සිරිසඟබෝ රජු හිස දන් දුන්නේ කොතැන ද? | දිනමිණ

සිරිසඟබෝ රජු හිස දන් දුන්නේ කොතැන ද?

රාජාංගණයේ පිහිටි හත්ථිකුච්ඡි විහාරය

සිරිසඟබෝ රජතුමා රාජ්‍ය පාලනය අතහැර වනගත වූ බව වංශකතාව සඳහන් කරයි. ඔහු පලාගිය ස්ථානය හා හිස දන් දුන් ස්ථානය ගැන පොදු ජනයාගේ ඒකායන විශ්වාසය වූයේ අත්තනගල්ල ය. නමුත් පසුගිය සියවසෙහි මැද භාගය වන විට මේ ගැන පුරාතත්ව විද්‍යාඥයන් සහ ඉතිහාසඥයන් අතර කිසියම් මතභේදයක් ඇති විය. ඒ හත්ථිකුච්ඡි වෙහෙර සහ අත්තනගල්ල වෙහෙර පිළිබඳවය. හත්ථිකුච්ජි වෙහෙර පිහිටියේ ගල්ගමුවට නුදුරු රාජාංගණයේය. එය හත්ථිකුච්ඡි නම් වූ පැරණි සංඝාරාමයකි. මෙහි ඇති ශිලාලේඛන ප්‍රමාණය පනහකට වැඩිය. පැරණි බ්‍රාහ්මී ලෙන් ලිපි දෙකක් ද පර්වත ලිපි පනස් හයක් ද පියගැට හා පනාබැමි ලිපි තුනක් ද සලපතළ ලිපි දෙකක් ද ටැම් ලිපියක් ද එහි වෙයි. මේ ලිපිය තවමත් නිරාකරණය නොවූ අත්තනගල්ල-හත්ථිකුච්ඡි දෙවෙහෙරෙහි මතවාද පිළිබඳවය.

‘අතිකුචි‘ වෙහෙර භාවනායෝගීන්ට සුදුසු බව විශුද්ධි මග්ගයෙහි සඳහන්ව ඇත. මෙය මුල දී භාවනායෝගී භික්ෂූන් වැඩවාසය කර පසුව පුළුල් වූවකි. හත්ථිකුච්ජි වෙහෙර නමින් හැඳින්වෙන මෙහි ලෙන් 38ක් ඇති බව මහාචාර්ය නොච්චියේ සෝමානන්ද හිමියෝ පවසති. මෙම වෙහෙරෙහි ක්‍රි. ව. දෙවැනි සියවසේ සිට නවවැනි සියවස දක්වා සංවර්ධිතව පැවති බවත් විශාල භික්ෂු ගණයක් වැඩසිටි බවත් ආචාර්ය සෙනරත් දිසානායක පවසයි.

මෙහි ඇති ලෙන්ලිපිවලින් වැඩි සංඛ්‍යාවක් ‘වහරල‘ ලිපි වන්නේය. මෙම වහරල ලිපි මඟින් ‘විහාර සලාක‘ හඳුන්වන බවත්, වහල් සේවය හඳුන්වන බවත්, විහාර කුටි හඳුන්වන බවත් පුරාවිද්‍යාඥයන් සහ ඉතිහාසඥයන් සඳහන් කර ඇත. මෙහි විශාල ජනතාවක් රැස් වූ බව බුද්ධඝෝෂ හිමියන් සඳහන් කර ඇත.

හත්ථිකුච්ඡි වෙහෙර පිළිබඳ මහාවංශයේ දෙපළක සඳහන් වේ. එනම් (ක්‍රි. ව. 772-777) සත්වන අග්‍රබෝධි රජ ඇත්කුස් වෙහෙරෙහි ප්‍රසාද කර වූ බව සඳහන් කර ඇත. එසේම ක්‍රි. ව. 815-831 රාජ්‍ය විචාර දෙවන දප්පුල රජතුමා දිරාගිය ප්‍රාසාදයක් අලුත්වැඩියා කළ බව සඳහන් කර ඇත.

