දේවහූව ව්‍යාපාරයේ ගොවියෝ කුඹුරු වගාවට සීමා පනවාගෙන | දිනමිණ

දේවහූව ව්‍යාපාරයේ ගොවියෝ කුඹුරු වගාවට සීමා පනවාගෙන

දඹුල්ල දේවහුව ජලාශය යටතේ වගා කෙරෙන කුඹුරුවලින් පහෙන් එකක් පමණක් මෙවර වගා කොට ඉතිරි සියල්ල වී වගාවෙන් ඉවත් කිරීමට එහි ගොවියෝ පියවර ගෙන තිබේ.ඉන්ධන හිඟය, රසායනික පොහොර සහ අනෙකුත් කෘෂි යෙදවුම් නොමැති වීම නිසා මෙම තීරණයට එළැඹි බව දේවහුව ව්‍යාපාරයේ කුඹුරු ගොවීහු පවසති.දේවහූව ජලාශය මෙරටට බත සැපයීම් සඳහා ම වසර ගණනාවකට ඉහතදී ඉදිකොට කුඹුරු අක්කර පහ බැගින් ගොවීන්ට පරිත්‍යාග කළ ව්‍යාපාරයකි.

උතුරු මැද සහ මධ්‍ය පළාත් දෙකම පෝෂණය කිරීම දේවහුව ජලාශය යටතේ සිදු කෙරේ.ඉතිහාසයේ කිසිදු දවසක මෙවැනි සිද්ධියකට තමන් මුහුණ පා නැති බවද එම ගොවීහු පවසති.ජලාශයේ ජලය වාරිමාර්ග නිලධාරීන් විසින් කුඹුරු වගාව සඳහා ලබාදී තිබේ.ජලය සම්පූර්ණ ලබාදී තිබුණද ගොවීන් කියා සිටියේ තමන්ට අක්කර පහක ප්‍රමාණයක් කුඹුරු තිබුණද එක් අක්කරයක් පමණක් වගා කරන බවය.

අක්කර එකක ප්‍රමාණය කෙසේ හෝ වගා කරගන්නේද තම දූ දරුවන්ගේ කුස ගින්න නිවා ගැනීමට පමණක් බවද දේවහුව ව්‍යාපාරයේ ගොවීහු පවසති.එක ගොවියකුට අක්කර පහ බැගින් කුඹුරු කට්ටි 460ක් ව්‍යාපාරය යටතේ පවතින බව පෙන්වා දෙන ගොවීන් රසායනික පොහොර ඉන්ධන ලබා ගැනීමේ පහසුකම ගොවීන්ට ලබා දෙන්නේ නම් ඉතිරි අක්කර හතර ද කඩිනමින් වගා කිරීමට හැකියාව තිබෙන බවද එහි වගකීම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ රජය ලබාග ගත යුතු බවද පෙන්වා දෙති.

සම්පූර්ණයෙන්ම කළු කඩ ජාවාරම්කරුවන් විසින් ගොවීන් නතු කර ගෙන තිබෙන බවද රසායනික පොහොර රුපියල් විසිදාහ සිට රුපියල් 40,000 දක්වා ඕනෑ තරම් තම බල ප්‍රදේශයේ මිලදී ගැනීමට තිබෙන බවද ඔවුහු පෙන්වා දෙති.එතරම් අධික මිලක් ලබා දී කුඹුරු වගා කිරීම්ට ගොවීන්ට නොහැකි බවද පෙන්වා දෙන ගොවීන් කියා සිටියේ කඩිනමින් මේ දිනවල ආහාර අර්බුදයට විසඳුම් සෙවීමට රජය පියවර ගන්නේ නම් කඩිනමින් රසායනික පොහොර සහ ඉන්ධන ලබා දීම සිදු කළ යුතු බවය.

සීගිරිය විශේෂ

නව අදහස දක්වන්න