ආහාර අර්බුදය ජය ගන්න කෘෂි මහාචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට යෝජනාවලියක් | දිනමිණ

ආහාර අර්බුදය ජය ගන්න කෘෂි මහාචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට යෝජනාවලියක්

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය මෑතක දී මුහුණ පා සිටින තත්ත්වය සැලකිල්ලට ගනිමින් රටේ ඉදිරි කෘෂිකාර්මික සංවර්ධනය හා ආහාර සුරක්ෂිතතාව සඳහා යෝජනාවලියක් මෙරට විශ්වවිද්‍යාල තුනක කෘෂිකර්ම මහාචාර්යවරුන් පිරිසක් විසින් සකස් කර තිබේ.

මේ යෝජනාවලිය පේරාදෙණිය විශ්වවිද්‍යාලය, රුහුණු විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය නියෝජනය කරන මහාචාර්යවරුන් 10 දෙනකුගෙන් සමන්විත කෘෂි මහාචාර්යවරු පිරිසක් විසින් පසුගියදා කෘෂිකර්ම, වන ජීවි හා වන සම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර මහතා වෙත කෘෂිකර්ම අමාත්‍යාංශයේදි භාර දෙනු ලැබීය.

මහාචාර්ය බුද්ධි මාරඹේ, මහාචාර්ය ජනේන්ද්‍ර ද කොස්තා, මහාචාර්ය දේවිකා ද කොස්තා, මහාචාර්ය අරුණ කුමාර, මහාචාර්ය සීවනන්දවේල්, මහාචාර්ය සමන් ධර්මකීර්ති, මහාචාර්ය මෙත්තිකා විතානගේ, මහාචාර්ය නාලිකා රණතුංග, මහාචාර්ය වර්ෂි දන්දෙණිය, මහාචාර්ය නිලන්ත ලියනගේ මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

කෘෂිකාර්මික කටයුතු ප්‍රවර්ධනය හා ආහාර සුරක්ෂිතතාව පිළිබඳ කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන වශයෙන් කාණ්ඩ තුනක් යටතේ මේ යෝජනාවලිය සකස් කර ඇති අතර, මෙහිදී අදහස් පළ කළ මහාචාර්යවරු කියා සිටියේ ශ්‍රී ලංකාව ඉදිරියේදී මුහුණ දිය හැකි ආහාර අර්බුදය ජය ගැනීමට නම් වහාම මේ යෝජනාවලිය ක්‍රියාත්මක කළ යුතු බවයි.

මහාචාර්යවරුන් ඉදිරිපත් කළ යෝජනාවලිය සම්බන්ධව අදහස් පළ කළ කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර මහතා එම යෝජනාවලියේ අඩංගු සියලු කරුණු සැලකිල්ලට ගනිමින් එම යෝජනා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව පැවසීය. එමෙන්ම ශ්‍රී ලංකාවේ පසු ගිය මහ කන්නය සහ දැනට අර්බුදයට ලක්ව තිබෙන යල කන්නය දෙස බලන විට මෙරට ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙළ ගැටලුසහගත තත්ත්වයකට පත්ව ඇති බව ද ඇමැතිවරයා කීය.

බුද්ධිකා ඉඹුලාන

නව අදහස දක්වන්න