ඉන්පසුව හත්ථිකුච්ඡි වෙහෙර සාමාන්‍ය ජනතාව අතර, පූජනීය ස්ථානයක් ලෙස වන්දනාවට පාත්‍ර වී පැවතියේය. නමුත් නැවත වැඩි වශයෙන් එය කතාබහට ලක්වූයේ 1971 වසරේ දී සිදු කළ මත ප්‍රකාශයකිනි.

ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතා 1965 සාහිත්‍ය විශේෂ කලාපයට ‘සත් කෝරලයේ ශිල්ප ශාස්ත්‍ර‘ නමින් සැපයූ ලිපියක මෙබඳු අදහසක් පළකර ඇත. (මෙය පසුව ඔහු ‘ශාස්ත්‍රීය ලිපි හා කතා‘ යනුවෙන් පළකළ කෘතියෙහි සඳහන් කර ඇත.)

‘වන්නි හත්පත්තුවෙහි මී ඔයෙන් එගොඩ කෝරලයේ ගල්කඩවර නම් ගමට නුදුරු රාජාංගණයේ උස්මාලයක බැඳි පෙර වටදාගෙයකින් වසා තිබුණු දාගැබක් ඇත. මෙම දාගැබ ද අමුතු නිර්මාණයකින් කැපූ ගලින් වටේට බැඳ තිබූ එකකි. මෙම වටදාගේ සිරිසඟබෝ රජු හිස දන් දුන් තැන ගොළු අබා රජ විසින් කළ දාගෙයයි සිතීමට වංශකතා අටුවාවෙන් සාක්ෂි ලැබේ.‘

මෙම පාඨයෙන් අදහස් කරන්නේ සිරිසඟබෝ රජතුමා හිස දන් දුන් තැන සිහිවීම පිණිස ගෝඨාභය රජු එම ස්ථානයේ කළ දාගැබ හස්තිකුච්ඡියේ පිහිටා ඇති බවය. මේ සඳහා මහාවංශයට ලියූ පරිකතාව ඒ සඳහා හේතු සපයන බව ඔහු පවසන්නේය. මෙම මහාවංශ ටීකාව මහාවංශයේ මහානාම හිමියන් පමණක් ලියූ කොටසට ලියූ ටීකාවකි. මෙය මහානාම හිමියන් විසින්ම ලියන්නට ඇතැයි ගෛගර් පවසා ඇත. මෙම ටීකාවට මහාවංශයට නොගත් කොටස් ඇතුළත් කර තිබේ. මහාවංශ ටීකාව මහානාම හිමියන් විසින්ම ලියූවක් නොවන බව පොල්වත්තේ බුද්ධදත්ත මහානාහිමියෝ පවසති. මහාවංශ ටීකාවේ සඳහන් පාඨයක් මුල්කර ගනිමින් චාල්ස් ගොඩකුඹුරේ මහතා අදහස් දක්වා ඇත. එම පාඨය මෙසේය.

‘ගොඨකාභයො තං භවත්තිංසුක්මා අතීත විමහිතමානසො හුත්වා තස්ස පුරිසස්ස ධනං දත්වා රඤ්ඤෝ සිරිසංඝබෝධිනො සරීරස්ස සාධු සක්කච්චං ආළාහනසක්කාරංකාරයිති. අත්ථෝ තස්ස පන ඣාපිකට්ඨානෙ තං නාමිකං ඉස්සර සමණවිහාරතො දක්ඛිණදිසාභගෙ විහාරකූචකාරයිත් දට්ටබ්බො‘

මෙම මහාවංශ ටීකා පාඨයෙහි සඳහන් ‘සරීරස්ස‘ යන වචනය අනුව සිරිසඟබෝ රජතුමාගේ ශරීරය ඉසුරුමුණියට දකුණු දිසාවෙහි ආදාහනය කළ බව සඳහන් වෙයි.

මගියා සිරිසඟබෝ රජතුමාගේ හිස පුවක් කොළයක ඔතා මල්වලින් සරසාගෙන ආ බවත් එය ගෝඨාභය රජතුමාට පිළිගැන්වූ බවත් රජතුමාට එය හඳුනා ගැනීමට නොහැකි වූ බවත් අත්තනගලු වංශය සඳහන් කර ඇත. එයින් පෙනී යන්නේ ඒ වන විට හිස හඳුනාගත නොහැකි තත්ත්වයට පත්වී ඇති බවය. ඒ අනුව නරක් වෙමින් තිබූ හිස ඉසුරුමුණියෙහි දකුණු දෙසින් ආදාහනය කළ බවය.

ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතා මහාවංශය ටීකාවේ සඳහන් ඉහත සඳහන් පාඨයෙහි ඇති ‘සරීරස්ස‘ යන වචනය පදනම් කරගෙන 1965 සාහිත්‍ය සඟරාවට ලියූ ලිපියෙහි ඉහත අදහස ඉදිරිපත් කර ඇත. මෙම අදහස මතයක් ලෙස පවතිද්දී මහාචාර්ය නොච්චියේ සෝමානන්ද හිමියන් සාධක ගෙන හැර දක්වමින් එය රාජාංගණයේ හත්ථිකුච්ඡි වෙහෙර බිමෙහි ආදාහනය කළ බව සනාථ කිරීමට හත්ථිකුච්ඡි විහාරවංශය නමැති කෘතියක් 1995දී ලියා එළිදැක්වීය. මේ අනුව සිරිසඟබෝ රජතුමා හිස දන් දුන් ස්ථානය වර්තමානය අත්තනගල්ල නොව හත්ථිකුච්ඡි වෙහෙර බව සනාථ කිරීම සඳහා නොච්චියාගම සෝමානන්ද හිමි කෘතියක් ලියද්දී අනිකුත් අය ඒ ගැන අනුමාන කළහ. මහාවංශ ටීකා පාඨයේ සඳහන් ‘සරීරස්ස‘ යන වචනයට පාදක වී සැක සහිත මත ඉදිරිපත් කළහ. මොවුන් අතර, සෙනරත් පරණවිතාන මහතා, සී. ඩබ්. නිකලස් මහතා ප්‍රධාන වන්නේය. සෙනරත් පරණවිතාන මහතා ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය පළමු කාණ්ඩයෙහි 185 පිටෙහි මෙසේ පවසන්නේය.

‘මේ උදාරතර ආත්ම පූජාව කරන ලද්දේ අත්තනගල්ලේ යයි කියනු ලැබේ. එය සිහිපත් කරවීම සඳහා අත්තනගල්ලේ කරවන ලද විහාරය අදත් විශිෂ්ට පුණ්‍යතීර්ථයකි‘

එසේ සඳහන් කරන අතරම ඔහු මෙසේ සඳහන් කරයි. එම ඡේදයට පා සටහනක් තබන්නේ 26 අංකය යටතේය. එම සටහනෙහි මෙසේ සඳහන් වන්නේය.

‘දහතුන්වැනි ශතවර්ෂයට අයත් හත්ථවනගල්ල විහාරවංශය ලිවීමේ දී මහාවංශය xxxvi පරිච්ඡේදයෙහි 73-97 ගාථාවල සඳහන් විස්තර තවත් දුර හැඩගස්සාගන්නා ලද්දේය. මහාවංශ විස්තරයේ අත්තනගල්ල ගැන සඳහන් නොවේ. මහාවංශ ටීකාවේ 671 පිටේ සඳහන් පරිදි සිරිසංඝබෝධි රජු ආදාහනය කළ තැන ගොඩනංවන ලද විහාරය පිහිටා තිබුණේ අනුරාධපුරයේ ඉස්සර සමණ විහාරයට දකුණු පැත්තේය.‘

මෙහිද නිශ්චිත ස්ථානයක් ගැන සඳහන් නොවේ. ඉසුරුමුණියට දකුණු පැත්තේය. මෙය තහවුරු කරන විද්වතුන් අතරට ආචාර්ය සී. ඩබ්. නිකලස් මහතා ද එක්වෙයි. ඔහුගේ පුරාතන හා මධ්‍යතන ලංකාවේ ඓතිහාසික විස්තරය යන කෘතියෙහි මෙසේ දක්වයි.

