ඉන්දියාවෙන් තවත් මානුෂීය ආධාර | දිනමිණ

ඉන්දියාවෙන් තවත් මානුෂීය ආධාර

ඉන්දියානු රජය විසින් පරිත්‍යාග කරන ලද ඖෂධ සහ වෙනත් වෛද්‍ය සැපයුම් තොගයක් වැඩ බලන මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත ඊයේ (27) කොළඹ දී භාර දුන්නේය.
 
ටොන් 25කට අධික බරකින් යුත් මෙම ආධාර තොගයේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් මිලියන 260කට ආසන්නය.
 
සාගර් IX (SAGAR) මෙහෙයුම යටතේ මෙම මානුෂීය ආධාර තොගය කඩිනමින් ශ්‍රී ලංකාවට භාර දීම සඳහා ඉන්දියානු නාවික හමුදාවේ ටොන් 5600ක ලෑන්ඩින් නෞකාවක් වන ඝාරියල් නෞකාව යොදවා තිබිණ. 
 
වෛද්‍ය සැපයුම්වලට අමතරව ශ්‍රී ලාංකික ධීවරයන්ගේ පරිහරණය සඳහා භූමිතෙල් තොගයක් ද මෙම නෞකාව විසින් රැගෙන එන ලදී. ලංකා ධීවර වරාය සංස්ථාව විසින් ඉදිරි දිනවලදී මෙම භූමිතෙල් තොගය ප්‍රතිලාභීන්ට බෙදා දෙනු ඇත. 
 
දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ සංවිධාන සහ රෝහල් විසින් කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාව විසින් මෙම වෛද්‍ය සැපයුම් තොගය පරිත්‍යාග කර තිබේ.
 
විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා 2022 මාර්තු මාසයේදී කරන ලද ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී සුවසැරිය පදනමේ නියෝජිතයන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී  ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් රටෙහි වෛද්‍ය ‍ ක්ෂේත්‍රයේ පවතින අවශ්‍යතාවයන් පෙන්වා දෙන ලදී. පරිත්‍යාග කරන ලද මෙම වෛද්‍ය සැපයුම් තොගයෙන් එම අවශ්‍යතා සපුරාලනු ඇත. මෙයට අමතරව, හම්බන්තොට මහ රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල සහ යාපනය ශික්ෂණ රෝහල  වෙත ද මෙම වෛද්‍ය ආධාර තොගය ලබා දෙනු ඇත. 
 
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තිය පිළිඹිබු කරයි. “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තියේ මූලිකාංගය වන්නේ ජනතාව අතර සබඳතා වර්ධනය කිරීමයි. 
 

නව අදහස දක්වන්න