21 සංශෝධනයට අදාළ කෙටුම්පත සකස් කොට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. කැබිනට් මණ්ඩලය ඉදිරි දින කිහිපය තුළ එය සාකච්ඡා කරන අතර, පසුව පක්ෂ නායකයන් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවලින් පසුව එය ගැසට් කොට මහජන අදහස් විමසීමට ද නියමිතය. ඉහත අවස්ථා කිහිපයේදීම සංශෝධනයේ අඩුපාඩු සකස් කර ගත හැකිය. විපක්ෂ නායකවරයා මෙන්ම නීතිඥ සංගමය ද 21 වන සංශෝධනයට අදාළ යෝජනා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව සඳහන් වී ඇත. එය සාධනීය ලක්ෂණයකි. අපට අවශ්‍ය වන්නේ කාගේත් පිළිගැනීමට ලක් වන ව්‍යවස්ථා සංශෝධනයකි.

20 වන ව්‍යවස්ථා සංශෝධනය වැඩිදෙනකුගේ විවේචනයට ලක්වූ අතර, එහි එන විධායක ජනාධිපතිවරයාගේ බලය ශක්තිමත් කිරීම හා ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට මහජන නියෝජිතයන් ලෙස ක්‍රියා කිරීමට ඇති අවස්ථාව ගැන දැඩි විවේචන එල්ල විය. එම ව්‍යවස්ථා සංශෝධනය පුද්ගලයන් කිහිපදෙනකු මූලික කොට නිර්මාණය කරන ලද්දක් බවට ද චෝදනා ගොනු වී ඇත. පැවැති ආණ්ඩුවේ ඇතැම් සාමාජිකයෝ පවා 20 සංශෝධනය විවේචනය කරති. පාර්ලිමේන්තුවේ බහුතරය 20 සංශෝධනය බල රහිත කිරීමට කැමැති බව පැහැදිලිය. ජනතාවගේ පැත්තෙන් ගත හොත් 20 බල රහිත කිරීම ඉල්ලීමකි. ඒ අනුව ජනතා හඬට කන්දීමක් ලෙස ද 21 වන ව්‍යවස්ථා සංශෝධනය සැලකිල්ලට ගත හැකිය.

රටේ තරුණ පරම්පරාව උද්ඝෝෂණ පවත්වමින් සිස්ටම් චේන්ජ් එකක් හෙවත් ක්‍රමයේ වෙනසක් ඉල්ලා සිටී. ඔවුන්ගේ ඉල්ලීම වන්නේ සාධාරණ සමාජයකි. බලය එක් පුද්ගලයකු වටා කේන්ද්‍ර ගත වූ විට සාධාරණ සමාජයක් බිහි වන්නේ නැත. සෑම ක්‍රියාවලියක්ම විනිවිදභාවයෙන් යුතුව සිදු විය යුතු බව ද, සුදුස්සන් පමණක් තනතුරු පදවි භාර ගත යුතු බව ද ඔවුන්ගේ තර්කයකි. එවිට හොරකමට, කොමිස් ගැහීමට, නාස්තියට හා දූෂණයට ඉඩක් නැත. තරුණ පරම්පරාවේ ඉල්ලීම් සාධාරණය. එමෙන්ම නිවැරැදිය. තරුණ උද්ඝෝෂණ පහසුවෙන් මඟහැර යා හැකි සාධකයක් නොවේ. රටේ ආණ්ඩුව හා නායකයන් ඒ බව හොඳින් වටහා ගැනීම ඉතා වැදගත්ය.

21 වන ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පත මේ වන තෙක් ජනගත වී නැතත් එහිලා ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව කපා හැර ඇති බව ද විධායක ජනපතිගේ බලය සීමා කර ඇති බව ද සඳහන් වෙයි. මේ දෙකම යහපත් උත්සාහයන් ලෙස අගය කළ යුතුව තිබේ. සංශෝධනයට අනුව නැවත ස්වාධීන කොමිෂන් සභා සක්‍රිය කළ යුතුය. පොලිස් කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, මැතිවරණ කොමිසම, මානව හිමිකම් කොමිසම යළි සක්‍රිය කිරීම අලුත් දේශපාලන සංස්කෘතියක් බිහි වීමට පාර කපනු ඇත.

නව අදහස දක්වන්න