‘වර්තමාන අත්තනගල්ල සිරිසංඝබෝධි රජු (247-249) හිස දන් දුන් තැන හැටියට ප්‍රසිද්ධ විය. මීට ඓතිහාසික සාධක නැත. මේ කතාව වෙනස්කම් සහිතව සෑම වංශකතාවකම වාගේ දක්වා තිබේ. ගෝඨාභය සිරිසංඝබෝධි දැවූ තැන වටදාගෙයක් තැනවීය. දෙවන උපතිස්ස මේ ස්ථානයෙහි පස්මහල් පහයක් කරවා රන් ආලේප කළ උළු සෙවිලි කරවීය. දෙවන පරාක්‍රමබාහු වටදාගේ පිළිසකර කරවා තුන්මහල් කරවා විහාර භූමියෙහි තම පියා දැවූ තැන පත්තිරිප්පු හැඩයේ පිළිම ගෙයක් හා සෑයක් ද කරවීය. අත්තනගල්ල වටදාගෙය සිරිසංඝබෝධි රජතුමා දැවූ තැන දැක්වීමට සාදන ලද්දක්ය යන විශ්වාසය බොහෝ මෑතක දී ඇති වූවකි. කලින් සිට රැස්කරන ලද තොරතුරු අනුව රචනා කරන ලද මහාවංශ ටීකාව අනුව සිරිසඟබෝ රජතුමා දැවූ තැන සාදන ලද විහාරය තිබුණේ අනුරාධපුර ඉස්සර සමණ විහාරයට දකුණිනි.‘

ඉහත සඳහන් සිව්දෙනාගේම මූලික අදහස ගොඩනඟා ඇත්තේ මහාවංශ ටීකාවේ ඇති ඉහත සඳහන් කර ඇති ඡේදයේ පාලි ‘සරීරස්ස‘ යන වචනය පදනම් කරගෙනය. .

මෙම තිදෙනාගේම අදහසට වඩා වෙනත් අදහසක් එම්. ඩබ්. විමල් විජේරත්න මහතා මෙසේ සඳහන් කරයි.

‘මහාවංශ ටීකාවේ 671 පිටේ සඳහන් සිරිසඟබෝ රජු ආදාහනය කළ තැන ගොඩනඟන ලද විහාරය පිහිටා තිබුණේ අනුරාධපුරයේ ඉස්සර සමණ විහාරයට දකුණු පැත්තේය යන අදහස සාධක කොට ඇත්තේ යථෝක්ත මහාවංශ ටීකා පාඨයම වෙයි. මහාචාර්ය පරණවිතාන මහතාත් ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ මහතාත් යටකී මත පළකිරීම සඳහා උපයෝගී කොටගත් මහාචාර්ය මලලසේකර මහතා විසින් සංස්කරණය කරනු ලැබූ මහාවංශ ටීකාවේ යථෝක්ත පාඨය මලලසේකර මහතා විසින්ම යළි වෙනස්කොට සංස්කරණය කොට එම මහාවංශ ටීකා සංස්කරණයේම ප්‍රස්තාවනාවේ සඳහන් කර තිබේ.‘

එම සංශෝධනය ගැන එම විද්වතුන් දෙදෙනා කතා නොකරන අතර, නොච්චියේ සෝමානන්ද හිමියන් ඒ ගැන සඳහන් කර තිබේ. හත්ථිකුච්ඡි විහාරවංශයේ මෙසේ සඳහන් වෙයි.

‘මහාවංශ ටීකාවේ පැවති ඡේදයේ සරීරස්ස යන පැරණි ශුද්ධ පාඨය අයින්කොට ඒ වෙනුවට සරීරස්ස යනුවෙන් වෙනස් කළ පසු අර්ථකථනයේදී හා කරුණු වටහාගැනීමේදී ඇතිවන ව්‍යාකූලභාවය පිළිබඳ නොසිතීම අවාසනාවකි. එහෙත් ශෝධනය කළ විද්වතාණන් සඳහන් කර ඇත්තේ තමාට දකින්නට ලැබුණු හැම පිටපතකම සරීරස්ස යන වචනය සඳහන්ව තිබුණ නිසා සරීරස්ස යන වචනය තිබූ තැනට සරීරස්ස යන පාඨය යෙදූ බවයි.‘

නැවත මලලසේකර මහතාගේ සංශෝධන ගැන සඳහන් කරන්නේ නම් ඒ මෙසේය.

