ඉගෙන ගන්න කිසිම උනන්දුවක් නොතිබුණ ඥානරත්නගේ හිත තිබුණෙම ගොවිතැනට. සාමාන්‍ය පෙළ විභාගය ලියපු ගමන්ම පාසල් ගමන අතහැරලා දිව්වේ අම්මයි තාත්තයි කර ගෙන යන ගොවිපොළට. එදා ඉඳලා දිගටම කළේ වගාව. ඥානරත්නගෙ පවුලේ සහෝදර සහෝදරියන් දහ දෙනයි. මේ දහදෙනාම හොඳට ඉගෙන ගෙන සමාජයේ ඉහළ තනතුරු හොබවනවා. පවුලේ පස්වැනියා වන ඥානරත්න ඉගෙන ගත්තෙ නැති නිසා පවුලේ හැමෝම වගේම ඔහුව ඇමතුවේ මෝඩයා, බූරුවා කියන නම්වලින්. කුඹුරේ හේනේ බැහැලා මඩ නාගෙන ගෙදර එන ඥානරත්න දිහා කවුරුත් බැලුවේ නොපහන් හැඟීමෙන්. හැබැයි ඔහුගේ අම්මයි තාත්තයි නම් ඔහුට පුදුම තරම් ආදරෙයි. ගොවිතැනට සිත තිබෙන ඔහු කැත්ත උදැල්ලෙන් හේනේ කුඹුරේ කරපු හරඹය නම් පුදුමාකාරයි. ඔහු නිසා නිවෙසේ ආර්ථිකයටත් වුණේ වාසියක්.
මේ අතරේ ප්‍රදේශයේ යමක් කමක් ඇති පවුලක පාසල් යන යුවතියක සමඟ පෙම් හබයක පැටලුණු ඥානරත්න ඇය සමඟ පැන යන්නේ මේ සම්බන්ධයට පවුල් දෙකේම අයගේ අකැමැත්ත නිසා. ඔහු මේ යුවතිය රැගෙන යන්නේ රජයේ ඉඩමක හදපු පුංචි පැලකට. මේ පැලේ ඉඳගන්න පුටුවක් වත් තිබුණේ නැහැ. ඒත් ඔහු බිරිය සමඟ එකතු වී මුලින්ම වගා කළේ අමුමිරිස්. අමුමිරිස් වගාව සරුවට වැවුණා. මේ අතරේ සිදුවුණු පුදුමසහගත සිදුවීමක් නිසා තමයි ඥානරත්නටත් ඔහු ගේ බිරියටත් වාසනාව පෑදුණේ. අපි ඥානරත්න මහතාගෙන්ම අහමු ඔහුගේ ගොවිතැන සාර්ථක වුණේ කොහොම ද කියලා.
"මම එච්. ඥානරත්න. මගේ මුල් ගම මහවිලච්චිය. මගේ තාත්තා හවඩියා. අම්මා බට්ටි නෝනා. අම්මයි, තාත්තයි දෙන්නම කළේ ගොවිතැන. මාත් පුංචි කාලේ ඉඳලම ආස වුණේ ගොවිතැන් කරන්න. හේනට යන්න කුඹුරට යන්න මම ඉස්සර ඉඳලම කැමතියි. මගේ සහෝදර සහෝදරියො ඔක්කොම හොඳට ඉගෙන ගෙන අද රටේ හොඳ තනතුරුවල ඉන්නවා. ඒ අය මට ඉස්සර කිව්වේ මෝඩයා, බූරුවා කියලා. ඒ මම ඉගෙන ගත්තේ නැති නිසා. මම මේ හැමෝගෙන්ම අපහාස වින්දා. ඒත් මම සමාජයේ හැමෝටම උදවු කර ගෙන මිනිස්සුත් එක්ක හොඳින් හිටියා.
1986 අවුරුද්දෙ තමයි මම පාසල් වියේදිම මගේ බිරිය නිලන්තිකා සමඟ ආවේ. අපි ආවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොකුන්නෑව කියන ගමට. ඒ ගමට ඇවිත් රජයේ ඉඩමක හේන් කෑල්ලක් කොටා ගෙන පොල් අතු විස්සක විතර පොඩි පැලක් අටවගෙන අපි හිටියා. අක්කරයක විතර හේනක් මම කෙටුවා. මුලින්ම වැව්වේ මිරිස්. මගේ පුතයි ලොකු දුවයි හම්බුණත් මේ පැලේදිමයි. මම ගොඩක් මහන්සි වුණා, ගොඩක් දුක් වින්දා. අලි, කොටි, වලස්සු, නයි. පොළොංගු එක්ක ජීවිතේ සටන් කරලා තමයි මේ තැනට ආවේ. මුල් කාලේ එක වේලක් කාලා අනිත් වේල කන්න හොයා ගන්න හුඟක් අමාරු වුණා.
