මුදල් ඇමැති ධුරය අගමැති රනිල්ට | දිනමිණ

මුදල් ඇමැති ධුරය අගමැති රනිල්ට

  • සති හයක් ඇතුළත සහන අය-වැයක්
  • අගමැති රොයිටර් පුවත් සේවයට කියයි

ජනතාවට ඉක්මන් සහන දිම සඳහා සති හයක් ඇතුළත සහන අයවැයක් ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (25) ප්‍රකාශ කළේය.

මුදල් ඇමැතිවරයා වශයෙන් ඊයේ දිව්රුම් දීමෙන් අනතුරුව රොයිටර් පුවත් සේවය සමගින් සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වෙන් කර ඇති මුදල් වසර දෙකක සහන වැඩසටහනක් සඳහා යොදවන බවත් මිලියන 22ක් වන ජනගහනයෙන් වඩාත් අවදානම් කණ්ඩායම් සඳහා අවශ්‍යතාවයන් පිරිමසා ගැනීමට අරමුදල් සැපයීම රජයේ අරමුණ බවත් අගමැතිවරයා කීය.

හැකි සෑම තැනින්ම වියදම් කපාහැර කර ඉතිරි කරගන්නා මුදල් අතුරු අයවැය සහන සැපයීමට යොදා ගන්න බව කී වික්‍රමසිංහ මහතා රටේ රුපියල් ආදායම අඩු වී ඇති හෙයින් තවත් රුපියල් ට්රිලියනයක් අච්චු ගැසීමට සිදු වන බවත් සඳහන් කළේය. ඒ හේතුවෙන් වාර්ෂික උද්ධමනය 40%ක් දක්වා වැඩිවිය හැකි බවත් ඒ හේතුවෙන් මෙරට ගෘහස්ථ වියදම් තවත් සීඝ්‍රයෙන් වැඩිවිය හැකි බවටත් අගමැතිවරයා පෙන්වා දුන්නේය. අර්බුදය විසඳීමට ගන්නා විවිධ පියවර හේතුවෙන්ද රට තුළ උද්ධමනය තවත් වැඩි විය හැකි බව අවධාරණය කළ ඒ මහතා එයින් මහපාරේ උද්ඝෝෂණ ද තවත් වැඩි විය හැකි බවත් සඳහන් කළේය. නමුත් එම උද්ඝෝෂණ අනවශ්‍ය ගැටුම්කාරී තත්ත්වයකට වර්ධනය නොවෙතැයි තමා අපේක්ෂා කරන බවත් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනතාව ගැටලුවලට මුහුණ දෙන විට ඔවුන් උද්ඝෝෂණ පැවැත්විය යුතු නමුත් එමගින් රට තුළ දේශපාලන තත්ත්වය අස්ථාවර වීමට නොදෙන බවත් පැවසීය.

ශිරෝමි අබයසිංහ

නව අදහස දක්වන්න