‘මහාවංශ ටීකාව සංස්කරණය කිරීම සඳහා මහාචාර්ය මලලසේකර මහතා ආශ්‍රය කරනු ලැබූ පුස්කොළ පොත් අතරින් A.J.N. යනුවෙන් හැඳින්වූ මහාවංශ ටීකා පුස්කොළ පොත් තුනේම අදාළ ස්ථානයේ තිබී ඇත්තේ ‘සිරිසංඝබෝධිනො සරීරස්ස‘ යන පාඨය වේ. A.J.N. යනුවෙන් හැඳින්වූ මහාවංශ ටීකා පොත් තුන පිළිවෙළින්, A - බලපිටියේ වැලිතර අභයරුක්ඛාරාමය

J - කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පුස්තකාලය

N - පැරීසියේ ජාතික පුස්තකාලය

මේ අනුව මහාචාර්ය මලලසේකර මහතා මහාවංශ ටීකාවේ 671 පිටුවෙහි 6 ඡේදය යටතේ පළ කළ අදහස එතුමා විසින්ම එම කෘතියේම ප්‍රස්තාවනාවේදී ම සංශෝධනය කර තිබේ. මෙම සංශෝධනය ගැන පරණවිතාන මහතාත්, චාල්ස් ගොඩකුඹුර මහතාත් අවධානය දක්වා නොමැත. මේ අනුව මහාවංශ ටීකාව ද සිරිසඟබෝ රජතුමාගේ හිස ඉසුරුමුණිය විහාරය දකුණු දෙසින් ආදාහනය කළ බව සඳහන් කරයි. තවද එතන චෛත්‍යයක් ගොඩනැඟූ බව ද සඳහන් වේ. එළු අත්තනගලු වංශය ද මෙම සිද්ධිය සඳහන් කරයි.

මේ අනුව අපට පෙනී යන්නේ ඉසුරුමුණියේ දකුණුපසින් සිරිසඟබෝ රජතුමාගේ හිස ආදාහනය කර චෛත්‍යයක් ගොඩනැඟූ බවය. මෙම ස්ථානය වර්තමාන අත්තනගල්ල නොව වෙස්සගිරියේ සිට කි. මී. 45 පමණ දුරින් පිහිටි හත්ථිකුච්ඡි වෙහෙර ලෙස සමහරු පවසති. කෙසේ නමුත් ක්‍රි. පූ. යුගයේ පටන් ආරම්භ වූ සිද්ධස්ථානයක් ලෙස හත්ථිකුච්ඡිය හඳුන්වා දිය හැක. මෙය සිරිසඟබෝ රජතුමාගේ රාජ්‍ය කාලය වන විටත් පෞරාණික විහාරයක් විය. මෙය ලෙන් විහාරයක් ලෙස විශුද්ධි මග්ගය සඳහන් කරයි. එසේම මෙය විතර්ක චරිතයාට භාවනාවට සුදුසු ස්ථානයක් ලෙස ද හඳුන්වයි.

අත්තනගලු වංශය අනුව, ‘සිරිසඟබෝ රජතුමා දකුණු වාසල් දොරින් නික්ම මායා රටට යන්නේ ක්‍රමයෙන් ගොස් අත්තනගලු නම් මහත් ආරණ්‍ය ස්ථානයට වන්නේය.‘

ඉහත පාඨය අනුව සිරිසඟබෝ රජතුමා පලා ගියේ මලය දේශයේ මායා රටේ අත්තනගලු නම් ආරණ්‍යයටය. මෙම සිද්ධිය දහතුන්වැනි සියවසේ ලියවුණ පූජාවලියේ 33-34 පරිච්ඡේදවල සඳහන් වෙයි.