මිරිස් වගාව ටික ටික දියුණු කර ගෙන මම පොඩි ඉඩමක් අරගෙන කටුමැටි ගෙයක් හැදුවා. ඒ ගෙදරදි තමයි මගේ චූටි දුව හම්බුනේ.
මේ අතරෙදි සිද්ධ වුණ දෙයක් තමයි අලි බෙට්ටක පුහුල් වැලක් පැළ වෙලා මට වාසනාව ගෙනාවේ. "
අලි බෙට්ටක වැවුණු පුහුල් වැල නිසා ගොඩක් දියුණු වුණ ඥානරත්න මහතාට ගමේ හැමෝම කිව්වේ පුහුල් චුට්ටේ කියලා. ඥානරත්න මහතාත් පුහුල් ගෙඩියක් වගේ රවුම් මූණක් තියෙන කුඩා මිනිසෙක්. ඒත් අද ඒ කුඩා මිනිසා මුළු නොච්චියාගමටම උදවු කරන මිනිසුන් රාශියකට රැකියා සපයන පතාක යෝධයෙක්. අද ඔහුට අක්කර 300ක පමණ විශාල ගොවිපොළක් තිබෙනවා. ඒකේ පුහුල්, වට්ටක්කා, මාළු මිරිස්, පොල්, බඩ ඉරිඟු, තල, උඳු, කජු, අඹ වර්ග වගේම තේක්කත් තිබෙනවා. ඒත් ඔහු තාමත් හරිම සරල චාම් හැමෝටම ආදර්ශයක් සපයන චරිතයක්. අලි බෙට්ටක වැවුණ පුහුල් වැලේ කතාව ඔහු අපට කිව්වේ මෙහෙමයි.
"මේ පැත්තට හරියට අලි එනවා. අලි ඇවිත් අපේ වගා විනාශ කරනවා. දවසක් මගේ මිරිස් හේනට ආපු අලියෙක් දාපු බෙට්ටක පුහුල් ඇටයක් තිබුණා. මේ පුහුල් ඇටය ඇරගෙන මම හිටෙව්වා. ඒ පුහුල් වැලේ ගෙඩි 62ක් ආවා. එක වැලක ගෙඩි 62ක් ආවාම තව අක්කරයක විතර පුහුල් හිටෙව්වා. ඒවායේත් ගෙඩි ගොඩක් ආවා. ඊට පස්සෙ මම ටික ටික අක්කර ගණනකම පුහුල් හිටෙව්වා. මට පුහුල් වෙළෙඳපොළ අහු වුණා. වෙළෙන්දෝ ඒ කාලේ මට රුපියල් දෙකක් දීලා පුහුල් කිලෝ එක ගත්තේ. MD, Kist, KVC ආයතන මගේ පුහුල් මිල දී ගත්තා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනෑ කඩුවෙල ලකී ස්වීට් හවුස් ආයතනයේ අයිතිකාර මහත්තයා. ඒ මහත්තයා මට බුදු කෙනෙක් වගේ. මගේ පුහුල් එක ගෙඩියක්වත් අපතේ ගියේ නෑ. ඒ මහත්තයා ඔක්කොම මිල දී ගත්තා. ගත්ත හැම පුහුල් ගෙඩියටම හොඳ මිලක් මට ගෙව්වා. මට සත පහකවත් කිසිම වංචාවක් කළේ නෑ. අදටත් මම පුහුල් අස්වැන්න කපලා අලින්ටත් පුහුල් ඉතුරු කරනවා.
මිරිස් පිටරටින් ගේන්න ගත්තාම අපේ මිරිස් ගොවිතැන අතහැරුණා. පුහුල් වගාව දිගටම කර ගෙන ආවා. ඒ අතරෙ බඩ ඉරිඟු මහා පරිමාණයෙන් වවනවා. බඩ ඉරිඟුවලට ප්‍රීමා එකෙන් හොඳ ඉල්ලුමක් තිබෙනවා. බර තොගයක් මම එහාට යවනවා. මම පිටරටිනුත් බඩඉරිඟු බීජ ගේනවා. මෙහෙත් එකතු කරනවා. බඩඉරිඟු කිලෝ කෝටි ගණනක් මම මෙහේ ගබඩා කර තිබෙනවා. ඒවා මම සත්ත්ව ගොවිපෙළවල්වලට දානවා. ඉඩඉරිඟුවලින් හොඳ ආදායමක් ගන්න පුළුවනි.
