ගෝවේ තිබෙන්නේ සිරි රහල් හිමි දේහය ද? | දිනමිණ

ගෝවේ තිබෙන්නේ සිරි රහල් හිමි දේහය ද?

සිංහල - සාහිත්‍යයේ ස්වර්ණමය යුගය වශයෙන් සැලකෙන කෝට්ටේ යුගයේ විසූ සබස් පරම ඉසුරු සිරි රහල් මාහිමියන්ගේ දේහය පිළිබඳ නොයෙක් මති මතාන්තර බොහෝ කලක් තිස්සේ පැවතගෙන එයි. කෝට්ටේ රජ කළ සිරි පැරකුම්බා රජුගේ පුත් තනතුරේ වැඩුණු දෙමටාන කුමරු හෙවත් වීරසුන්දර ජයබාහු කුමරු උපන්නේ ක්‍රි.ව. 1408 දීය. පියා වීරබාහු නම් විය. සීලවතී හෙවත් ස්වර්ණාවතී, වැලිතොට කීරවැල්ලේ කුමරිය මව වූවාය.

“කුලග මිණි පිවිතුරු

දෙමටාන ගම කඳවුරු

තොටගමු වැසි සොඳුරු

උතුරුමුල මහ තෙරිඳු මුණුබුරු”

(කාව්‍යශේඛරය)

ක්‍රි.ව. 1491 දී අම්බන ඉඳුරුගිරි ලෙනේදී අපවත්වූ රාහුල මාහිමි දේහය බොහෝ කාලයක් නරක් නොවී තිබී ඇත. මෙයට හේතුව ගුරුහිමියන් වන මහ වීදාගම මාහිමියන් කෙන්දකට ගෙන වැළඳූ සිද්ධාලෝක රසය නම් තෙල් වර්ගය ගුරුහිමි විහාරයේ නොමැති විටක රහල් හිමියන් එක වර වැළඳීම බව පතපොතේ සඳහන් වේ. මෙම තෙල් වැළඳීමෙන් සිහිසුන්වූ හිමියන්ගේ දේහය දින 7ක් කිරි ඔරුවක බහා තැබීමෙන් සිහිය ලැබී ඇති බවත් මේ තෙල්වල බලයෙන් රහල් හිමිට ප්‍රබල මතක ශක්තියක් සමඟ සරසවි වරම් හිමිවූ බව ද කියැවේ. එහෙත් එය පරෙවි සංදේශයේ සඳහන් වන්නේ කඳ කුමරුගේ වරම වශයෙනි.

“කඳ කුමරිඳු වර ලද පසළොස් වයස

වදහල රහල් වැඩි තැන් කළ රැව් සදෙස”

(පරෙවි සඳෙස)

ගණේගොඩැල්ලේ පතිරාජ පිරිවෙනේ උතුරු මුල මහ තෙරිඳු ළඟ මහණ වූ මේ හිමියන්ගේ පැවිදි නම වූයේ වාචිස්සර ය. උතුරු මුල මහ තෙරුන්ගේ පැවිදි නම වූයේ රාහුලය. තම මුත්තනුවන්ගේ පැවිදි නම මේ හිමියන් ගෞරව වශයෙන් භාවිත කළ බව පෙනේ. ජනවහරේ මහ වීදාගම මා හිමියන්ගේ ශිෂ්‍යයකු වශයෙන් සඳහන් වේ.

තොටගමු විජයබා පිරුවනේ සිටිමින් ශාස්ත්‍රීය පොතපත ලියමින් මහත් කීර්තියට පත් වාවිචිස්සර රාහුල හිමි මාදු ගඟේ පෝය ගෙයක් තැනූ බව කෝකිල - සංදේශයේ කවියකින් කියැවේ.