‘ගොළුඅබාරජහු ඇවිත් රජය ගත් කල ඔහුගේ භයින් රජය හැර වල්වැද මහණ වෙසින් මායාරට කැලණි මහ වෙහෙරට ඓශනි දිග් භාගයෙහි අත්වනගලු නම් වෙහෙර වටදාගෙය පිහිටි ස්ථානයෙහි වල සැඟවී ගත.‘

මෙම පූජාවලී පාඨය අනුව අත්තනගල්ල කැලණි මහ වෙහෙරට ඊශාන දෙසින් පිහිටි බව විශ්වාස කළ හැක. වර්තමාන කැලණි රජමහ වෙහෙරින් හමුවූ ක්‍රි. ව. දසවැනි සියවසට අයත් සෙල්ලිපියකින් එම විහාරය ‘කැලණි රජමහ වෙහෙර‘ යන පාඨයෙන් හඳුන්වා දී තිබීම නිසා පූජාවලිය සඳහන් කරන කැලණිය එය බවත් එයට ඊශාන දෙසින් අත්තනගල්ල පිහිටා ඇති බැවිනුත් අත්තනගල්ල ගැන පැහැදිලි අවබෝධයක් ලබාගත හැක. රාජාවලිය ද අත්තනගල්ල කැලණි වෙහෙරට ඊශාන දෙසින් පිහිටි බව සඳහන් කරයි.

මෙම කාලසීමාව වන විට අත්තනගල්ල වෙහෙර බොහෝ සේ ප්‍රසිද්ධ වන්නට ඇත. එහි තිබූ වටදාගෙය සහ අටැස් පිළිමගෙය වන්දනාකරුවන්ගේ පූජාවන්ට ලක්වන්නට ඇත. තිසර සදසෙහි ද අත්තනගල්ල ගැන සඳහන් වන බව පෙන්වා දිය හැක. සැවුලා දෙවිනුවර සිට දැදිගම දක්වා ගමන් කිරීමේදී අත්තනගල්ලේ ඕපත් ඇල්ලේ නැවතී සිට ඒ අසල පිහිටි වටදාගෙය සහ අටැස් පිළිමගෙය වන්දනා කර එහි නවාතැන් ගන්නා ලෙස ඉල්ලා සිටී. මෙහි සඳහන් වන වටදාගෙය සහ අටැස් පිළිමගෙය අත්තනගල්ල බව පැහැදිලිය.

තුන්වන විජයබාහු (ක්‍රි. ව. 1232-1236) රජතුමාගේ ආදාහනය ගැන කතා කරන සෙනරත් පරණවිතාන මහතා 1958 දඹදෙණියේ විජයසුන්දරාරාමයේදී පැවති සාහිත්‍ය දේශනයේදී මෙසේ කීවේය.

‘අවුරුදු හතරක් රජ හැටියට ඉඳලා අපවත් වුණාට පස්සේ රජ්ජුරුවෝ ආදාහනය කළාය කියලා කියන්නේ අත්තනගල්ලෙ. එතන චෛත්‍යයක් හදල තියනව. රජවරුන් ආදාහනය කළ තැන චෛත්‍යයක් හැදීම ඒ කාලෙ සිරිතක්. ඒ උනත් අත්තනගල්ලේ ආදාහනය කළ නිසා සිරිසඟබෝ කියන නාමය ගැළපෙන්න ඇති. ඉතින් ඒ රජ්ජුරුවන්ගේ කාලයේ දී මායාරට තරමක් දුරට දියුණු උනා කලින් තිබුණට වැඩිය. ඒ උනත් එතුමාගේ අධිපතිකම තිබුණේ මායා රටේ විතරයි.‘

මේ අනුව තුන්වන විජයබාහු රජතුමා අත්තනගල්ලේ දී ආදාහනය කළ බවත් එය මායා රටේ තිබුණු බවත් පරණවිතාන මහතා විශ්වාස කරන බව පැහැදිලි කළ හැකිය. එසේම,

