පෝලිම් නැති යුගයකට නොවරදින මාවතක් | දිනමිණ

පෝලිම් නැති යුගයකට නොවරදින මාවතක්

රටකට බලශක්තිය අත්‍යවශ්‍ය සාධකයකි. ඛනිජ තෙල් භාවිතය ඉතා ඉහළ රටක් වශයෙන් ශ්‍රී ලංකාවට එහි බලපෑම දැඩිය. එහෙත් මෙරටට සක්‍රීය මට්ටමේ ඛනිජ තෙල් නිධි නැත. මන්නාරම් ද්‍රෝණිය ආදී ප්‍රදේශවලින් ඒ පිළිබඳ ඉඟි පළ වී ඇතත් තවම ඒ පිළිබඳ සුබදායක පණිවුඩ ලැබී නැත. ඒ අනුව රටේ මුළු බලශක්ති අවශ්‍යතාවම ආනයනය කළ යුතුය. එමෙන්ම, ඒ වෙනුවෙන් කළ යුතු ගෙවීම් මෙරට මුදලින් කළ නොහැකිය. අමෙරිකානු ඩොලරයෙන් නොඑසේ නම් විදෙස් රටවල් පිළිගන්නා වෙනත් මුදල් ඒකකයකින් එම ගෙවීම් කළ යුතුය. ඒ අනුව මෙරටට විදේශ විනිමය ඉතා වැදගත්ය. එහෙත් මෑතකාලීනව විදෙස් ආදායම් ඉතා අඩු මට්ටමකට පහත වැටිණ. ඒ හැරෙන්නට අපනයනය තවත් වැදගත් විදෙස් මුදල් උපයා ගන්නා ක්‍රමයකි. කොරෝනා වසංගතය හමුවේ ඊටත් දැඩි බාධා ඇති විය. විදෙස්ගත ප්‍රජාව විශාල වශයෙන් මෙරටට පැමිණුනි. අමුද්‍රව්‍ය ආනයනය දුෂ්කර වුණ අතර නිෂ්පාදනය ද පහත වැටිණ. රැකී රක්ෂාවලට ද ඉන් අත්වූයේ අහිතකර බාධාවකි.

ජල විදුලි බලාගාරවලට බාධා

මේ අනුව මෙරටට විදේශ විනිමය අතින් ඇත්තේ අයහපත් තත්ත්වයකි. එය එසේ තිබියදී කාලගුණ විපර්යාස හමුවේ මෙතෙක් මෙරට බලශක්තියෙන් වැඩිමනක් සපයා ගනු ලැබූ ජල විදුලි බලාගාරවලට බාධා පැමිණුනි. ඊට විකල්පයක් ලෙස ඩීසල් හා ගල් අඟුරු දහනය ආදී මිල අධික ප්‍රභව ඔස්සේ රටට බලශක්තිය සපයා ගැනීමට සිදු විය. මෙරටට ගල් අඟුරු ගොඩබෑම වර්ෂයේ එක් කාල සීමාවකදී පමණක් පුළුවන. ඒ අනුව ඉතා කෙටි කලෙකදී වර්ෂයටම සෑහෙන අයුරින් එම තොග ගෙන්වා ගැනීමේ අභියෝගයටත් මෙකල මෙරටට මුහුණ දීමට සිදුව ඇත. එය එසේ තිබියදීත් ඉකුත් කාල සීමාවේදී එම අභියෝගයට මුහුණ දීමට මෙරටට හැකිවීම විද්වතුන්ගේ ඇගයීමට ලක් වන්නකි. එපමණක් නොවේ, අධික වශයෙන් රජය පාඩු ලබමින් ඉකුත් සමයේදී මහජන සුබසෙත පිණිස ඛනිජ තෙල් සැපයූව ද මේ වන විට ගෝලීය හා දේශීය වශයෙන් ඇති වී තිබෙන ආර්ථික අර්බුද හමුවේ එය තවදුරටත් අපහසු වග රජයේ පෙන්වා දීමය.

