කැපුම් තුවාල සහිතව මියගිය තරුණයකුගේ පිලිස්සුණු සිරුරක් නිරාවිය තේක්ක කැලේ | දිනමිණ

කැපුම් තුවාල සහිතව මියගිය තරුණයකුගේ පිලිස්සුණු සිරුරක් නිරාවිය තේක්ක කැලේ

නිවෙසේ සියලු දෙනා නින්දට යන විටත් තරුණයා රූපවාහිනී බලමින් සිටි බව නෑදෑයෝ කියති

සිගැරට් ලයිටරයක් ඔස්සේ පොලිස් පරීක්ෂණ ඇරැඹේ

කැපුම් තුවාල සහිතව පිලිස්සී අභිරහස් ලෙස මරණයට පත් තරුණයකුගේ මළ සිරුරක් අනුරාධපුර නීරාවිය තේක්ක කැලයේ දී පසුගියදා (24) සොයා ගැනිණ.

මෙම මළ සිරුර අවුරුදු විස්සක් පමණ වයසේ පසුවන අනුරාධපුර දේවානම්පියතිස්සපුර ප්‍රදේශයේ පදිංචි තරුණයකුගේ බවට මේ වන විට පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇති අතර මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අනුරාධපුර පොලිසිය විසින් ආරම්භ කර තිබේ.

මිය ගිය මෙම තරුණයාගේ ඥාතීන් පවසන්නේ පසුගියදා (23) රාත්‍රි එකොළහ හමාර වනවිටත් නිවෙසේ සියලු දෙනා නින්දට යනවිටත් මෙම තරුණයා රූපවාහිනිය නරඹමින් සිටි බවය. පසුව ඊයේ උදෑසන මෙම අය නිවෙස තුළ නොසිටි බැවින් ප්‍රදේශයේ පල්ලියටත් පසුව අනුරාධපුර පොලිසියටත් ගොස් සොයා බැලුවද එම ස්ථානවල නොසිටි බැවින් ඥාතීන් විසින් තේක්ක කැලේ සිදු කරන ලද සොයා බැලීමෙන් පසුව මරණයට පත් මෙම පුද්ගලයාගේ ශරීරය හමු වූ බවයි.

පිලිස්සී මිය ගිය මෙම තරුණයාගේ සිරුර ආසන්නයේ තිබී ඔහුගේ ජංගම දුරකතනය සහ ලයිටරයක් තිබී පොලිසිය විසින් සොයාගෙන ඇති අතර එම උපකරණ පිලිස්සීමට හසු නොවීම සම්බන්ධව ද පොලිසිය විසින් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු අනුරාධපුර මුලස්ථාන පොලිසිය විසින් සිදු කරනු ලැබේ.

ඡායාරුපය-අනුරාධපුර අතිෙර්ක

අමිල ප්‍රභාත් වනසිංහ-අනුරාධපුර අතිරේක

නව අදහස දක්වන්න