‘අත්තනගල්ලේ දී ආදාහනය කළ නිසා සිරිසඟබෝ කියන නාමය ගැළපෙන්න ඇති‘

මෙම අදහස ඉතා වැදගත් වූවකි. එතුමා එහිදී සිරිසඟබෝ රජු අත්තනගල්ලේ දී ආදාහනය කළ බව පිළිගෙන ඇති බැවින් සිරිසඟබෝ රජතුමා අත්තනගල්ලේ දී ආදාහනය කළ බව ඔහු ද විශ්වාස කළ බව පෙනේ. වර්තමානයේ අත්තනගල්ලේ දඹදෙණි චෛත්‍යය යනුවෙන් හඳුන්වනු ලබන චෛත්‍යය එම තුන්වන විජයබාහු රජතුමා ආදාහනය කළ ස්ථානයෙහි ගොඩනැඟූ චෛත්‍යය ලෙස සඳහන් කළ හැක. මෙයින් අපට පෙනී යන්නේ ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය පළමු කාණ්ඩය පළ කිරීම 1957දී සිදු වූ බව අප පිළිගන්නා විට සෙනරත් පරණවිතාන මහතා එහි 185 පිටුවෙහි සිරිසඟබෝ රජතුමා අත්තනගල්ලෙහි ආදාහනය කළ බව සැක සහිත යයි පාදක සටහනකින් කළ ප්‍රකාශය 1958 දඹදෙණි සාහිත්‍ය උත්සව දේශනයේදී වෙනස් වූ බවකි.

‘තුන්වැනි විජයබාහු රජතුමාට පසුව රජ බවට පත් දෙවැනි පරාක්‍රමබාහු (ක්‍රි. ව. 1236-1270) රජතුමා අත්තනගල්ල වටදාගෙය තුන්මහල් කොට කරවා තම පියා ආදාහනය කළ තැන මහා සෑයක් ද බැඳවීය. එහි අටැස් පිළිමගෙයක් ද කරවීය.‘

යනුවෙන් මැන්දිස් රෝහණදීර මහතා ඔහුගේ ‘බුදුසමය නිරිත දිග‘ යන කෘතියෙහි සඳහන් කර ඇත. මයුර සංදේශකරු සහ සැවුල් සංදේශකරු තම දූතයාට අත්තනගල්ලේ දී වන්දනා මාන කිරීමට පවසනුයේ මෙම අටැස් පිළිම ගෙයයි. ක්‍රි. ව. 1258 වන විට එතුමා අංශභාග රෝගයෙන් ඔත්පල විය. එවිට දේවප්‍රතිරාජ ඇමැති කැඳවා තමා ඇරඹි ආගමික කටයුතු තවත් ඉදිරියට ගෙන යන ලෙස සඳහන් කළ බව මහාචාර්ය මැන්දිස් රෝහණදීර පවසයි. එම රජතුමාගේ අනුග්‍රහය ඇතිව පතිරාජ පිරිවෙන එහි ගොඩනඟා එවකට මහාසාමි තනතුර දැරූ අනෝමදස්සී ස්වාමීන් වහන්සේට එය පවරාදීය.

තවද 1415දී දැදිගම රජ බවට පත්වූ හතරවැනි පරාක්‍රමබාහු සමයේදී එතුමා විසින් කළ කාර්යයන් සඳහන් කරන සද්ධර්මරත්නාකරය මෙසේ කියයි.

‘තවද අත්තනගලු වෙහෙරෙහි දෙමහල් සාංඝික සංඝාරාමයක් ද දාගැබ් ද ගල්ලෙනක් ද ප්‍රථමාරම්භයෙහි පටන් කරවා සමෘද්ධ කොට කලක් පවත්නා ලෙස ලාභ සත්කාර පවත්වා‘

පළමුවන විමලධර්මසූරිය රජතුමා ලංකාතිලකය, ගඩලාදෙණිය සහ අත්තනගල්ල විහාරය ප්‍රතිසංස්කරණය කරන ලද බව කොටගම වාචිස්සර හිමිපාණන්ගේ ‘සරණංකර සංඝරාජ සමය‘ නම් කෘතියෙහි සඳහන් කර ඇත.