මම හැමදාම මගේ ගොවිපළට යනවා. මගේ දාඩිය බිඳුවක් හරි මේ බිමට වැටෙන්න ඕනෑ. මේ ගස්වලට පණ එන්නේ මගේ දාඩිය බිඳුවලින්. මම මේ ගොවිපළට ආදරෙයි. මේ ගහ කොළට ආදරෙයි. මගේ දාඩිය මහන්සියෙන් වැවුණ දේවල් මේ තියෙන්නේ. මගේ අත් දෙක හරි වාසනාවන්තයි. මේ අත් දෙකෙන් මොනවා හිටෙව්වත් හොඳට පැළ වෙනවා. ඒ අත් ගුණේ නිසා තමයි මිරිස් හේනක් වවා ගෙන හිටපු මම අද මේ තත්ත්වෙට ආවේ. මගේ බිරිය එදා කන්න නැතිව ඇඬුවා, අද ඇය රැජනක්."
පුහුල් චුට්ටෙගේ ගොවි පළ ඉතාම සශ්‍රීකයි. අඩි පහක්වත් උස නැති පොල් ගස්වල ගෙඩි අතින් කඩන්න පුළුවනි. ඒවා පලදාවෙන් පිරිලා. කර්තකොලොම්බන් අඹ ගසුත් එහෙමයි. වැඩිය උස නැති අඹ ගස්වල ගෙඩි කඩන්න කෙක්කක් ඕනෑ නැහැ. තල, උඳු වගාවත් එහෙමයි. ඒවා ඉබේ පැළ වෙලා වගේ. ඊයේ පෙරේදා පලදාව කඩපු පුහුල් වැල් තිබුණේ සිනහමුසු මුහුණින් වගෙයි. බඩඉරිඟු වගාව හාවුන්ගෙන් පරිස්සම් කර ගන්න විශාල වෙහෙසක් දරන්න ඕනෑ බවයි ඔහු පැවසුවේ. ගෙඩි පිරුණු පොල් ගස්වල පොල් ගෙඩි වැඩියෙන්ම ප්‍රයෝජනයට ගන්නේ අසල්වැසි ජනතාව බවයි ඥානරත්න මහතා පැවසුවේ. අපි එහි යන විටත් කජු ගස් යට කොළු කුරුට්ටන් කජු අහුලනවා. ඔවුන් කජු විකුණා අමතර ආදායමක් උපයා ගන්න බවයි අපට දැන ගන්න ලැබුණේ. දුප්පත්කමේ පතුලේ ඉඳලා ආපු ඔහුට ඒ ගෙවුණු අතීතය හොඳින් මතකයි. ඒ නිසා වටපිටේ ඉන්න දුප්පත් මිනිස්සුන්ගේ බඩගින්න ඔහුට හොඳින් දැනෙනවා. මේ නොච්චියාගම මිනිස්සු පුහුල් චුට්ටේට ආදරේ කරන්නේ ඒ නිසයි.
අපේ රටේ ජනතාවට ඔහු සපයන්නේ මහඟු ආදර්ශයක්.
හැමදාම අනුන්ටම දොස් පවරන්න පුරුදු වෙලා ඉන්න අපේ රටේ ජනතාවට පුහුල් චුට්ටේ මෙන් මිරිස් ගහෙන්, පුහුල් වැලෙන් ගොඩ එන්නට වෙර දරනවා නම් කාටවත් දොස් නොකියා තමන්ටම දියුණුවේ හිණි පෙත්තටම යා හැකියි. ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක්. මේ මහ පොළොවේ මය්යොක්කා දණ්ඩක් විසි කළත් පැළ වෙනවා. ගෝලීය ආහාර අර්බුදයක් අත ළඟම එනවා. තමන්ගේ ගෙවත්තෙන්ම වගා සංග්‍රාමයක් අරඹන්න හැමෝටම පුළුවනි. එවිට කිසිදු ආහාර අර්බුදයකට හෝ ආර්ථික අර්බුදයකට බිය නොවී අනාගතයට මුහුණ දිය හැකියි.
ඡායාරූප ලයනල් පෙරේරා
නව අදහස දක්වන්න