ඒ කෙසේ වුව ද ඉකුත් කාලයේදී මෙරට විදෙස් සංචිත කෙමෙන් අඩු විය. විදේශ විනිමය ඉපයීම්වලින් සෑහෙන ප්‍රමාණයක් විදෙස් ණය වාරික හා පොලී ගෙවීම් ආදියට වෙන් කෙරිණ. කොරෝනා වයිරසයෙන් මෙරට ජනතාව ආරක්ෂා කර ගැනීමට එන්නත්, පරික්ෂණ කට්ටල, වෛද්‍ය උපකරණ හා එම ඖෂධ ආනයනය වෙනුවෙන් රජය අතිවිශාල වියදමක් දැරීය. එය රටක් වශයෙන් කරන ආයෝජනයක් මෙන්ම ගෝලීය වසංගතයකදී රටක් ප්‍රමුඛතාව දිය යුතු වැඩපිළිවෙළක් වශයෙන් ජනතාවගේ ඇගයීමට ලක් විය. එය එසේ වුව ද මෙම වියදම් කෙමෙන් මෙරට විදෙස් මුදල් සංචිත අවම වන්නට එය හේතු විය. විදෙස් ණය ඛනිජ තෙල් ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා ද අවශ්‍ය වන තැනට එය දුර දිග ගියේය. ඒ වෙනුවෙන් ඉන්දියාව ඇතුළු රටවලින් ණය මාර්ගික වශයෙන් ඛනිජ තෙල් ලැබිණ. මේ වන විට ඒ අනුව දැනට මෙරටට මෙට්‍රික් ටොන් ලක්ෂ 3කට අධික ප්‍රමාණයක් ලැබී ඇත. තවදුරටත් මෙරටට මිත්‍රත්වයේ දෑත් දිගු කරන ඉන්දියාව මෙතෙක් කිසිම රටකට මෙතරම් සහන සහ උදවු උපකාර කර නැති බවත් ඉකුත් දා විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඉන්දියානු මහජනතාවගේ පරිත්‍යාග තොගයක් බාර ගනිමින් කොළඹ වරායේදී පැවසීය.

ණය පදනම

තවද, මෙරට ණය පදනම යටතේ ගෙන්වා ගන්නා ඉන්ධනවලින් බලශක්ති උත්පාදනයට ඉන් සැලකිය යුතු කොටසක් වැය කෙරිණ. ඉදිරියටත් ජල විදුලි උත්පාදනයේ අඩු වැඩිකම අනුව එම ප්‍රමාණය තීරණය වනු ඇත. එසේම, ජාතික ප්‍රවාහන පද්ධතිය සක්‍රියව පවත්වා ගැනීමට ඉන් කොටසක් වෙන් කළ යුතු වේ. මේ අතර නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමඟ බලාගාර පිහිටි ප්‍රදේශවලට ද වැසි ලැබිණ. ඉන් බලශක්ති උත්පාදනයට ඛනිජ තෙල් අති විශාල වශයෙන් යොදා ගැනීම අඩු විණි. එය මෙරටට සහනයකි. එහෙත් මුළුමනින්ම ජල විදුලියෙන්ම මෙරට බලශක්ති අවශ්‍යතාව පිරිමැසිය නොහැකි බව බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයෝ පවසති.

එපමණක් නොව, සැබැවින්ම පුනර්ජනනීය බලශක්තියෙන් ජාතික අවශ්‍යතාවෙන් 70%කට වඩා පිරිමසා ගැනීම රජයේ අපේක්ෂාව වේ. මේ වන විට ද 20%කට වඩා ඉන් ලබා ගැනේ. කුඩා ජල විදුලි බලාගාර, සූර්ය පැනල, සුළං විදුලි බලාගාර ආදි අඩු වියදම් මූලාශ්‍ර කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය යන්න සුනිත්‍ය බලශක්ති අධිකාරිය පෙන්වා දේ. කෙමෙන් එම ධාරිතාව ඉහළ නංවා ගැනීමෙන් මෙරට ජාතික ධනය බලශක්තිය වෙනුවෙන් වැය කරනු වෙනුවට වෙනත් ඵලදායී ආයෝජන කෙරෙහි යොමු කළ හැකි වෙතැයි ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.

එය එසේ තිබියදී මේ වන විට මෙරට ඉන්ධන හල් අසල පෝලිම් දක්නට ඇත. එහෙත් මෑත කාලීනව ඛනිජ තෙල් තොග වැඩිපුර ලැබීමත් බෙදාහැරීමේ කටයුතු විධිමත් කිරීම හරහා ප්‍රගතියක් දක්නට ලැබෙතැයි ජනතාව කියති. එහෙත් වැඩි කළ මිලට හෝ ඛනිජ තෙල් මිලට ගැනීමට නැතැයි මැසිවිලි නඟන ඇතැමුන් ද තවමත් දක්නට ඇත. එමෙන්ම දිවයින පුරා ඉන්ධන හල් 40ක් පමණ කඩාකප්පල්කාරීන්ගේ තර්ජනවලට බියෙන් වසා ඇතැයි මාධ්‍ය වාර්තා පළ වේ. එය කිසිසේත් ප්‍රජාතන්ත්‍රවාදී රටක සිදු නොවිය යුත්තක් වශයෙන් ජනතාව පෙන්වා දෙති.

