උඩු ගුවනින් ගෙනා දෙකෝටියක ගංජා රේගු තැපෑලේදී අල්ලයි | දිනමිණ

උඩු ගුවනින් ගෙනා දෙකෝටියක ගංජා රේගු තැපෑලේදී අල්ලයි

රුපියල් දෙකෝටි තිස් අට ලක්ෂ පනස් දහසක් (238,50,000) ක් වටිනා කුෂ් නමැති ගංජා තොගයක්, ගුවන් තැපැල් ඔස්සේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබියදී 05/24 දින අත්අඩංගුවට ගැනීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් සමත් වී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය.

එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව සහ අමෙරිකා එක්සත් ජනපදය යන රටවල සිට ශ්‍රී ලංකාවේ තැපැල් ලිපිනයන් 10 ක් වෙත රසකැවිලි සහ තැපැල් ලිපි ලෙස, පාර්සල් 10 ක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබුණි.

මෙම පාර්සල් භාර ගැනීමට කිසිවෙකුත් නොපැමිණීම නිසා මෙම ලිපිනයන් පිළිබඳව සොයා බැලීමේ දී, ඒවා ව්‍යාජ ලිපිනයන් බවට සනාථ වීම නිසා, එම පාර්සල් විවෘත කර පරීක්ෂා කිරීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පියවර ගෙන තිබුණි.

එසේ විවෘත කළ පාර්සල් තුළ කුෂ් නමැති ගංජා කිලෝ ග්රැම් 02 යි ග්රැම් 385 ක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

මෙම අත්අඩංගුවට ගැනීමට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්ය මණ්ඩලය ද රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්ට සහාය දක්වා තිබුණි.

මේ වනවිට මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.

කටුනායක ටී.කේ.ජී.කපිල

නව අදහස දක්වන්න