රටේ අනාගතය වෙනුවෙන් අගමැති යන ගමනට සහාය දෙනවා | දිනමිණ

රටේ අනාගතය වෙනුවෙන් අගමැති යන ගමනට සහාය දෙනවා

හිටපු රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත්

රටේ අනාගතය වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්ව යන ගමනට තමන් සම්පූර්ණ එකඟත්වය පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත් මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් හිටපු අැමැතිවරයා මේ බව සඳහන් කෙළේය

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩී.බී. හේරත් මහතා මෙසේද පැවසීය.

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව හදන්න දායක වුණ කෙනෙක් හැටියටත් ඒ ආණ්ඩුව පවත්වා ගෙන යන්න කටයුතු කරපු කෙනෙක් හැටියටත් ඒ ආණ්ඩුවේ රාජ්‍ය ඇමැති ධුරයක් දරපු කෙනෙක් හැටියටත් පසුගිය කාලේ මේ රටේ කෲරතර දේශපාලන ක්‍රියාවලිය තුළ නිවාස අහිමි වූ මහජන නියෝජිතයෙක් හැටියටත් අද මම ඔබව මුණ ගැහෙනවා. විශේෂයෙන් මේ රට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා භාර ගන්න කොට ආර්ථිකය කඩාගෙන වැටිලා තිබුණේ. යහපාලන ආණ්ඩුවේ ක්‍රියාකාරකම් එක්ක කඩාගෙන වැටුණ ආර්ථිකය එකතු වෙලා සමාජ විපරීත බවක් නිර්මාණ වෙලා ජාතීන් අතර අසමගිය වර්ධනය වෙලා වර්ගවාදයට නැවත පණ පෙවුණ ආණ්ඩුවක් තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බාර ගත්තේ.

එතුමා රට බාර අරගෙන මේ සියල්ල නිවැරැදි කරලා යථා තත්ත්වයට පත් කළා. අවසාන මොහොතේ අනපේක්ෂිතව කොරෝනා උවදුර ආවම ඒකටත් හරියට මුහුණ දුන්නා. ඒකට අපට සාක්ෂි තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා කොරෝනා උවදුරට සාර්ථකව මුහුණ දුන්න ආණ්ඩුවක් වශයෙන් පැසසුමට ලක් කළා. අවසාන ප්‍රතිඵලය වුණේ අපට මුල්‍යමය අර්බුදයකට මුහුණ දෙන්න සිදු වීමයි. විදේශ සංචිත සම්පූර්ණයෙන්ම නැති වෙලා බින්දුවට බැහැලා රට නැවත කොතැනටද ගෙනියන්නේ කියලා ප්‍රශ්නය අප හමුවේ තියෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ වගේ කාරණාවකට මුහුණ දෙන්න සිදු වුණේ පහුගිය අවුරුදු 73ක මේ රටේ ක්‍රියාත්මක වූ ආණ්ඩුවල නායකයන්ගේ යම් යම් වැරදි ක්‍රියාමාර්ග නිසයි.

අපි මූණ දෙන බරපතළ ගැටලු කිහිපයක් තියෙනවා. එකක් තමයි ඉන්ධන අර්බුදය. අපට ඉන්ධන මිල දීලා ගන්න මුදල් නැහැ. ඒ නිසාම විදුලි අර්බුදයක් ආවා. එකත් බරපතළ ප්‍රශ්නයක්. තව පැත්තකින් ගත්තම මේ රටේ ජනතාව විවිධ පැතිකඩවලින් අසහනයට පත් වෙලා තිබෙනවා. ඔවුන්ගේ බෙහෙත් හිඟය ආහාර හිඟය ගත්තොත් මේ රටේ ජනතාවට ජීවත් වෙන්න තියෙන මූලික අයිතිවාසිකම් අහිමි වෙමින් පවතිනවා. මහජනතාව ස්වාභාවිකව ඔවුන්ගේ ඉල්ලීම් වෙනුවෙන් අවශ්‍යතා වෙනුවෙන් පෙළ ගැසීම වළක්වන්න බැහැ.

මම බොහොම ප්‍රජාතන්ත්‍රවාදීව සිහිපත් කරනවා. මූලික අයිතිවාසිකම් නැති වෙනකොට ජනතාව පාලක පක්ෂයට එරෙහි වීම ස්වභාවයක්. අප ඒ තත්ත්වය අද අත්විඳිනවා.මහජන නියෝජිතයෝ හැටියට පාර්ලිමේන්තුවට ආපු විවිධ දේශපාලන පක්ෂවල පුද්ගලයන්ගේ දේශපාලන අතීතය ගත්තම ඔවුන් රට පාලනය කරන්න විවිධ පැතිකඩවල් තුළින් හවුල් වුණ අයයි.

ඒ කාරණාවේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරාදියේ එක පැත්තකට දාලා මෙතෙක් කාලයක් විනාශකාරී ක්‍රියාවලට හවුල් වූ ඒ කණ්ඩායම් සියල්ල තරාදියේ අනිත් පැත්තට ගිහින්. දැන් මේ පාර්ශ්ව දෙක දෙපැත්තට බෙදිලා කතා කරන කොට පාර්ලිමේන්තුව තුළ අපි දකින්නේ මිලේච්ඡත්වය. පාර්ලිමේන්තුවට ඉස්සෙල්ලම ආපු කෙනෙක් හැටියට අතීතයේ අපි ලබල තියෙන අත්දැකීම් වල හැටියට පාර්ලිමේන්තුව කියන්නේ බුද්ධිමය සංවාදයක් යෙදෙන ස්ථානයක්. නමුත් අද වෙන කොට මිලේච්ඡත්වය වපුරන තැනක් බවට පත් වෙලා.

දේශපාලන පක්ෂවලට බෙදිලා පටු ද්වේෂ සහගත අදහස් වෙනුවෙන් විවේචනය කරන්න පටන් අරන් තියෙනවා. මිලේච්ඡත්වය ප්‍රදර්ශනය කරනවා. මේ මිලේච්ඡත්වය මූලික අයිතිවාසිකම් පිළිබඳ කල්පනා කරලා පාරට බැහැපු ජනතාව එක්ක එකට ගැටිලා තියෙනවා.

මේ දේශපාලන කාරණාව තුළ සමස්ත සමාජයම හඹාගෙන යන්න පටන් අරගෙන තියෙනවා. අද ජීවිත විශාල ප්‍රමාණයක් අපට අහිමි වුණා. දේපොළ විශාල ප්‍රමාණයක් අහිමි වුණා. ජනතාව ප්‍රශ්න වලට මුහුණ දෙනවා. මම යෝජනා කරන්නේ පාර්ලිමේන්තුවට ආපු පක්ෂ විපක්ෂ දේශපාලන කඳවුරු වල සියලු දෙනා එකතුවෙලා තමුන් ඉතිහාසයේ කරපු වැරැද්ද නිවැරදි කරන්න අන්තර්ජාතිකව හවුල් වෙලා රටේ විදේශ විනිමය ප්‍රශ්නයට විසඳුමක් දෙන්න ඕනේ. ඒ වෙනුවට ඔවුන් කරන්නේ මහා බරපතළ ඛේදවාචකයක්.

අනාගතයේ ස්වකීය ආණ්ඩුවක් හැදීමේ වුවමනාව පෙරදැරි කරගෙන මහජනතාව විකෘතියක් බවට පත් කරගෙන සහසික අපරාධයක් සමාජයට කරන එකයි.”

නෙරංජලා වික්‍රමසිංහ

නව අදහස දක්වන්න