අධික ඉල්ලුම

එසේම, මෙවැනි අධික ඉල්ලුමක් ඛනිජ තෙල් කෙරෙහි අන් කවරදාකවත් දක්නට නොලැබුණු තරම් යැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ඇතුළු එම ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල තැනැත්තන්ගෙන් ඇසේ. එය කෙතරම් ද කිව හොත් මින් පෙර තෙදිනක් පමණ බෙදා දුන් ඛනිජ තෙල් තොග අද වන විට ද වරුවකින් හමාර වන තත්ත්වයක් දක්නට ලැබේ. එය එසේ වනුයේ ඇතැම් පිරිස් අනවශ්‍ය ආකාරයෙන් ඛනිජ තෙල් තොග එක්රැස් කිරීමට පෙලඹීමය. ඇතැමුන් ඉන්ධන හල අසලදීම රථ වාහන ටැංකිවලට පුරවා ගන්නා ඉන්ධන බට ආධාරයෙන් ඉවත් කරමින් නැවත නැවතත් ඉන්ධන පෝලිමට එක්වීම දිවයින පුරා දක්නට ලැබුණකි. එවිට සීමිත ප්‍රමාණවලින් බෙදා දීමට පවතින සීමිත ඛනිජ තෙල් සම්පත සාධාරණව බෙදා දීමට නොහැකි වේ.

ඒ සමඟම ඇතැම් පිරිස් බලහත්කාරයෙන් වෙනත් ප්‍රදේශවලට වෙන් කෙරුණු ඉන්ධන රැගත් බවුසර් රථ හරවාගෙන එහි ඉන්ධන බාගත කිරීමට උත්සාහ දැරීම් පිළිබඳව ද වාර්තා විය. ඉන්ධනහල්වල දේපළට හානි කිරීම හා එම සේවකයන්ට පහරදීම් ද වාර්තා විය. ඇතැම් පිරවුම්හල් හිමියන්ගේ නිවාස ගිනි තැබීම් දක්වා එම බලහත්කාරකම් ඔඩුදුවා තිබිණ. එමෙන්ම, පෙට්‍රල් හා ඩීසල් දෙකම එකවර ඉල්ලා සිටීම ද එය එසේ නොවූ විට ඇතැම් ප්‍රදේශවල ජනතාව ඉන්ධන බවුසර් හරවා යැවීමට තරම් නීතිය අතට ගැනීමට උත්සාහ දැරීමත් ඛනිජ තෙල් බෙදාහැරීම අතින් මෙරටට කළු පැල්ලම් එල්ල වූ අවස්ථාවලට උදාහරණය.

මේ අනුව තමන්ට ආරක්ෂාව සපයන්නැයි ඛනිජ තෙල් ප්‍රවාහන ටැංකිකරුවෝ පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළහ. එසේම, විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ඉන්ධනහල් නිරික්ෂණය කරමින් කාර්යක්ෂමව හා කාටත් සාධාරණ අයුරින් ඉන්ධන බෙදා දීමේ වැඩපිළිවෙළ නිරික්ෂණය කරනු ඉකුත් දා දක්නට ලැබිණ. එසේම, කලහකාරි සිද්ධි වාර්තා වන පිරවුම්හල් වෙත ඉන්ධන ලබා නොදීමට සිදු වනු ඇතැයි ද හෙතෙම අවධාරණය කළේය.

ඉන්ධනවල ප්‍රමිතිය

ඉන්ධනවල ප්‍රමිතිය පිළිබඳ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණයෙන් කියා සිටින්නේ යම් හෙයකින් කිසියම් ඉන්ධනහලකින් නිකුත් කරන ඛනිජ තෙල් පිළිබඳ ගැටලු වේ නම් ඒ පිළිබඳ පැමිණිලි කරන ලෙසටය. එවිට ඉතා කෙටි කාලයකදී ඒ පිළිබඳ ස්ථානීය පරික්ෂණයක් ඇතුළු නීති රාමුව අනුව කටයුතු කරන බවත් එම ආයතනය සහතික වෙයි.

