නාස්තිය, අල්ලස හා දූෂණය වැළැක්වීමට වෘත්තීය සමිතිවල සහාය ඕනෑ | දිනමිණ

නාස්තිය, අල්ලස හා දූෂණය වැළැක්වීමට වෘත්තීය සමිතිවල සහාය ඕනෑ

වරාය හා නාවික, ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

නාස්තිය, අල්ලස හා දූෂණය වැළැක්විම සඳහා වෘත්තීය සමිතිවල සහාය බලාපොරොත්තු වන බව වරාය හා නාවික ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගියදා (23) පැවසීය.

ඇමැතිවරයා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය නියෝජනය කරන සියලු වෘත්තීය සමිති නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් වරාය අධිකාරියේ පැවැති සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වී ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

“මා කම්කරු අැමැතිවරයා ලෙස කටයුතු කරන අවධියේදී වැඩකරන ජනතාව සමඟ සමීපව කටයුතු කරමින් සේව්‍ය සේවක සම්බන්ධතාව ශක්තිමත් කිරීම තුළින් වැඩවර්ජන සහ උද්ඝෝෂණවලට ජනතා කොළඹ පොලඹවන්නේ නැතිව කටයුතු කරන්න උත්සාහ දැරුවා. විශේෂයෙන්ම වැඩකරන ජනතාවගේ ප්‍රශ්න විසඳීමට අප කටයුතු කළ යුතුයි. අැමැතිවරයා ලෙස මගේ පළමු කාර්යය වන්නේ වරාය සේවයේ යෙදෙන ඔබ තමුන්නාන්සේලාගේ ප්‍රමුඛතා හඳුනාගෙන මනා සබඳතාවයකින් යුතුව කටයුතු කිරීමයි.

ඒ වගේම මේ රටේ තිබෙන සෑම රාජ්‍ය ආයතනයකටම එරෙහිව තිබෙන විවේචනය තමයි නාස්තිය දූෂණය සහ අල්ලස. මෙම කාරණය නවත්වන්න පුළුවන්. වෘත්තීය සමිති නායකයින් ලෙස ඔබේ වගකීමක් එවැනි නාස්තියක් දූෂණයක් අල්ලසක් සිදු වන ඕනෑම අවස්ථාවකදී පෞද්ගලිකව ඒ පිළිබඳ මා දැනුවත් කිරීම.

වසර 50කට ආසන්න මගේ දේශපාලන ජීවිතය තුළ මං කිසිවිටෙක ඥාති සංග්‍රහය කළ අයෙක් නොවේ. මගේ කිසිම ඥාතියකු මා දේශපාලනයට ගෙනවිත් නැහැ. සංස්ථා සභාපතිවරුන් ලෙස ඥාතීන් පත්කර නැහැ. මම නිකලැල් පිරිසිදු දේශපාලනයක නියැළුණු කෙනෙක්. එම නිසා සංවර්ධන කටයුතු පිළිබඳ පරිපාලන වැඩ කටයුතු පිළිබඳ ඔබතුමන්ලා මා වෙත දෙන අදහස් හා යෝජනා කෘතවේදීව භාර ගන්නවා.

මෙම ආයතනයේ යම් යම් කොටස් පුද්ගලීකරණය කිරීමට එරෙහිව කරන ලද සටන් සහ එමඟින් ගත් ජයග්‍රහණ වගේම දේශීය ආයෝජන මඟින් එම පර්යන්ත ආරම්භ කිරීමේදී මතුවන ගැටලු පිළිබඳව ඔබේ දැනුවත් වීම අගය කරනවා. දැන් එළැඹ තිබෙන්නේ ප්‍රායෝගික ගැටලු පිළිබඳ අවබෝධයක් ගෙන නිර්මාණශීලීව හා ප්‍රතිඵලදායි ක්‍රමවේදයන් තුළින් අප සියලු දෙනාම එකමුතුව අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතු කාලයක්. මේ සඳහා ඔබගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම අප ආයතනයේ අනවශ්‍ය වියදම් අවම කළ යුතුයි . අධ්‍යක්ෂ මණ්ඩලය තුළ ඉහළ නිලධාරීන්ගේ වියදම් සහ වරප්‍රසාද දීමනා පිළිබඳව ආයතනික වියදම් පිළිබඳව සාකච්ඡාවකින් පසු උපරිම ලෙස වියදම් අඩුකර ගැනීමට කටයුතු කළ යුතුව තිබෙනවා. ජනතාව තුළ අප පිළිබඳව ප්‍රසාදයක් ඇති කරවන්නට එමඟින් හැකි වෙනවා.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජනතාවගේ දුක වේදනාව තේරුම් ගෙන යම් ධනාත්මක ආකාරයකින් මේ කාරණා පිළිබඳව සංවේදීව කටයුතු කරනු ඇතැයි කියා මා බලාපොරොත්තු වෙනවා.

අපි රටේ ජනතාවගේ අවශ්‍යතාවය තේරුම් ගෙන කටයුතු කිරීම ප්‍රධානයි. ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් ගෑස්, විදුලිය, ඉන්ධන, ආහාර දීම තමයි අපගේ රජයේ ප්‍රධානතම අභියෝගය.

ඉන් පසුව මහ මැතිවරණයක් පවත්වා තම තමන්ගේ දේශපාලන මතය අනුව කටයුතු කරන්න පුළුවන්. නමුත් රටේ පවතින මෙම ආර්ථික අර්බුදයෙන් අප රටේ ජනතාවට සහන සලසා දෙන තුරු ඔබතුමන්ලා අවබෝධයෙන් යුතුව අපට අවශ්‍ය සහයෝගය දෙනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. එසේ නොවුණහොත් අප සියලු දෙනාටම සිදුවන්නේ කබලෙන් ලිපට වැටෙන්නයි.

වරාය රටේ සංවර්ධනය සඳහා අත්‍යවශ්‍යම දෙයක්. සිංගප්පූරුව, ඉන්දියාව වැනි රටවල් අපට අභියෝගයක්. අපේ වරාය කාර්යක්ෂම හා ක්‍රියාශීලී වරායක් බවට පත් කර නොගත හොත් අපට අන්තර්ජාතිකව තරඟ කරන්නට පුළුවන්කමක් නැහැ. ඒ නිසා මගේ බලාපොරොත්තුව අන්තර්ජාතිකව තරඟ කළ හැකි කාර්ය මණ්ඩලයක් සහිත වරායක් බවට මෙම වරාය ප්‍රසාරණය කරමින් අනාගතයට සරිලන සේ වරාය දියුණු කිරීමයි. ඒ සඳහා අවශ්‍ය සැලසුම් වෙනුවෙන් ඔබ අප සියලු දෙනා එක්ව වැඩ කරමු.”

රන්මලී සෝමසිරි

නව අදහස දක්වන්න