සිහි විකල්ව මියගිය හම්බන්තොට සුදු දිසාපති | දිනමිණ

සිහි විකල්ව මියගිය හම්බන්තොට සුදු දිසාපති

ඉතිහාසයේ නොලියවුණු කතාවක්

රුහුණු රටට ඇත්තේ රාවණා යුගය තරම් ඈත ඉතිහාසයක් බව සඳහන්ය. වසර පන්දහසකටත් වඩා ඉපැරණි විල්ගම් වාරි කර්මාන්තයන්හි නටබුන් හා අවශේෂ එහි අදත් තැන තැන දැක ගන්නට ලැබේ. ඊටත් වඩා ඈත ඉතිහාසයක් රුහුණු පොළොව යට වැළලී සැඟවී තිබේ.

ගොවිතැනට සුදුසු පොළොවත් භූගෝලීය පිහිටීමත් නිසාම කෘෂිකාර්මික වූත්, දැහැමි වූත් ශිෂ්ටාචාරයක් එදා තිබෙන්නට ඇතැයි නිසැකවම කිව හැකි වේ. පෘතුගීසි සහ ලන්දේසි ආක්‍රමණිකයන් පොළොවට සමතලා කරන ලද රුහුණේ ඒ දැහැමි කෘෂි ජීවන රටාව සහිත සමාජය සියම් මහා නිකාය ඇරඹීමත් සමඟම යළි පුනර්ජීවයක් ඇති කළේය.

ඕලන්ද ආක්‍රමණිකයන් රුහුණු රටින් පලවා හැරීමට ගිහි නායකයන් සමඟ එක්ව නායකත්වය දුන්නේ රුහුණු සපරගමු දෙපළාතේ මහා සංඝරත්නයයි. සෙංකඩගල කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ එකී සටන්වලට නායකත්වය දුන් ඒ දෙපිරිසටම සන්නස් මඟින් නින්දගම් පවරා දීමෙන් ඒ බව ඔප්පු වෙයි.

ඇඹිලිපිටිය, පනාමුරේ, පදලංගල, තුංකෙම, පල්ලේගම අක්කර දහස් ගණනක නින්දගම් ඊට උදාහරණය. සංඝනායක වේහැල්ලේ ධම්මදින්න මාහිමිපාණන්ගේ ගිරුවාපත්තුවේ කසාගල විහාරයට ද අක්කර දහසක නින්දගමක් රජුගෙන් ලැබිණි. සෙංකඩගල රජුගේ නියෝගය පරිදි වීරකැටියේ සීගල විහාරය කර වූ ගිරිවාපත්තුවේ දොන් හෙන්ද්‍රික් වණිග චිත්තාමණී මොහොට්ටි කොන්ස්තන් ද සිල්වාට ද විශාල දේපළක් ලැබුණේ ලන්දේසින් රුහුණෙන් පලවා හැරීමට ජනතාව එක් රැස් කිරීම හේතුවෙනි.

මෙරට මුහුදුබඩ පළාත් ඉංග්‍රීසින් යටතට පත් වූ පසු ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් රුහුණේ ගොවි ජනපද විනාශ කර දැමීමට නියෝග කළේය. ඒ අනුව හම්බන්තොට ප්‍රදේශය භාර යුද හමුදා ආඥාපති වශයෙන් කටයුතු කළ කපිතාන් චාල්ස් ඩ්‍රිබර්ග්ගේ මෙහෙය වීමෙන් විදෙස් කුලී හමුදාව ගිරුවාපත්තුවේත්, මාගම්පත්තුවේත් සියලු ගොවි බිම් වනසා දැමූහ. සියලු වැව් අමුණු කඩා දැමිණි. කෙත්වතු නිවෙස් ගිනිබත් කෙරිණි. වෙල්ලස්සේ කැරැල්ලෙන් අමු සොහොනක් බවට පත් වූ ඌවත්, රුහුණත් දෑසින් දුටු වෛද්‍ය ජෝන් ඩේවි ලියූ කෘතියක සඳහන් වන්නේ ගිනිබත් කළ ගම්මානවල අලු යටින් මිනිස් ඇටකටු මතු වී තිබෙනු දුටු බවය.

