අරණායක ඉන්ධනහලට රතිඤ්ඤා දැමූ ත්‍රිරෝද රිය­ැදුරා රිමාන්ඩ් | දිනමිණ

අරණායක ඉන්ධනහලට රතිඤ්ඤා දැමූ ත්‍රිරෝද රිය­ැදුරා රිමාන්ඩ්

අරණායක පිහිටි ඉන්ධන පිරවුම්හල වසා තිබෙන මොහොතක රාත්‍රී කාලයේ රතිඤ්ඤා දෙකක් දල්වා ඉන්ධන පිරවුම්හලට විසි කළ ත්‍රිරෝද රථ රියැදුරෙකු අත්අඩංගුවට ගෙන මාවනැල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා විසින් අද (20) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඉකුත් 15දා මෙම රතිඤ්ඤා දැල්වීම කර ඇති අතර ඉකුත් 16දා පොලිසියට පැමිණිල්ල ලැබී තිබිණි.

එම අවස්ථාවේ ඉන්ධන හලේ කිසිදු ඉන්ධනයක් නොමැති බැවින් කිසිදු අවධානමක් සිදුව නැති බව පොලිසිය පවසයි.

රාත්‍රී 11ට පමණ ත්‍රිරෝද රථයකින් පැමිණ රතිඤ්ඤා දෙකක් දල්වා ඉන්ධන පිරවුම් හලට විසි කර ඇති අතර එක් රතිඤ්ඤාවක් පමණක් පුපුරා ගොස් ඇති බව පොලිසිය පවසයි.

එම අවස්ථාව වන විට ඉන්ධන පිරවුම්හල වසා තිබුණත් ආරක්ෂාවට සිටි හමුදා නිලධාරීන් දෙදෙනා සහ සේවකයකු ත්‍රිරෝද රථ රියැදුරා හඳුනාගෙන තිබේ. ඔවුන් දුන් තොරතුරු අනුව ත්‍රිරෝද රථ රියැදුරු අත්අඩංගුවට ගත් බව අරණායක පොලිසිය පවසයි.

එම ත්‍රිරෝද රථ රියදුරු අරණායක බකුලුවල පදිංචි 32හැවිරිදි අයකු බව පොලිසිය පවසයි.

රතිඤ්ඤා දැමීමට හේතුව ගැන පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ තමාගේ සහෝදරයා මෝටර් රථයට ඉන්ධන ගැනීමට පැමිණි අවස්ථාවේ ඉන්ධන නොමැති බව පවසමින් ඉන්ධන නොදීම හේතුවෙන් ඉන්ධන හල් හිමිකරුව බිය ගැන්වීමට එසේ කළ බවය.

ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න