ඇතැමුන් ඉන්ධනවලට වෙනත් ද්‍රව කළවම් කරමින් අලෙවි කරන බවට ලැබුණු පැමිණිලි පිළිබඳ විමර්ශන කරන බව ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වාර්තා කරයි. ඒ සම්බන්ධ පරික්ෂණවලදී වරදකරුවන් වන තැනැත්තන්ට එරෙහිව තදින් කටයුතු කිරීමටත් තීරණය කර ඇත. එසේම, පාරිභෝගික කටයුතු අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන ද මහජනතාවට ප්‍රමිතිගතව සහ විනිවිද පෙනෙන ආකාරයේ පැහැදිලි බවකින් තොරව භාණ්ඩ හා සේවා සපයන ආයතන කෙරෙහි දැඩි විමසිල්ලෙන් පසුවෙයි. එල්. පී ගෑස් බෙදාහැරීම් ඇතුළු කටයුතු විධිමත්ව කිරීමට පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරින්ගේ සහාය ඉතා අගය කරන බව ද ජනතාව පවසති. නිල ඇඳුමෙන් සැරසුණු නිලධාරීන්ට අමතරව සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරින් ද ඉන්ධනහල් හා එල්. පී ගෑස් අලෙවිහල් ඇතුළු ජනාකීර්ණ ස්ථානවල මහජන සාමය ආරක්ෂා කිරීමට යෙදවීමට රජය කටයුතු කර ඇත. ත්‍රිවිධ හමුදාව ද පොලීසියේ සහායට එම ස්ථානවල රාජකාරි සඳහා යොදවා තිබේ. මේ අනුව කිසිවකු කඩාකප්පල්කාරි ක්‍රියාවල නිරත වීමට උත්සාහ කළ හොත් නොපමාව නීතිය ක්‍රියාත්මක කෙරේ. ඊට උදාහරණ බොහෝ ප්‍රදේශවලින් ජනමාධ්‍ය ඔස්සේ විකාශය කෙරිණි.

පුනර්ජනනීය බලශක්තිය

සැබැවින්ම මෙරට කුඩා රටක් වශයෙන් පුනර්ජනනීය බලශක්තියෙන් හැකි උපරිමය සපයා ගන්නා අතරතුර පොසිල ඉන්ධන දහනය ආදියෙන් අඩුපාඩු කොටස සපුරා ගත හොත් බලශක්තිය පිළිබඳ ගැටලු මතු නොවනු ඇත. එසේම, අපද්‍රව්‍ය, ජීව වායුව, මුහුදු රළ ආදිය උපයෝගි කොටගෙන බලශක්තිය උත්පාදනය කෙරෙහි මෙරට අවධානය යොමු වී තිබීමත් මෙරටට ඉතා කාලෝචිත වශයෙන් විද්වත්හු පෙන්වා දෙති.

එසේම, ඉතා අගනා සම්පත් බලශක්ති ක්ෂේත්‍රය අතින් මෙරට පවතියි. ඒ කෙරෙන් වැඩිපුර වැඩ ගන්නා තැනට මඟ පාදා ගැනීමත් ඉතා වැදගත් වනු ඇත.

ක්‍රි.ව 1969 දී ආරම්භ කළ සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව මෙරට ඉන්ධන කර්මාන්තයේ අතිශය වැදගත් සම්පත් අතුරෙන් එකක් වශයෙන් බලශක්ති විශලේෂකයෝ හඳුන්වති. මාස 6ක් වැනි කාලයක් තුළදී එම පිරිපහදුව නවීකරණය කිරීම ආරම්භ කිරීමත්, ඊට අත්‍යවශ්‍යව තිබූ නව බොයිලේරුව සවි කිරීමටත්, බෙදාහැරීමේ පර්යන්තය ස්වයංක්‍රීයකරණය අවසන් කිරීමටත් රජය කටයුතු කිරීම ඉතා වැදගත් කාර්යයන් වශයෙන් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මෙම නවීකරණ ක්‍රියාවලියේ තවත් අදියරක් වශයෙන් නව පිරිපහදුවක් ඉදිකිරීමේ දිගුකාලින ඉලක්කය ද ප්‍රශංසනීය වේ. පිරිපහදු කළ තෙල් වෙනුවට බොර තෙල් ගෙන්වා දේශීය වහයෙන් පිරිපහදු කිරීමෙන් වසරකට රුපියල් බිලියන 60 කටත් වඩා ඉතිරි කර ගැනීමට මෙරටට හැකියාව ඇතැයි එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ කලෙක පටන් පෙන්වා දෙති. කොළඹ වරායේ සිට කොළොන්නාව පර්යන්තය දක්වා ඉන්ධන ගෙනියන නල පද්ධතිය නවීකරණය ඉතා දිගු කලක් තිස්සේ නවීකරණය නොකෙරුණි. එහෙත් ඒ කෙරෙහි අවධානය යොමු කිරීම රජය ගනු ලැබූ තවත් වැදගත් තීරණයක් වශයෙන් ජනතා ඇගයීමට ලක් වේ. ඉන් කාන්දුවීම්වලින් තොරව තෙල් ගොඩබෑම වෙගවත් වීමෙන් වසරකට මෙරටට රුපියල් මිලියන 600 ක පමණ මුදලක් ඉතිරි වන බවත් බලශක්ති විශ්ලේෂකයන් පෙන්වා දේ.

