මොකක්ද මේ වී.ආර්.ආර් | දිනමිණ

මොකක්ද මේ වී.ආර්.ආර්

කළු එතනගේ ගල් පඩි පෙළ, නමත් හරිම අපූරුයි. නිර්මාණයත් ඒ වගේමයි. මිනිස් අතින් නිර්මාණය වුණු බවට ඉතිහාසයේ කියැවුණත් අද වෙන කොට මේ කියන කළු එතනගේ ගල් පඩි පෙළ පිහිටලා තියෙන පරිසරය එහි කොටසක් බවට පත් වී හමාරයි. සිරිලක් බිම පුරා ව්‍යාප්තව ඇති වනය කියන්නේ අපේ ඉතිහාසය පිළිබඳ කථා රැසක්ම සඟවා ගත් රහස් පුස්තකයක් වගෙයි. එකී පුස්තකයේ සිරිලක විසල්ම අභය භූමිය නමින් ලියැවී ඇති තොරතුරු පිළිබඳ ගවේෂණය කිරිමටයි එද මේ සුදානම් වන්නේ.

වනපෙත් තුළ සැඟව ගිය පුරාවත ගැන දැන කියා ගන්නා අටියෙන් ආරම්භ කළ පැලැස්ස ගවේෂණාත්මක චාරිකාවෙන් අද ගොඩ වෙන්න බලාපොරොත්තු වන්නේ තවත් සොඳුරු ඒ වගේම ඉතා වැදගත් ජෛව විවිධත්වයෙන් පොහොසත් පාරිසරික කලාපයක් වෙතයි.

මේ කියන අපූරු නිර්මාණය පිහිටා ඇත්තේ වී - ආර් - ආර් අභය භූමියේ උඩුදුම්බර කඳු අතරේයි. අපි පහු ගිය දවසක ගියා හරිම අපූරු ගමනක්. ඒ තමයි කළු එතනගේ ගල්පඩි පෙළ දිගේ මොරයාය කියන සුන්දර ගම්මානයට. මේ ගිරි දුර්ග අතරින් දිව යන ගමන් මාර්ගය ආරම්භ වෙන්නේ උඩුදුම්බර දාගවිල්ල කඳු මුදුන් අතරේ ඉඳන් මොරයාය කියන කඳු බෑවුම දක්වායි. ඒ කියන්නේ වී - ආර් -ආර් අභය භූමියේ බින්තැන්න පාර්ශවය තමයි මෙහිදි නියෝජනය වන්නේ.

ගමන් මාර්ගය මහියංගණයේ සොරබොර දක්වාම වැටී තිබු බව තමයි මේ හා සම්බන්ධ ඉතිහාසය ගවේෂණය කරද්දි පැහැදිලි වෙන්නේ. ගමන හරිම අපූරුයි. උඩුදුම්බර කඳු වළල්ල කියන්නේ සොඳුරු දනව්වක්. කවදත් මිහිදුම් දුමාරය මුසුව එන සිහිල් සුළඟ රජයන දාගවිල්ල වනජීවී අඩවියෙන් ආරම්භ වන කළු එතනගේ ගල් පඩි පෙළ කියන අරුම පුදුම නිර්මාණය හොයා ගෙන අපි අපේ ගමන ආරම්භ කළේ හිමිදිරි උදෑසනකයි. එයට හේතුව වන්නේ පසු කිරීමට ඇති ගිරි දුර්ග මඟෙහි විවිධ පාරිසරික තත්ත්වයන් සහ ඒ ඇසුරේ දිවි ගෙවන ශාක හා සත්ත්ව ප්‍රජාව ගැනත් අධ්‍යයනය කළ යුතු වීමයි. එවිටයි ගමනේ සුන්දරත්වය වගේම නියම

අරුත්බර වන සංචාරයක් නිමා කිරීමට හැකි වුණා කියන සතුට අපට හිමි වන්නේ. අවට දර්ශනය මේ කදු හිස් මත සිට හරිම අපූරුවට නරඹන්න පුළුවන්.

කඩිනම් මහවැලි ව්‍යාපාරය යටතේ වී.ආර්.ආර්. අභය භූමිය බිහි වීමට සමගාමීව ජලයෙන් යටවන වපසරියට අයත් වුණූ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වුණූ දාගවිල්ල, රන්කීරියගොල්ල, පිටිගොඩ, තලවල, පඩිපෙල්හෙළ කියන ඉපැරැණි ගම්මාන මේ ප්‍රදේශවලින් ඉවත් කරලා මහවැලි සී කලාපය තුළ පදිංචි කිරීම සිදු වුණා. ගමන ආරම්භයේ සිටම නෙත ගැටෙන්නේ ඒ සඳහන් කරපු පැරැණි ගම් පැවැති බවට වන නටබුන්.

ඒත් අද දවසේ මෙහි රජයන්නේ අලි - ඇත් සද්ධන්ත නියෝජනයන් ප්‍රමුඛ වන සතුනුයි. එබැවින් මෙවැනි වනගත ගමන් සඳහා සාමාන්‍ය ජනයාට නම් අවකාශ නොලැබෙන බව වගේම විෂයට අදාළ වන පාර්ශ්වයන්ට සහ පර්යේෂකයන්ට පමණක් මෙවැනි ගමන් සඳහා අවසරය ලැබෙන බවත් සදහන් කළ යුතුයි.