මේ වෙල්ලස්ස කැරැල්ලෙන් පසු හම්බන්තොටට පත්ව ආ මුල්ම බ්‍රිතාන්‍ය උප දිසාපතිවරයා හෙන්රි ජෝන්ස් ජෝන් ය. ඔහු හම්බන්තොටට එන විට ඉතිරිව තිබුණේ ස්වභාවිකව ලේවායේ මිදෙන මුහුදු ජලයෙන් ලැබෙන ලුණු අස්වැන්න පමණකි. එය ලන්දේසීන්ට ද, පෘතුගීසින්ට ද ධනය ලබා දුන් සම්පතක් විය. එබැවින් ජෝන්ස් ජෝන් ඒවා වැඩි දියුණු කිරීමට මුලින්ම පියවර ගත්තේය.

කෘෂිකර්මාන්තයක් නොමැති තැන දිළින්දන්ව සිටි හම්බන්තොට ගොවි ජනතාව ලුණු ලේවායේ කුලියට වැඩ කිරීමට ගියහ. වෙල්ලස්සත් රුහුණත් වනසා දැමීමට දායකත්වය දුන් හමුදා ආඥාපති කපිතාන් ඩ්‍රිබර්ග් මෙන්ම ඔහුගේ බිරිඳ ද මිය ගියේ හම්බන්තොටදීය. සිවිල් සේවකයකු වූ තරුණ ජෝන්ස් ජෝන් හම්බන්තොට උප දිසාපති ලෙස පත් කර එවීමට තෝරාගෙන ඇත්තේ උඩරට යටත් කර ගන්නට සිය කූට උපාය මෙහෙය වූ ජෝන් ඩොයිලිය.

ඔහු හම්බන්තොටට පැමිණ පදිංචි වී ඇත්තේ සුවිසල් ඕලන්ද බංගලාවකය. හම්බන්තොට පිළිබඳව තරුණ උප දිසාපතිවරයාට උපදෙස් දුන්නේ මාගම්පත්තුවේ බටහිර වලකඩ මහවිදානාරච්චිරාලය. ඔහු පදිංචි වී සිටියේ වලවේ ගංමෝදර අසල වලව, මැදගම, ගිනියංගොඩය. ඔහුගේ මීමුත්තාට ද සෙංකඩගල රජවාසලින් නින්දගමක් අයිතිව තිබිණි. යමක් කමක් තිබීම හේතුවෙන් ඔහු ද ඉංග්‍රීසින්ගේ හිතවතකු බවට පත්ව සිටියේය.

ඔහුගේ උපදෙස් මත ඉංග්‍රීසි උප දිසාපතිවරයා ලුණු ලේවායන්වල නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු කළේය. මිරිජ්ජවිල, හම්බන්තොට, බුන්දල වැනි ලේවායන්වල නිපැයුම වැඩි කළ පසු ඔහු පළටුපානට සිය ඉලක්කය යොමු කළේය. ඒ වනවිට හම්බන්තොට වන සතුන් බහුලව ගැවසුණේ වනගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වීම හේතුවෙනි. ඒ හේතුවෙන් තුවක්කු රැගත් දඩයක්කාර සුද්දන් ද වැඩිපුර ගැවසුණේ හම්බන්තොටය.

මේ වනගහනය මැද යලට ගොවිතැන් කිරීම යළි ඇරඹූ නිසා බ්‍රිතාන්‍ය යුගයේ දී එම පෙදෙස ‘යාල’ බවට පත් වූ බව ද කියවේ. පළටුපාන පිහිටියේ යාල වනාන්තරයට මායිම්ව මුහුද අසලිනි.

ජනශූන්‍ය පෙදෙසක් වූ බැවින් හම්බන්තොට පාරවල් දක්නට නොවීය. තිබුණේ අඩි පාරවල් පමණකි. එබැවින් හම්බන්තොටින් රුවල් ඔරුවක නැගී බුන්දල පතිරාජයට ගොස් එහි ගම්භාරගෙදර ලැගුම් ගෙන බුන්දල ගැමියන් සමඟ පළටුපාන ලේවායට යාම උප දිසාපති ජෝන්ස් ජෝන්ගේ අරමුණ වී තිබිණි.

