ශ්‍රී ලංකාව අනුග්‍රහය දුන් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී සම්මත වෙයි | දිනමිණ

ශ්‍රී ලංකාව අනුග්‍රහය දුන් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී සම්මත වෙයි

ලෝක මුහුදු තෘණ දිනය ලෙස ප්‍රකාශයට පත්කිරීම සඳහා ශ්‍රී ලංකාව සිය අනුග්‍රහය දුන් A/76/L.56 නමැති යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී සම්මත වී තිබේ.

ඒ අනුව මාර්තු මස පළමු වැනිදා ලෝක මුහුදු තෘණ දිනය වශයෙන් ප්‍රකාශයට පත් කෙරෙන අතර පසුගිය 23 වැනි දා එය සම්මත කරගෙන තිබෙන බවද මෙම යෝජනාව පොදු එකඟතාවකින් සම්මත වූ අතර රටවල් 24ක් ඒ සඳහා සම අනුග්‍රහය දැක්වූ බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මහතා, න්‍යාය පත්‍රයේ 15 වැනි අංගය වන ‘ආර්ථික, සමාජීය සහ ඒ ආශ්‍රිත ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පැවැත්වෙන ප්‍රධාන එක්සත් ජාතීන්ගේ සම්මන්ත්‍රණ සහ සමුළු ඒකාබද්ධ කිරීම හා සම්බන්ධීකරණ කිරීම සහ එහි ප්‍රතිඵල පසු විපරම් කිරීම’ යටතේ මෙම යෝජනාව හඳුන්වා දුන්නේ ය.

දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීමේ දී විශ්වීය වැදගත්කමක් සහිත මෙන්ම, කුඩා වුවද වැදගත් වූ අංගයක් කෙරෙහි අවධානය යොමු කිරීම සහ දැනුම්වත් කිරීම සඳහා මුහුදු බඩ රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව දක්වන උනන්දුව තානාපතිවරයා සිය හැඳින්වීමේ දී අවධාරණය කෙළේ ය. වෙරළ ඛාදනයෙන් ආරක්ෂා කිරීම, මුහුදු පතුල ස්ථාවර කිරීම, වඩාත් අවදානමට ලක් විය හැකි පරිසර පද්ධතිවල ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම, සාගර ජීවීන් ගණනාවකගේ ආහාර ස්ථායීතාවය වැඩි කිරීම සහ කාබන් අවශෝෂණය කරගන්නා මූලාශ්‍රයක් වශයෙන් මුහුදු තෘණ සතු වැදගත්කම පිළිබඳව මෙන්ම දේශගුණික විපර්යාසවල බලපෑම් සීමාකිරීම සඳහා මුහුදු තෘණ මඟින් ඉටුවන ප්‍රධාන භූමිකාව අවධාරණය කළේය. ලෝක මුහුදු තෘණ සංගමය මෙම ප්‍රයත්නය සඳහා ශ්‍රී ලංකා රජය වෙත සිය සමීප සහයෝගය දුන්නේ ය.

රටවල් 159ක සහ මහාද්වීප හයක වර්ග කිලෝමීටර් 300,000ක් පමණ ආවරණය වන පරිදි ව්‍යාප්ත වී ඇති මුහුදු තෘණ පෘථිවිය සතු අතර්ඝ සමුද්‍ර පරිසර පද්ධතියකි. මෙම වැදගත් පරිසර පද්ධතිය පාරිසරික, ආර්ථික සහ සමාජීය ප්‍රතිලාභ රැසක් ලබා දෙයි. ලෝකයේ සාගර කාබන් ප්‍රමාණයෙන් සියයට 18ක් දක්වා ගබඩාකර තබා ගන්නා මුහුදු තෘණ සතු කාබන් ග්‍රහණය කිරීමේ සුවිසල් හැකියාව, මෙහි වඩාත් සුවිශේෂී ප්‍රයෝජනය ලෙස දැක්විය හැකි ය.

දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම්වලට අනුවර්තනය වීමට සහ එම බලපෑම් අවම කිරීමට උත්සාහ කිරීමේ දී මුහුදු තෘණ ආරක්ෂා කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම අත්‍යවශ්‍ය මෙවලමක් බවට පත්කරන වැසි වනාන්තරවලට වඩා මෙය ඉතා විශාල වේ. වාණිජ හා විනෝදාත්මක මත්ස්‍ය විශේෂ මෙන්ම කැස්බෑවන්, මුහුදු ඌරන් සහ මැනටියන් වැනි වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මත්ස්‍ය විශේෂ ඇතුළු සමුද්‍ර ජීවීන් ගණනාවකට ආහාර සහ නවාතැන් සැපයීම හරහා පරිසර පද්ධති ආශ්‍රිත සහය දීම සහ මුහුදු පතුල ස්ථාවර කිරීම යන වැදගත් කාර්යයන් මුහුදු තෘණවල භූමිකාවට ඇතුළත් වේ.

එසේ වුවද මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මුහුදු තෘණ පරිසර පද්ධති විනාශ වෙමින් පවතී. “ලොව පුරා වසරකට මුහුදු තෘණ සමුද්‍ර වාසස්ථානවලින් සියයට 7ක් විනාශ වෙමින් පවතින බවත්, එය සෑම විනාඩි 30කට වරක් අහිමි වන මුහුදු තෘණ සහිත පාපන්දු පිටියකට සමාන වන බවත්” ‘Out of the Blue: the value of seagrasses to the environment and to people’ නමැති එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන් ප්‍රකාශනයේ සඳහන්ව ඇත.

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න