“තොටගමු පාය රැඳි මහ තෙරිඳු ගුණ හිමී

සත සැපසේය යන ලෙස රැක තමන් දිවී

කළ සලමේය තරකර කරවූ බැහැවී

වැලිතොට පෝය සිරි දැක වැඩිනේ මැනවී”

(කෝකිල සංදේශය 85 කවිය)

සවැනි සිරි පැරකුම්බා රජු සමයේ මහත් කීර්තිමත්ව වැජඹුණු රහල් හිමියන්ගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳව උන්වහන්සේගේම කාව්‍යශේඛර මහා කාව්‍යයේ මෙසේ දක්වා ඇත.

“සව්සත කෙළ පැමිණි

ගුරුවක් දෙරණ සපැමිණි

පිරිසිදු සිල් ගිහිණි

සියල්ලෝ වියතුනට සිළුමිණි”

“තෙවලා දැන හෙයෙන

දස අත යෙහෙන් වැජඹෙන

විජයබා පිරුවන

කියන මේ බණ අසමි සතොසින”

සවැනි සිරි පැරකුම්බා රජුට පක්ෂපාතීව කටයුතු කළ නිසා හය වැනි බුවනෙකබා රජු රාහුල මාහිමියන් කෙරේ එතරම් ප්‍රසාදයක් දැක්වූයේ නැත.

මේ හේතුව කරන කොටගෙන සිරි රහල් හිමි වසර 30ක් පමණ අප්‍රසිද්ධව වැඩ වාසය කළ බව සඳහන්ය. අම්බන ඉඳුරු ගිරි ලෙනේ නරක් නොවී තිබුණු රහල් හිමියන් දේහය ගැන දැනගත් පෘතුගීසි දේවගැතිවරයකු වූ ප්‍රැන්සිස් ෂාවියර් 1552 දී රහල් හිමියන්ගේ දේහය, ඉන්දියාවේ ‘ගෝව‘ ට ගෙන ගොස් ඇත. මේ බව ප්‍රාදේශීය ජන වහරේ ඇති මේ කවි දෙකින් පැහැදිලි වේ.

සොඳුරු රාහුල අපත් වී සත දහස සිව්සත තෙළෙස වේ

ඉඳුරු නරනිදු සවැනි බුවනෙක බාහු සපුමල් රෝස වේ

සතුරුකම් කළ නිසා තෙරිඳුට වැඩිය ගල්ලෙන දිසාවේ

ඇදුරුගේ කුණු ලෙනෙන් ගත්දින දනෝ යුදකළෙ ඒ නිසාවේ

සතුරු ප්‍රතිකල් ෂාවියර් සෙන්පතිහු මෙලකට පත් වතාවේ

ඉඳුරු ගල ගල් ලෙනෙහි යක්සෙන් අරක් ගනිමින් තිබු මනාවේ

උතුරු අවුරුදු දහස් ගණනක් පවතිනසේ කළ මතුරු ජීවේ

උතුරු මුල පුත් රහල් තෙරිඳුගෙ සිරුර ගෙන ගියෙ පුරට ගෝවේ

සිරි රහල් හිමියන්ගේ ජීවිතයේ අවසන් කාලයේ කෝට්ටේ රජකළ දොන් ජුවන් ධර්මපාල රජු ක්‍රිස්තියානිය වැලඳගත් හෙයින් ප්‍රැන්සිස් ෂාවියර්ට රාහුල හිමි දේහය ගෙන යන්නට අවසර ලැබෙන්නට ඇතැයි සිතිය හැකි වේ. මෙසේ රජුගේ අනුග්‍රහය ලැබුණු නිසා මේ පුවත රහසිගතව තිබෙන්නට ඇත. ෂාවියර්ට දේහය පහසුවෙන් ගෙනයන්නට අවසර ලැබී නැති බව ඉහත දැක්වූ කවි දෙකෙන්ද පැහැදිලි වේ.

ප්‍රැන්සිස් ෂාවියර් මෙහිදී මරණයට පත්වී, ඔහුගේ දේහය ගෝවට ගෙන ගියේ නම් ප්‍ර‍ෙද්ශවාසීනට ඒ සඳහා විරෝධය දක්වන්නට අවශ්‍යතාවක් නැත. එසේ නම් මේ දේහයට තුවාල සිදුවීමට ද හේතුවක් නැත.

