එළවළු පලතුරු වගාවක් කිරීමට තම ගෙවත්තේ ඉඩකඩ මදි වුව ද සාර්ථක වගාවක් කිරීමේ හැකියාව වෙනත් ක්‍රමවේද ඔස්සේ ද කළ හැකිය. නගරයේ කොන්ක්‍රිට්තට්ටු මත ද කාබනික එළවළු වගාවක් සාර්ථකව වගා කිරීමේ හැකියාව තිබේ. හිත ඇත්නම් ඕනෑම පරිසරයක සාර්ථකව වගාවන් සිදු කළ හැකි බවට ලොවට කියන්නේ වැලිමඩ බදුල්ල පාරේ ව්‍යාපාරිකයකු මෙන්ම හිටපු විශේෂ අධ්‍යාපන ගුරු උපදේශක ඩබ්ලිව්. ඇම්. ජයසුන්දර මහතාය.
විශේෂ අවශ්‍යතා ඇති පාසල් දරුවන් හඳුනාගැනීමට ඌව පළාතේ පාසලෙන් පාසලට ගොස් අක්ෂි සායන නොමිලයේ පැවැත්වු ඔහු ශ්‍රවණ ආබාධිත පාසල් දරුවන් අදාළ වෛද්‍ය සායනවලට යොමු කර ඇති අතර විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සදහා පාසල් හයක විශේෂ අධ්‍යාපන ඒකක ද පිහිටුවිමට පියවර ගෙන තිබුණි. තමන් දැනට පදිංචි වැලිමඩ නගරයේ පිහිටි කොන්ක්‍රීට් තට්ටු මත කාබනික එළවළු වගාවන්වල අස්වනු පවුලේ පරිභෝජනයටත් අතිරික්තය තම හිතවතුන් අතර බෙදා දීමට පියවර ගෙන සිටින විශ්‍රාමික ගුරු උපදේශක ඩබ්ලිව්. ඇම්. ජයසුන්දර මහතා ඔහුගේ වගාව පිළිබඳ අදහස් දැක්වූයේ මෙසේයි.
"මම 2012 වසරේදි ගුරු සේවයෙන් විශ්‍රාම ගත්තා. රජයේ සේවයෙන් විශ්‍රාම ගැනීමත් සමඟම විවිධ රෝගවලට ගොදුරු වෙනවා. දිනකට පැය දෙකක්වත් කය වෙහෙසෙන අයකුට බෝ නොවන රෝග වැලඳීම අල්පයි. එනිසා මම දැනට පදිංචි වැලිමඩ නගරයේ ගොඩනැඟිල්ලේ ඉහළ මාලයේ කොන්ක්‍රිට් තට්ටුව මත කාබනික එළවළු වගාවක් කරනවා. තක්කාලි, වට්ටක්කා. වම්බටු, ගෝවා ඇතුළු එළවළු වර්ග හා පළා වර්ගත් ඉතාමත් සාර්ථකව වගා කරනවා. නිවෙසේ අපගේ පරිභෝජනයට වස විසෙන් තොර නැවුම් එළවළු සපයා ගන්න හැකි වෙලා. අතිරික්තය හිතවතුන් අතර බෙදා දෙනවා. ඒකෙන් මානසික සතුටක් ලැබෙනවා.
මෙම වගාවන්ට අවශ්‍ය කාබනික පොහොර මමම නිෂ්පාදනය කර ගන්නවා.
නගරයේ ජිවත් වන අයට වගාවක් කර ගන්න තැනක් නොමැති බවට මැසිවිලි නඟනවා. හිත ඇත්නම් වගා කිරිමට අවශ්‍ය බිම්කඩක් සකසා ගත හැකි බවට මම මනාව ඔප්පු කර තිබෙනවා. එසේම ඉදිරියේදී ආහාර හිඟයක් මතුවිමට ඉඩ ඇති බවට රජය අනතුරු අඟවනවා. එයට මුහුණ දීමට නගර වැසියන්ටත් මෙම වගා ක්‍රමයෙන් හැකියාවක් ලැබෙනවා."
මල් පෝච්චිවල, ප්ලාස්ටික් බෝතල්වල මෙන්ම පොහොර උරවල ද එළවළු වර්ග සහ පළා වර්ග වගා කොට තිබේ. එමෙන්ම ප්ලාස්ටික් බට උපයෝගි කර ගනිමින් මෑ කරල්, දඹල වැනි වැල් වර්ග ද සාර්ථකව වගා කොට ඇත. මේ ආකාරයට සාර්ථක වගාවක් කිරීමට වත්තේ ඉඩකඩ අවශ්‍ය නොවේ. ආහාර අර්බුදයක් පවතින මෙවැනි වකවානුවක මේ ආකාරයෙන් වගාවට යොමු වීම කාලයේ හැටියට කළ යුතු සුදුසුම කර්තව්‍යයකි.
කේ.ආර්.ආර්.රාජමන්ත්‍රී
නව අදහස දක්වන්න