දැනට තිබෙන අත්‍යවශ්‍ය බෙහෙත් සහ හිඟ ඖෂධ ලේඛනයක් ඉදිරිපත් කරන්න | දිනමිණ

දැනට තිබෙන අත්‍යවශ්‍ය බෙහෙත් සහ හිඟ ඖෂධ ලේඛනයක් ඉදිරිපත් කරන්න

අගමැතිගෙන් සුව සේවා අමාත්‍යාංශයට උපදෙස්

ශ්‍රී ලංකාව සතුව පවතින අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සහ හිඟ ඖෂධ වර්ග පිළිබඳ ලේඛනයක් වහා ඉදිරිපත් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයට ඊයේ (25) උපදෙස් දුන්නේය.

වර්තමාන ආර්ථික අර්බුදය හේතුවෙන් පවතින ඖෂධ හිඟය සඳහා කෙටිකාලීන සහ මධ්‍යකාලීන විසඳුම් පිළිබඳ සාකච්ඡා කිරීමට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අගමැති කාර්යාලයේ දී ඊයේ (25) පැවැති සාකච්ඡාවකදී අගමැතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ උපදෙස් දුන්නේය.මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 76ක හිඟයක් පවතින බවත් දේශීය ඖෂධ සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 33ක හිඟ මුදල් ගෙවීමට ඇති බවත් එහිදී අනාවරණය විය. ඉන්දීය ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු අමෙරිකානු ඩොලර් මිලියන 200ක වටිනා ඖෂධ මිල දී ගැනීමට අපට ඩොලර් නැති වීම සම්බන්ධයෙන් ආණ්ඩු දෙක අතර සිදු කෙරුණු සාකච්ඡාවලින් අනතුරුව ශ්‍රී ලංකා රුපියල්වලින් එම ණය මුදල් ගෙවීමට එකඟ වී ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී දැනුම් දුන්නේය.

ප්‍රංස රජය මගින් හෙට දිනයේ ආධාර ලෙස දීමට නියමිත ඖෂධ හා නිර්වින්දන උපකරණ තොගය නිසා දිවයිනේ සියලු හදිසි ශල්‍යාගාර ඒකක දින 90ක කාලයක් අඛණ්ඩව පවත්වාගෙන යෑමට හැකි වන බව සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙහිදී සඳහන් කළේය.

ඖෂධ නියාමන අධිකාරිය විසින් කඩිනමින් ඖෂධ මිල දී ගැනීම සිදු කරන අතරම ඖෂධ නියාමන අධිකාරි පනත සංශෝධනය කිරීමට සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ස්වාධීන කමිටුවක්ද පත් කෙරිණි.

සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල, ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, හිටපු ඇමැති රුවන් විජයවර්ධන සහ හිටපු ඇමැති සාගල රත්නායක මහත්වරුන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සමඟ රජයේ සෞඛ්‍ය බලධාරීහු රැසක් මේ සාකච්ඡාවට සහභාගි වූහ.

ශිරෝමි අබයසිංහ

 

නව අදහස දක්වන්න