පුත්තලම ලුණු ලේවාය ජනතාවට විස කවන තැනක් වෙලා | දිනමිණ

පුත්තලම ලුණු ලේවාය ජනතාවට විස කවන තැනක් වෙලා

පුත්තලම ලුණු ලේවාය තුළින් පාරිභෝගිකයාට සිදුකරන අසාධාරණයක් සම්බන්ධයෙන් පුවතකි මේ.ලුණු නිෂ්පාදනය කෙරෙන්නේ කාන්තාරකරණය කරන ලද මුඩු බිම් තෝරා හොඳින් වාතාශ්‍රය ලැබෙන ආකාරයටය.සමතලා පොළොව මත සකස් කරන ලද පාත්ති වෙත අධික ලවණ මිශ්‍ර කළපු ජලය රැගෙන විත් ලුණු නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය සිදු කර ගෙන යනු ලබයි.අතීතයේ සාම්ප්‍රධායික ක්‍රමවේදයන් අනුගමනය කළ ඇතැමුන් ලුණු ලේවායේ ජලය රැඳවීම සඳහා මැටි මිශ්‍ර පස් යොදා ගෙන පාත්ති ඉදිකර තිබුණද වර්තමානය වන විට එය යම්තාක් දියුණු මට්ටමක් කරා ගොස් පරිසර හිතකාමි ලෙස ලෑලි යොදා සිය පාත්ති සකස් කිරීම සිදු කර ඇත්තේ බොහෝ කාලයක් පාත්තියේ කල් පැවැත්ම රඳා පවත්වා ගැනීම පිණිසය.

නමුත් මෑත කාලයේදී ඒ සියල්ලෙන්ම ඔබ්බට ගිය ලුණු ලේවාකරුවා විවිධ රසායනික මිශ්‍ර කර නිෂ්පාදනය කරන ලද ඇස්බැස්ටෝස් සෙවිළි තහඩු ලුණු ලේවාවල පැති බැමි සඳහා උපයෝගි කිරීමට කටයුතු කරති.ලුණු යනු අධික ලවණ මිශ්‍ර රසායනයක් හේතුවෙන් ශීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා කර මළ බැදීම, දිරාපත්වීම ආදිය සිදුවන නිසාවෙන් මෙලෙස ඉවක් බවක් නොතකා පැති බැමි සඳහා ඉදිකර ඇති ඇස්බැස්ටෝස් තහඩු ක්ෂණිකයෙන් දිරාපත් වී ලුණු සමඟ මිශ්‍ර වීම සේම ඒවායේ ඇති රසායනික ද්‍රව්‍ය සමඟ ප්‍රතික්‍රියා කිරීමද සිදුවේ. ඒ අනුව මිනිස් පරිභෝජනය සඳහා ගන්නා ලුණු සමඟ ඒවාගේ කොටස්ද අපගේ ආහාර වේලට එක්කාසු වේ.එපමණක් නොව මේ වන විට පුත්තලම නගරය කේන්ද්‍ර කර ගනිමින් ආහාරය සදහා ඝාතනය කරන ගවයන්ගේ ශරීර කොටස් මළ අපද්‍රව්‍ය සියල්ල මෙම ලුණු ලේවාය අසලට බැහැර කිරීම පුරුද්දක් ලෙස සිදු කර ගෙන යනු ලබයි.මේ වන විට අධික දුගදක් සේම සුනඛයන්ගේ, කපුටන්ගේ පාරාදීසයක් බවට පුත්තලම ලුණු ලේවාය පත්ව තිබේ. එලෙස ලුණු ලේවායට බැහැර කරන අපද්‍රව්‍ය දැනට පවතින වැසි තත්ත්වයත් සමඟ ජලයට මුසුවී සෘජුව ලුණු ලේවා වෙත ගලා යෑම සිදුවේ.එබැවින් මේ පිළිබඳ සොයා බලා කඩිනම් සුදුසු පියවරක් ගැනීම අදාළ බලධාරීන්ගේ වගකීමකි.

කේ.ප්‍රියංකර කළුපහන වනාතවිල්ලුව සමූහ

නව අදහස දක්වන්න