අන්තර්ජාතික ප්‍රමිති නිර්දේශය අනුව ගුවන්යානා ඉන්ධන සඳහා අවශ්‍ය වන්නා වූ පෙරහන් පද්ධතියක් කොළොන්නාව සීමාව තුළ ස්ථාපිත කිරීම ද මෙරටට දිගු කලක් අතපසු වූවකි. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉංජිනේරුවන්ගේ දැනුම හා ශ්‍රම දායකත්වයෙන් එය මාස 4ක් තුළ නිමකොට විවෘත කිරීම ද එවැනි වැදගත් පියවරකි. එමඟින් රටට වසරකට රු. මිලියන 500 ක පමණ ඉතිරියක් අපේක්ෂිතය.

කටුනායකට නව පර්යන්තයක්

කටුනායක ගුවන් තොටුපළට නව පර්යන්තයක් එක් කිරීමේ සැලසුම අනුව සහ ඉහළ යන ගුවන්යානා ඉන්ධන ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැකසීම ද තවත් එවැනි වැදගත් පියවරකි. තවද, 2013 වර්ෂයේ සිටම ගුවන්තොටුපළ ඉන්ධන සැපයුම් පද්ධතියේ කොන්ත්‍රාත්තුව විවිධ හේතු මත ප්‍රමාද වුව ද වර්ෂ 2017 දී අන්තර්ජාතික තරඟකාරී ටෙන්ඩර් කැඳවීම් මඟින් දින 45 ක් වැනි කෙටි කාලයක් තුළ විදේශ ආයෝජන සමඟ සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීමට පියවර ගැනීම ද තවත් කාලෝචිත පියවරක් වශයෙන් ඇගයීමට ලක් වේ. එම ටෙන්ඩරය මඟින් රටට ඉතිරි වූ මුදල රු. මිලියන 480 කට අධික බවටත් වාර්තා වේ.

මේ අනුව රටක් වශයෙන් නොවෙනස් ප්‍රතිපත්ති යටතේ පුනර්ජනනීය බලශක්තියෙන් වැඩි ප්‍රමාණයක් සපුරා ගනිමින් ඉදිරි වැඩ ලෝකය ජය ගැනීම මෙරටට අපහසු නොවේ. වර්ෂයේ වැඩි කාලයක් සූර්යාලෝකය හොඳින් ලැබෙන සමකාසන්න රටක් වශයෙන් මෙරටට අන් බොහෝ රටවලට වඩා ඉදිරියට පැනීමට හැකියාව ඇතැයි අන්තර්ජාතික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මිල සූත්‍රයකට අනුව ඉදිරියේදී තෙල් මිල තීරණය වන බව විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා අවධාරණය කොට තිබේ. මෙම සියලු ඉලක්ක ජයගැනීමේදී රටක් වශයෙන් මහජනතාව අතර සාමය, සමගිය මෙන්ම උපායමාර්ගික වශයෙන් මෙරට ආදායම් ඉහළ නංවා ගැනීමේ විධික්‍රම කෙරෙහි වැඩි අවධානය යොමු කිරීම වැදගත්ය. එසේ වුව හොත් එය කාගේත් පිළිගැනීමට ලක් වනු ඇත.

නුවන් මහේෂ් ජයවික්‍රම

නව අදහස දක්වන්න