ඉහත කරුණු මැනවින් සලකා බැලීමේදී සිරිසඟබෝ රජතුමාගේ හිසසුන් සිරුර අත්තනගල්ලේ දී ආදාහනය කළ බවත්, එතුමාගේ හිස ඉසුරුමුණිය අසල ස්ථානයක ආදාහනය කළ බවත් සඳහන් කළ හැකිය. ඉසංක මල්සිරි මහතා ඔහුගේ ‘ඉසුරුමුණිය හා වෙනත් ලිපි‘ යන කෘතියෙහි,

‘සංඝබෝධි රජුගේ අභාවයෙන් පසුව ගෝඨාභය විසින් ආදාහන කෘත්‍ය සිදු කළ තැන ඉසුරුමුණි විහාරයෙන් දකුණු දෙස ඔහුගේ නමින් විහාරයක් කරවීයයි මහාවංශ ටීකාව දක්වන පුවත ද ... එම විහාරය කුමක්දැයි ස්ථිර නැත.‘

යනුවෙන් පවසමින් සංඝබෝධි විහාරය අද දකින්නට නැති බව පවසයි.

අත්තනගල්ල හත්ථිකුච්ඡි මතවාද ගැන සඳහන් කිරීම අවසන් කිරීමට උපුටනයන් දෙකක් ඉදිරිපත් කිරීම සුදුසුය. ‘හත්ථිකුච්ඡි විහාර වංශය‘ නමැති කෘතිය ලියූ ශාස්ත්‍රපති නොච්චියේ සෝමානන්ද හිමිපාණන්ගේ කෘතියේ මෙසේ සඳහන් වේ.

‘... සිරිසඟබෝ රජතුමා හිස දන් දුන් තැන කොතනද යන කරුණ නිරාකරණය කරලීම සඳහා අවංක චේතනාවෙන් ක්‍රියා කළ දිවංගත ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා විසින් ඒ සඳහා ඓතිහාසික තොරතුරු සෙවීමේ කොමිටියක් පත් කරන ලදි. මාසිකව රැස්වීම් පවත්වමින් දෙවසරක් පමණ පැවති එම කොමිටි රැස්වීම්වලට මා හා එක්ව සහභාගි වූ...‘

එසේ සඳහන් කළ ද එම කොමිටියේ වාර්තාවේ සටහනක් හෝ නිගමනය හෝ එහි සඳහන් කර නොමැත.

‘හත්ථිකුච්ඡි විහාරය පිළිබඳ පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික තොරතුරු සෙවීමේ කොමිටිය වෙත මා විසින් ඉදිරිපත් කළ වාර්තාව නැවත සකස් කිරීමෙන් මේ පොත ලියන ලදි.‘

ඒ අනුව හත්ථිකුච්ඡි විහාරවංශය කොමිටියේ නිගමනයක් හෝ අදහසක් නොව ශාස්ත්‍රපති නොච්චියේ සෝමානන්ද හිමියන්ගේ අදහස් බව සැලකිය හැකිය.

මෙම කොමිටිය අවුරුදු දෙකක් රැස්වුවද නිගමනයකට ඒමට නොහැකි වූ බව සඳහන් කරන ඩබ්. පී. විජයපාල වීරවර්ධන මහතා සඟබෝ පුවත හා හත්ථිකුච්ඡි නමින් ලිපියක් ලියමින්,

‘එම විද්වත් කමිටුව විසින් වසර දෙකක් තිස්සේ කරන ලද විමර්ශනවලින් හත්ථිකුච්ඡිය සඟබෝ පුවතට සම්බන්ධ ස්ථානයක් ලෙස නිගමනය නොවීය යනුවෙන් සඳහන් කරයි.

මේ අනුව පෙනී යන්නෙ අත්තනගල්ල හත්ථිකුච්ඡි මතවාදය ප්‍රමාණාත්මක උගතුන් අතර, සිදුවන මතවාදයක් මිස පටලැවිල්ලක නිරාකරණයක් නොවන බවය. අත්තනගල්ල තවමත් විරාජමානව පටලැවිල්ලකට හසු නොවී මතවාදය දෙස උපේක්ෂා සහගතව මුහුණදෙමින් සියනෑ කෝරලයේ ප්‍රමුඛ වෙහෙරක් ලෙස දෙස් විදෙස්හි පතළ භික්ෂු ගණයක් සහිතව වැජඹෙන්නේය.

ආර්. ඇම්. පී. විජේසෝම

 

නව අදහස දක්වන්න