රෙක්ස් ඉන්ඩස්ට්‍රීස් කර්මාන්ත විශිෂ්ටතා සම්මාන දිනයි | දිනමිණ

රෙක්ස් ඉන්ඩස්ට්‍රීස් කර්මාන්ත විශිෂ්ටතා සම්මාන දිනයි

යන්ත්‍රෝපකරණ නිෂ්පාදන ක්ෂේත්‍රයේ වසර 45ක කීර්තිමත් ඉතිහාසයක් සහිත රෙක්ස් ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සංවිධාන කළ කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උලෙළේදී විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වෝටර්ස් එජ් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවති සම්මාන උලෙළේදී සමාගමේ අධ්‍යක්ෂ සහන් ප්‍රනාන්දු මහතා සම්මානය ගත්තේය. “මේ ජයග්‍රහණයට දායක වූ අපගේ සමස්ත කාර්ය මණ්ඩලයටත්, අප පිළිබඳ සැම දා විශ්වාසය තබන පාරිභෝගිකයන්ටත් මම ස්තූතිවන්ත වෙනවා. ඉදිරියටත් විශිෂ්ට නිමැවුම් රැසක් කරමින් විදේශ විනිමය ඉතිරි කරමින් දේශීය ආර්ථිකයට ශක්තියක් වීමට අප සූදානම්.” කළමනාකාර අධ්‍යක්ෂ/නිර්මාතෘ සුනිල් ප්‍රනාන්දු මහතා පැවසීය. 1977දී එක් යන්ත්‍රයකින් ව්‍යාපාර කටයුතු ඇරැඹූ රෙක්ස් ඉන්ඩස්ට්‍රීස් කර්මාන්ත ක්ෂේත්‍රයේ ඕනෑම යන්ත්‍රයකට අවශ්‍ය අමතර කොටස් ශ්‍රී ලංකාවේදීම නිෂ්පාදනය කර එම යන්ත්‍රවල අලුත්වැඩියා කටයුතු කරයි. විදේශවලින් ආනයනය කරන අමතර කොටස්වලට සමානව අන්තරිජාතික ප්‍රමිතියෙන් සහ ඉහළ ගුණාත්මකභාවයෙන් පරිපූර්ණව අමතර කොටස් නිපදවීම රෙක්ස් ඉන්ඩස්ට්‍රීස් සමාගමේ විශේෂත්වයයි. රෙක්ස් ඉන්ඩස්ට්‍රීස් ප්‍රධාන කර්මාන්ත ශාලාව මීගමුවේ පිහිටා ඇත. එකම වහලයක් යටින් සියලු කර්මික යන්ත්‍ර සහ වාහන අමතර කොටස් නිෂ්පාදනය කර ගැනීමේ පහසුකම සහිත එකම ශ්‍රී ලාංකික සමාගම රෙක්ස් ඉන්ඩස්ට්‍රීස්ය. ඕනෑම කෙනකුට අවශ්‍ය යන්ත්‍රයක්, අමතර කොටස් හා දැති රෝද රෙක්ස් ඉන්ඩස්ට්‍රීස් සමාගමෙන් අලුතින් සැලසුම් කර නිෂ්පාදනය කරවා ගැනීමේ හැකියාව ද ඇත. ISO 9001:2015 තත්ත්ව සහතිකයෙන් මෙන්ම තවත් ව්‍යවසායකත්ව සම්මාන රැසකින් රෙක්ස් ඉන්ඩස්ට්‍රීස් පිදුම් ලබා ඇත. රෙක්ස් ඉන්ඩස්ට්‍රීස් නිෂ්පාදනය කරන පොල් කර්මාන්තය ආශ්‍රිත යන්ත්‍රෝපකරණ රැසක් මැලේසියාව, දකුණු අප්‍රිකාව, සොලමන් දූපත්, ඉන්දියාව, පිලිපීනය, මියන්මාර්, ටැන්සානියාව ආදි රටවල් රැසකට අපනයනය කරයි. වර්තමානයේදී තේ, පොල්, රබර් ආදි කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාළ යන්ත්‍ර නිෂ්පාදනයට රෙක්ස් ඉන්ඩස්ට්‍රීස් ප්‍රමුඛතාවක් දී ඇත.

 

නව අදහස දක්වන්න