හිස් භාණ්ඩාගාරයක් භාර ගත් රනිල් රට ගොඩ දැමීමේ වගකීම අකුරටම ඉටු කරනවා | දිනමිණ

හිස් භාණ්ඩාගාරයක් භාර ගත් රනිල් රට ගොඩ දැමීමේ වගකීම අකුරටම ඉටු කරනවා

හිටපු ඇමැති වජිර අබේවර්ධන

හිස් භාණ්ඩාගාරයක් භාර ගත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඒ සියලු අභියෝගවලට මුහුණ දී රට ගොඩ දැමීමේ වගකීම අකුරටම ඉටුකරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අැමැති වජිර අබේවර්ධන මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කෙළේ පෙරේදා (24) දහවල් මාධ්‍යයට අදහස් දක්වමිනි.

තවදුරටත් ඒ මහතා මෙසේද පැවසීය.

“වර්තමානයේ උද්ගතව ඇති අර්බුද ජය ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන වැඩපිළිවෙළට අන්තර්ජාතික සහයෝගයද ලැබෙමින් තිබෙනවා. එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය ලැබිය යුතුයි.

වර්තමානයේ රට මුහුණ පා තිබෙන අර්බුදවලින් රටත්, ජනතාවත් ආරක්ෂා කර ගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබෙනවා. පසුගිය කාල පරිච්ඡේදය පුරාවට ජනතා ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට අපොහොසත් වීම නිසා මේ වනවිට රට දැවැන්ත අර්බුදයකට තල්ලු වී තිබෙනවා. මේ අර්බුදයෙන් රට ගොඩගැනීමට සියලු පාර්ශ්වයන් එක්විය යුතුයි.

අද සියලු දේශපාලන පක්ෂවලින් සමන්විත කැබිනට් මණ්ඩලයක් තියෙනවා. ප්‍රශ්නය විසඳන්න අඩුම තරමින් පාර්ලිමේන්තුවේ 175ක් වත් සහයෝගයක් තිබිය යුතු බව අගමැතිවරයාගේ අදහසයි. රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මන්ත්‍රීවරුන් 160 ඉක්මවා ඉන්නවා . එක ආසනයකට පුළුවන් වුණා 160 ක් හදන්න. ඒකට හේතුව තමයි එතුමගේ වසර 55 ක දේශපාලන අත්දැකීම්. මෙවැනි අභියෝගවලට මුහුණු දෙන්න පුළුවන් ශක්තියක් ඔහුට තිබෙනවා.

නීතිය අතට අරන් විවිධ කණ්ඩායම් ප්‍රචණ්ඩ ක්‍රියා කරන්න ගියොත් කිසිම මහජන නියෝජිතයකුට දේශපාලනය කරන්න ලැබෙන්නෙ නෑ. ඒ නිසා නීතිය අනුව ක්‍රියාකරන්න තිබෙනවා. ගෝල්ෆේස් පිටිය අපට අලුත් ආදර්ශයක් දුන්නා. ඒ ස්ථානය ආරක්ෂා කරන්න ඕනෑ කියන මතයේ අපි ඉන්නේ. එදත් එහෙමයි. හෙටත් එහෙමයි. අලුත් පරම්පරාව අලුත් වැඩක් කළා. 71 දී මෙන් අවි ආයුධ වෙනුවට ඒ අය පෑන් අතට ගත්තා. ඒ අය පොත අතට ගත්තා. අලුත් දර්ශනයක්, අලුත් පරම්පරාවක් ඉදිරියට ඇවිල්ලා. ඒකට මුවා වෙලා විවිධ අය කැරලි ගසනවා. ගෝල්ෆේස් පහර දිම සම්පූර්ණයෙන්ම වැරදියි. ඊට පසුව කළ දේත් වැරදියි. රටක නීතිය සාමය තියෙන්න ඕනෑ. නැතිනම් ඒ රටට කවුරුත් උදව් කරන්නෙ නෑ.

අරලියගහ මන්දිරයට පැමිණ පොළොන්නරුව නිවස බලා පිටත්ව ගිය පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුකෝරළ මැතිතුමා අහිංසක කෙනෙක්. එතුමා උදේටත් බුදුන් වැඳලා ගෙදරින් යන්නේ. හවසටත් එතුමා බුදුන් වඳිනවා. ආගම දහම එක්ක හිටපු කෙනෙක්. මං දැක්කා විවිධ සමාජ මාධ්‍යවල තිබෙනවා එතුමාව තුන් මහල් ගොඩනැල්ලක උඩට අරන් ගිහින් ගහලා ගහලා මරලා ඊට පස්සේ සතෙකුටවත් කරන්න බැරි දේවල් කරලා තිබුණේ, කකුල් දෙකෙන් ඇදගෙන එනවා තට්ටු 3 ඉඳලා පහළට තරප්පු පෙළේ ඔලුව දඩ දඩ ගාලා වැදි වැදී. මේ වගේ මිලේච්ඡ අදහස් තිබෙන අය පාලනය කරන්න ඕනෑ. ඒකට බයවෙන්න ඕන නෑ.

කිසිම ප්‍රචණ්ඩ ක්‍රියාවකට එක්සත් ජාතික පක්ෂයේ අය සහභාගී වුණේ නෑ. මෙවැනි පහත් ක්‍රියාවන්ට සම්බන්ධ නොවීම ගැන මා ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා. චණ්ඩිකම් පතුරවනවා නම් මේ රටට නීතියක් අවශ්‍ය නෑ.

අගමැති ධුරය බාර ගන්නැයි ජනාධිපතිතුමා කතා කළ අවස්ථාවේ ගෝල්ෆේස් පිටියට අත නොතැබිය යුතු බවට රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දුන්නා. එතන හැම දේශපාලන පක්ෂයකම පිරිස් ඉන්නවා. හැබැයි පක්ෂ නියෝජනයකින් තොරව එකම අරමුණකින්. ඔක්කොම එකතු වුණාම රට ගොඩගන්න පුළුවන්. ඒක තමයි අපේ පක්ෂයේ නායකයාගේ බලාපොරොත්තුව.

අද වනවිට ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීමවලදී අප තවත් ශ්‍රේණියක් පහළට ගොස් තිබෙනවා. දැන් අපි ඉන්නේ D කියන මට්ටමේ. මෙවැනි අවස්ථාවක පාර්ලිමේන්තුවේ ඉන්න සියළු දෙනාම ඇගමැතිවරයාගේ වැඩ පිළිවෙළට සහාය දිය යුතුයි. සමහර අය තනතුරු ගන්නේ නැතිව ස්වේච්ඡාවෙන් උදව් කරනවා. ශ්‍රී ලංකාව පත්ව තිබෙන මේ අර්බුදකාරී තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා ලෝකයේ බොහෝ රටවල් අපට උදව් කිරීමට ඉදිරිපත්ව සිටිනවා.”

ශිරෝමි අබයසිංහ

නව අදහස දක්වන්න