ආන්දෝලනාත්මක ෂින්ජියැං සිර කඳවුරු | දිනමිණ

ආන්දෝලනාත්මක ෂින්ජියැං සිර කඳවුරු

චීනයේ ෂින්ජියැං ප්‍රාන්තයේ අතිශය රහසිගත ලෙස සිරගත කර සිටින දහස් සංඛ්‍යාත උයිගර් මුස්ලිම් ජාතිකයන්ගේ ඡායාරූප සහ සිර කඳවුරෙන් පලා යෑමට උත්සාහ දරන පුද්ගලයන් වෙඩි තබා ඝාතනය කිරීමේ චීන ප්‍රතිපත්තිය පිළිබිඹු කෙරෙන තවත් ඡායාරූප ගණනාවක් පිළිබ‍ඳ ආන්දෝලනාත්මක වාර්තාවක් බීබීසී පුවත් සේවය මුදා හැරියේ ඊයේ පෙරේදාය. ෂින්ජියැං ප්‍රාන්තයේ පොලිස් දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ යම්කිසි පුද්ගලයකු හෝ පිරිසක් විසින් එම අමානුෂික ක්‍රියාකාරකම් සම්බන්ධ තොරතුරු සාක්ෂි ඇතුව බීබීසී පුවත් සේවයට දී තිබේ.

මේ වසරේ මුල් භාගයේදී ලැබුණු අදාළ තොරතුරු විමර්ශනය කිරීමට සහ එහි නිවැරැදිතාව සොයා බැලීමට බීබීසී පුවත් සේවය මාස ගණනාවක උත්සාහයක් සිදු කර ඇත. ෂින්ජියැං ප්‍රාන්තයේ උයිගර් සුළුතර මුස්ලිම් ජාතිකයන්ගේ වධකාගාරය පිළිබඳ බීබීසී වාර්තාව මුදාහැරියේ ඉන් පසුවය.

මේ වාර්තාව මුදාහැර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ පසුගියදා සිදු කළ ආන්දෝලනාත්මක ෂින්ජියැං සංචාරය අතරතුරදීය. එය මිෂෙල්ගේ සංචාරයට මෙන්ම බීබීසී වාර්තාවටත් එක හා සමාන අන්තර්ජාතික අවධානයක් යොමු වීමට හේතු විය.

බීබීසී පුවත්සේවයට ලැබුණු ෂින්ජියැං අමානුෂික වධකාගාර පිළිබඳ තොරතුරු මීට පෙර කිසිදු ආකාරයකින් නිකුත් වී නැති බැවින් එය අතිවිශේෂ බීබීසී වාර්තාවක් ලෙස සැලකේ. උයිගර් මුස්ලිම් වැසියන් දහස් ගණනක් සිර කර සිටින වධකාගාර චීනය විසින් හඳුන්වනු ලබන්නේ ප්‍රති අධ්‍යාපනික කඳවුරු ලෙසටය. සිර කඳවුරු ලෙස හඳුන්වනු ලබන තවත් කඳවුරු කිහිපයක් ද වේ. චීනය පවසන්නේ එම සිර කඳවුරුවල ගාල් කර සිටින්නේ ෂින්ජියැං ප්‍රාන්තයේ විවිධ ත්‍රස්ත ක්‍රියාකාරකම්වල නිරත වූ පුද්ගලයන් බවය.

උයිගර් සිසු සිසුවියන්ට චීන සංස්කෘතිය හා නිසි අධ්‍යාපනය සැලසීමේ අරමුණින් ආරම්භ කළ බව කියමින් වසර 2017දී ගොඩනැගූ ප්‍රති අධ්‍යාපනික කඳවුරු තුළ සැබැවින්ම පාසල් අධ්‍යාපනය සහ පාසල් පසුබිමට වඩා වෙනසක් නැති බව චීන රජය පුන පුනා ප්‍රකාශ කළද, දැන් බීබීසී පුවත් සේවයේ වාර්තාව ඒ සියල්ල පුස්සක් බවට පත් කර ඇත. එම කඳවුරුවල පොලිස් ස්ථාන, ආරක්ෂක මුරකාවල් රැසකි. රඳවා තබාගෙන සිටින පුද්ගලයන්ගේ ඡායාරූප ඔවුන් වසර ගණනාවක් මුළුල්ලේහිම මේ වධකාගාර තුළ ගෙවා දමමින් සිටින කටුක ජීවිතයේ යථාර්ථය කියාපායි.

රඳවා තබා සිටින දහස් සංඛ්‍යාත උයිගර් මුස්ලිම් වැසියන් එසේ කර ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය. එහෙත් අවිධිමත් ආකාරයෙන් ගාල් කර තබා සිටින ඔවුන් පොලිස් නිලධාරීන්ගේ කුරිරු දඬුවම්වල ගොදුරු බවට පත්ව සිටින්නේ යැයි බීබීසී වාර්තාව වැඩිදුරටත් සඳහන් කර තිබේ.

