රට යන තැඹිලි ගෙඩියට අලුත් පෙනුමක් | දිනමිණ

රට යන තැඹිලි ගෙඩියට අලුත් පෙනුමක්

දේශීය වෙළෙඳපොළෙන් ඔබ්බට ගොස් අපනයන වෙළෙඳපොළ ජය ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවේ. එය අභියෝගයකි. අපනයන වෙළෙඳපොළේ පවතින තගඟකාරිත්වය රඳා පවතින්නේ ගුණාත්මය, ආකර්ෂණීය බව සහ තාක්ෂණය ඇතුළු තවත් කාරණා රැසක් මතය. මේ නිසා විදෙස් වෙළෙඳපොළට නිෂ්පාදනයක් ඉදිරිපත් කිරිමේදී නිෂ්පාදකයෝ විවිධ ගැටලුවලට මුහුණ පාති. යම් හෙයකින් එම ගැටලු අවම කර ගන්නේ නම් එය මුදල් ඉපයිය හැකි කදිම මාර්ගයකි. එවැනි ආර්ථික භෝගයකි තැඹිලි.

දේශීය වෙ‍ළෙඳපොළේ මෙන්ම විදෙස් වෙළෙඳපොළේ ද තැඹිලිවලට හිමි වන්නේ ආකර්ෂණීය ඉල්ලුමකි. තැඹිලි වතුර සෞඛ්‍යමය පානයක් නිසා මේ ඉල්ලුම කිසි විටෙක පහත නොවැටෙයි. දේශීය වෙළෙඳපොළේ කවරාකාරයෙන් විකුණුව ද තැඹිලිවලට ඉල්ලුමක් ඇති මුත් පිටරටට අපනයනය කිරීමේදී එහි රසය, ගුණය, නැවුම් බව සහ මුලින් සඳහන් කළ මතු පිට ආකර්ෂණය රැක ගත යුතුය. තැඹිලි වතුර ඇසුරුම්වල බහා අපනයනය කරන මුත් ගෙඩිය සහිතව නැවුම් බව ආරක්ෂා කර ගනිමින් ස්වාභාවික තැඹිලි අපනයනයට විදෙස් වෙළෙඳපොළේ ලැබෙන ඉල්ලුම ඉතා ඉහළය. මෙහිදි තැඹිලි ගෙඩියේ පිට පොත්ත යම් ප්‍රමාණයක් ඉවත් කළ යුතු නිසා මේ කර්මාන්තයේ නියැළෙන නිෂ්පාදකයින්ට සුලභ ගැටලුවක් වන්නේ පිට පොත්ත ඉවත් කිරීමෙන් පසු ගෙඩියේ මතු පිට පැහැය අවර්ණ විමයි. නැති නම් පැහැය වෙනස් විමයි. ඉන් ආකර්ෂණීය බව හීන වෙයි.

උක්ත ගැටලුව අවම කර ගැනීම සඳහා නිෂ්පාදකයින් යම් යම් උපක්‍රම යෙදුව ද එහි සාර්ථක බවක් දක්නට නොමැති බවට ඔවුන් නිරන්තරයෙන් කරන මැසිවිලි කෙරෙහි අවධානය යොමු කළ ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය නව පර්යේෂණයක් තුළින් මේ සඳහා තිරසර විසඳුමක් සොයා ගැනීමට සමත් වි ඇත. මේ තොරතුරු එම ආයතනයේ ප්‍රධාන පර්යේෂණ නිලධාරි (අංශ ප්‍රධානි - පර්යේෂණ) ආචාර්ය නිලන්ති විජේවර්ධන මහත්මිය මෙසේ ගෙනහැර දැක්වූවාය.

"මෙය තැඹිලි අපනයනය කරන්නන් ප්‍රායෝගිකව මුහුණ දෙන ගැටලුවක්. මේ නිසා අපි පසු අස්වනු තාක්ෂණය යටතේ මේ සඳහා විසඳුමක් හඳුන්වා දෙන්නයි මේ පර්යේෂණය කළේ. එය සාර්ථක ප්‍රතිඵල ලබා තිබෙනවා. අපි මේ සඳහා මතුපිට පැහැය වෙනස් වීම වළක්වන ප්‍රති ඔක්සිකාරක ගුණයෙන් යුත් වැක්ස් ප්‍රතිකාරයක් පරීක්ෂාවට ලක් කළා. එම වැක්ස් එක ආලේප කර සෙල්සියස් අංශක 13ක උෂ්ණත්වය යටතේ අපි සති 3ක පමණ කාලයක් ගබඩා කළා. එහිදී අපට දැකගන්නට ලැබුණා තැඹිලි ගෙඩියේ පිටත කිසිදු පැහැය වෙනස්වීමක් සිදු වී නැති බව. මේ ප්‍රතිකාරය තවදුරටත් ඉදිරියට ගෙන යමින් මතුපිටින් එකතු වන ජල වාෂ්ප ඉවත් කරන ඇසුරුමක් භාවිතා කළා. ඒ අනුව සෝඩියම් මෙගා බයිට් සල්ෆයිඩ් සමඟ වැක්ස් ප්‍රතිකාරය යෙදීමෙන් මාසයක් පමණක් කිසිම පැහැයක් වෙනස් නොවන ලෙස නැවුම් සහ ස්වාභාවික බව ආරක්ෂා කර ගත හැකි බව තහවුරු වුණා. ඒ වගේම රසයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවත්, පිට පොත්තේ ක්ෂුද්‍ර ජීවීන් හට ගෙන නොමැති බවත් අනාවරණය වුණා. ඒ අනුව තැඹිලි අපනයනය කරන්නන් මේ ප්‍රතිකාරය අපිට නිර්දේශ කරන්න පුළුවන්. මේ පර්යේෂණය සඳහා රුහුණු විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවක් ද සම්බන්ධ වුණා.”

මෙම වැක්ස් ප්‍රතිකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු අනුරාධපුර ජාතික පසු අස්වනු තාක්ෂණ ආයතනයෙන් දැන ගත හැකියි. මෙම පර්යේෂණාතමක අනාවරණය තැඹිලි අපනයනකරුවන් මෙතෙක් මුහුණ දුන් ප්‍රධාන ගැටලුවකට තිරසර විසඳුමක් සපයනු ඇතැයි අපි සිතමු

 සටහන සහ ඡායාරූප සකුන්තලා ජයසිංහ

නව අදහස දක්වන්න