වී.ආර්.ආර්. අභය භූමිය, අපේ රටේ පිහිටා ඇති විශාලතම අභය භූමියයි. මෙම අභය භූමිය හැඳින්වීමට භාවිත වන කොටි යෙදුම වී.ආර්.ආර්. යන්න ඇතැමකුට නම් නුහුරු නමක් විය හැකියි. පළමුව එකී කෙටි නමේ තේරුම දිග හැර ගත යුතුයි. සිරිලක දිගම ගංගාව වන මහවැලි නදිය හෝර්ටන්

තැනිතලාවෙන් උපත ලබා මධ්‍යම කඳුකරයත්, දුම්බර කඳුකරයත් වෙන් කරමින් දුම්බර මිටියාවත ඔස්සේ රජරට ගොවි බිම් සරු සාර කරමින් ඇදී යන ගමන ත්‍රීකුණාමලයේ කොඩ්ඩියාර් බොක්කෙන් මහ සමුදුර සිපගනිමින් අවසන් කරයි.

මහවැලිය ආරම්භයේ පටන් අවසානය දක්වා පසු කර යන ඒ ඒ ප්‍රදේශයන් ආශ්‍රිතව සටහන් කරනා සමාජීය, ආර්ථික සහ සංස්කෘතිකමය සලකුණු

සුවිශේෂීයි. දුම්බර මිටියාවතේදී වේලි බැඳ හරස් වන මහවැලිය අපූර්ව වු ජලාශ ත්‍රිත්වයක් අපේ රටට දායාද කර තිබෙනවා. ඒ රටේ මූලිකම අවශ්‍යතාව වන කෘෂිකර්මාන්තය සහ ජල විදුලි උත්පාදනය අරමුණු කර ගනිමිනුයි. ඒ අනුව වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ සංකීර්ණය දියවරින් පොහොසත් කර පෙර සඳහන් කළ නිෂ්පාදන ක්‍රියාවලිය වඩාත් ශක්තිමත් කරනු වස් දුම්බර කඳු පෙතෙන් ගලා බසිනා හුළු ගඟ වික්ටෝරියාවටත්, බදුලු පුරවරයේ සිට ගලා බසිනා උමා ඔය රන්ටැඹේටත් ගලා බසිමින් එකී ජලාශයන් දියවරින් පොහොසත් කරවයි.

මෙකී සුවිසල් ජලාශ ව්‍යාපෘති ඉදි කිරීමේදී දැවැන්ත වනගහනයක් ඒ සඳහා යට වුණා. එකී වනාන්තර ඇසුරේ දිවි ගෙවූ වන සතුන් වෙනුවෙන් ස්වකීය නිජ බිම් අහිමි වීම උදෙසා වාසස්ථානයන් නිර්මාණය කිරීමට සහ සිදු වු පාරිසරික ව්‍යසනය අවම කිරීමට වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ ත්‍රිත්වය කෙන්ද්‍ර කර ගනිමින් අපේ රටේ ප්‍රකාශිත විශාලම අභය භුමිය බිහි වුණා. ඒ අනුව වර්ෂ 1987 ජනවාරී මස 30 වන දින වර්ග හෙක්ටයාර් 42087.3ක පමණ භූමි වපසරිය ඇතුළත් වන පරිදි වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ අභය භූමිය ප්‍රකාශයට පත් වුණා. විශේෂත්වය වන්නේ යට කී ජලාශ ත්‍රිත්වයම මැදි වන සේ අභය භූමියේ පිහිටීමයි.

අභය භූමියේ වනවැස්ම නියෝජනයන් අතරේ අර්ධ සදාහරිත වනය, බට පඳුරු වනය, අර්ධ කඳුකර වනය, ගංගාධාර වනය ආදි වූ ආකාර කිහිපයක්ම දැක ගත හැකියි. අභය භුමියට අයත් කඳු වැටි මහියංගණය පාර්ශ්වයෙන් උඩුදුම්බර කඳු අතුරින් ආරම්භ වී බදුල්ල උණගොල්ල දක්වා මුහුදු මට්ටමේ සිට උස මීටර් 654 –1167 දක්වා වූ පරාසයක් තුළ මධ්‍යම හා ඌව දෙපෙළාත අතරේ විහිදී යයි. මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 2000කට ආසන්න වන අතර මහවැලි ගංගාවේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් නියෝජනය කරනා අභය භූමියක් ලෙසින්, කෙටි යෙදුමකින් නම් ගන්වා ඇති V:R:R (වීක්ටෝරියා - රන්දෙණිගල - රන්ටැඹේ) අභය භූමිය සුවිශේෂ වූ පාරිසරික භූමිකාවක නිරතව සිටියි.

 සඳමල් රශ්මී ශ්‍රී බුද්ධික

 

නව අදහස දක්වන්න