උයිගර් සංස්කෘතිය හෝ ඉස්ලාම් ඇදහීම් පෙන්නුම් කරන ඕනෑම පුද්ගලයකු ඉලක්ක කරමින් වධ හිංසා සිදු කිරීමේ චීන රජයේ ප්‍රතිපත්තියට ඉතා ශක්තිමත් සාක්ෂි රැසක් මේ වාර්තාවෙන් සපයා දී තිබේ.

2018 වසරේ ජනවාරියේ සිට ජූලිය දක්වා පොලිසිය විසින් ගන්නා ලද උයිගර් ජාතිකයන් පන්දහසකට වැඩි පිරිසකගේ ඡායාරූප බීබීසීයට ලැබුණු දත්ත අතර ඇතැයි වාර්තා වේ. එම වාර්තා විශ්ලේෂණය කිරීමේදී අවම වශයෙන් එම පිරිසෙන් 2,884 දෙනකුවත් රඳවා තබා සිටින බවට විශ්වාස කළ හැකි යැයි බීබීසීය සඳහන් කර තිබේ.

ප්‍රති අධ්‍යාපනික කඳවුරුවල සිසුන් අධ්‍යාපනය ලබන බව දිගු කාලයක සිට චීනය කියමින් සිටියත්, එම ඡායාරූපවලට අනුව ඔවුන් සිසුන් බවට කිසිදු සලකුණක් පෙන්නුම් නොකරන බවත් කියැවේ. ෂින්ජියැං පොලිස් දත්ත ගබඩාවෙන් බීබීසීයට ලැබුණු ඡායාරූපවලට අනුව එහි ඇතැම් ප්‍රති අධ්‍යාපනික කඳවුරුවල බැටන ්පොලුවලින් සන්නද්ධ ආරක්ෂකයෝ වෙති.

මේවා සිර කඳවුරු ලෙස හැඳින්වීම චීනයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් නිරතුරුවම ප්‍රතික්ෂේප කරන අතර, ඔවුන්ට අනුව එවැනි කඳවුරු අධ්‍යාපනික සහ පුහුණු මධ්‍යස්ථාන වේ. ඔවුන් පවසන්නේ මිනිසුන්ට අන්තවාදයෙන් මිදීමට එම කඳවුරු උපකාරී වන බවකි. එහෙත් එම දත්ත තුළින් පැහැදිලි වන්නේ රඳවා තබා සිටින බොහෝ පුද්ගලයන්ට එම ඉරණම අත්වී ඇත්තේ ඔවුන්ගේ සාමාන්‍ය ඉස්ලාම් ඇදහීම් සම්බන්ධව වන බවය. කඳවුර තුළ රඳවා තබා සිටින එක්තරා කාන්තාවකට අනුව ඇය මේ තත්ත්වයට පත්ව ඇත්තේ ඇගේ පුත්‍රයා මත්පැන් හෝ දුම්වැටි භාවිත නොකරන බැවින් එය දැඩි ආගමික නැඹුරුවක් පෙන්නුම් කිරීමක් ලෙස සලකමිනි. ඔහු ද ත්‍රස්තවාදී චෝදනා මත එම කඳවුර තුළ මේ ගෙවා දමන්නේ 10 වැනි වසර බවත් අනාවරණය වී තිබේ. මෙවැනි අනුමාන හේතු මත රඳවා තබා සිටින මුස්ලිම් වැසියන්ගේ සංඛ්‍යාව දහස් ගණනක් බව ද වාර්තා වේ. කඳවුර තුළ සිටින ළාබාලතම පුද්ගලයා තරුණියකි. ඇය එම කඳවුරට ගෙනැවිත් ඇත්තේ 15 හැවිරිදි වියේදීය. වැඩිමහල්ම පුද්ගලයා අවුරුදු 73ක් වයසැති කාන්තාවකි.

ෂින්ජියැං ප්‍රාන්තයේ මෙවැනි කඳවුරු ස්ථාපිත කිරීමෙන් කිසිදු ආකාරයක මානව හිමිකම් කඩවීමක් සිදු නොවන බව කියමින් චීනය සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, චීන රජයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු බීබීසී පුවත් සේවයට කියා ඇත්තේ බීබීසී පුවත් සේවය ලද එම දත්ත වාර්තාව චීන විරෝධී පාර්ශ්වයක නවතම ක්‍රියාකාරකම බවය. එමෙන්ම ෂින්ජියැං ප්‍රාන්තයේ සිදු වන සාමය කඩ කිරීම් නිසා ත්‍රස්තවාදය වැළැක්වීමේ අරමුණින් රජය පියවර රැසක් ගෙන ඇති බවය. ප්‍රති අධ්‍යාපනික මධ්‍යස්ථාන එහි එක් පියවරක් බව ද චීනය අවධාරණය කර තිබේ. ඉස්ලාම් අන්තවාදය රටින් තුරන් කිරීමට රජයට ගත හැකි සුදුසුම පියවර එය බවත් චීනය ප්‍රකාශ කර තිබේ.

 

ෆවුස් මොහොමඩ්

නව අදහස දක්වන්න