ජනතාව රහල් හිමි දේහය ගෙනයාමට විරුද්ධව සටන් වදින විට දේහයට තුවාල සිදුවී ඇති බව පෙනේ. ජේ.ඩී.ආර්. බිරොක් මහතා 1856 දෙසැම්බර් 05 දින ලබාදුන් වාර්තාවක මේ තුවාල ගැන සඳහන් වන බව 1931 දෙසැම්බර් 01 දින “කැතලිකන් මැසෙන්ජර්” නම් පුවත්පතේ සඳහන් කර ඇත.

ක්‍රි.ව. 1552 පෙබරවාරි මස ෂාවියර්තුමා ගෝවයෙන් ලංකාවට පිටත් වූ බව ඔහුගේ ජීවිත කතාවේ සඳහන් වේ. මැයි මස මුලදී මොහු ලංකාවට පැමිණ ඇත. සිරි රහල් දේහය පැහැරගත් ෂාවියර් දේවගැති තැන එය රැගෙන මලක්කාවට ගොස් ඇති බව කියැවේ. ෂාවියර්තුමා බුදු දහම වැලඳගත් අයකු බව ද සඳහන්ය. “ආතර් ලිලී ” නමැති ඉංග්‍රීසි ජාතික විද්වතකු ලියන ලද “බුද්ධා ඇන්ඩ් බුඩිසම්” පොතේ මේ බව සඳහන්ය.

“දකුණු බුද්ධාගම කතෝලික ක්‍රිස්තියානි ආගමට වඩා ආත්මය ගලවා ගන්නට පුළුවන් සත්‍ය වූ ආගමකි. එය මට අවබෝධ වී තිබේ” යන වදන ෂාවියර්තුමා පවසා ඇති බව එම ග්‍රන්ථයේ සඳහන් වේ. 1506 අප්‍රේල් 07 උපන් ෂාවියර් දෙවගැතිවරයා මියගියේ 1555 බව සඳහන් වේ.

රහල් හිමි දේහය ගෝවට ගෙන ගියේ 1552 වර්ෂයේදීය. ප්‍රතිකාලුන්ම ලියන ලද ඔහුගේ ජීවිත කතාවේ සඳහන් පරිදි ෂාවියර්තුමා මළේ 1555 දී නම් 1552 දී ඉඳුරුගිරි ලෙනෙහි දේහය තිබිය හැකිද? ෂාවියර්තුමාගේ මළ සිරුර මලක්කාවේ සිට ලංකාවට ගෙන එද්දී එය ගෙනා නැව ගල් පරයක හිරවීමෙන් කැඩී බිඳී ගිය අතර සිරුර විනාශවී ඇටසැකිල්ල ද පොඩි වී ගිය බව වැඩිදුරටත් සඳහන් වී ඇත. මළසිරුරේ ඉතිරිය ගෙනැවිත් ජයවර්ධනපුර කෝට්ටේ පල්ලියක තැන්පත් කළ බව ද කියැවේ. මෙය මෙසේ නම් ගෝවේ තිබෙන්නේ ශ්‍රී රාහුල හිමියන්ගේ දේහයම බව සනාථ වේ.

අපගේ මතකයෙන් ඈත්ව තිබූ හෙයිනුත් ක්‍රිස්තු භක්තිකයන් කලක් පටන් පුද පූජා කරන හෙයිනුත් මෙය ෂාවියර්තුමාගේ දේහය යයි පිළිගෙන ඇත. එහෙත් ගෝවේ තැන්පත්කර ඇති දේහය සිරි රහල් හිමියන් ගේ දේහයම බව ඉහත කරුණු අනුව සනාථ වනු ඇත.

 කලාභූෂණ

බන්දුල සේනානායක

 

නව අදහස දක්වන්න