මේ වනවිට ඉංග්‍රීසින් උඩරට රාජධානිය ආක්‍රමණය කර රජු ඉන්දියාවට පිටමං කර වසර හයක් ගත වී තිබිණි. ජෝන්ස් ජෝන් සමඟ බුන්දල ගම්වාසීන් ද වන සතුන්ගෙන් ආරක්ෂා වීම සඳහා තුවක්කු රැගත් ආරක්ෂකයන් පිරිසක් ද වූහ.

ඔවුහු උස් පලුගස් මත දඬු මැසි ඉදිකළහ. අඳුර පැතිරෙත්ම වන සතුන්ගෙන් ආරක්ෂා වීම සඳහා ගිනිමැල දැල් වූහ. සති කිහිපයකට පසු පළටුපානේ නිෂ්පාදිත ලුණු රුවල් ඔරුවලින් හම්බන්තොට ගුදම් වෙතට රැගෙන යාම ඇරඹිණි. 1821 අගෝස්තු මාසයේදී යාල වනාන්තරය ද දැඩි හිරු රැසින් හෙම්බත්ව තිබිණ.

උප දිසාපති ජෝන්ස් ජෝන් ද පළටුපාන ලේවාය සමීපයේ දඬු මැස්සක නිදා සිටිනු දක්නට ලැබිණි. එදින පස්වරුවේ හදිසියේම උප දිසාපතිවරයා දඬුමැස්සේ සිටියදී මරු විකල්ලෙන් මෙන් ‘හූ’ හඬ කිහිපයක් තැබුවේය. ඇඳ සිටි ඇඳුම් ඉරා දමමින් අස්වාභාවික ලෙස මරහඬ තලන්නට වූයෙන් ගැමියෝ ද ඔහුගේ අතවැසියෝ ද බියට පත් වූහ.

ඔහුගේ ස්වරූපය කෙතරම් බියකරුවීද යත් අන් අය ඔහු අසලට ළංවීමටත් බිය වූහ.

ඔහු අසලට ආ මහ විදානාරච්චිරාළගේ අදහස වූයේ ඔහුට විෂඝෝර සර්පයකු දෂ්ට කරන්නට ඇති බවය. එබැවින් ඔහු දන්නා මන්තර මතුරමින් තරුණ උප දිසාපතිවරයා සන්සුන් කිරීමට උත්සාහ ගත්ත ද ඔහුගේ මරලතෝනියේ අඩුවක් නොවීය.

සමහරකුගේ අදහස වූයේ ඔහුට යක්ෂ උවදුරක් සිදුවී ඇති බවය. තවත් අයකුගේ අදහස වූයේ යාල වනයේ සිටින විස දිවිමකුළුවකුගේ ප්‍රහාරයකට ඔහු ලක්වන්නට ඇති බවය. තවත් සමහරුන් කීවේ ඔහුට උණ රෝගයක් වැලඳී එය උත්සන්න වීම නිසා සිහිවිකල්ව ඇති බවය.

එදින මහ රෑ ඔහු පළටුපාන කළපුවට පැන දිය නෑවේය. පසු දින පහන් වනතුරුම නන් දොඩවමින් කෑ ගසමින් සිටි උප දිසාපතිවරයාගේ සිරුර පසුදා කහපැහැ ගැන් වී තිබිණි. එදින ඔහු ලතෝනි නඟමින්ම පළටුපානේ දඬුමැස්ස මත අවසන් හුස්ම හෙළුවේය. ඒ 1821 අගෝස්තු 07 වැනිදාය.

ඒ වනවිට 23 හැවිරිදි වියේ පසු වූ උප දිසාපති ජෝන්ස් ජෝන්ගේ මළසිරුර රුවල් ඔරුවක බහා ඔහු විසූ නිල නිවෙස ඉදිරිපිට වළ දැමීමට මහ විදානාරච්චිරාල ඇතුළු පිරිස කටයුතු කර තිබේ. ඔහුගේ නිල නිවෙස ඉදිරිපිට මිහිදන් කළ තැන ඔහු වෙනුවෙන් ඔහුගේ මිතුරන් ඉදිකළ ස්මාරකය අදත් හම්බන්තොටදී දැක ගත හැකි වේ.

 බන්ධුල ගුණරත්න

නව අදහස දක්වන්න