තෙල් නැති ජීවිත... | දිනමිණ

තෙල් නැති ජීවිත...

ඉන්ධන ගැටලුව අතිශය උත්සන්න තැනකට පැමිණ තිබේ. එය කොතරම් ද යත් පිරවුම්හලක් යනු මිනී මරා ගන්නා තැනක් බවට පත් වී ඇත. මිනිස්සු මරාගෙන මැරෙන්නට සපථ වෙමින් පිරවුම්හල් කරා ඇදී එති. නීතිරීති නැත. මනුස්සකම් නැත. එකා පිට එකා යමින් තෙල් ලීටර් කිහිපයක් සඳහා සියල්ලෝම සටන් වදිති. සමාජයට බැණ වැදීමෙන් හෝ බණ කීමෙන් හෝ පලක් නැත. සිදු විය යුත්තේ අඛණ්ඩව තෙල් සැපයීම පමණි. අපට එම කතාව පහසුවෙන් කියන්නට පුළුවන. ආණ්ඩුව හා එහි නායකයන් විවේචනය කරන්නටත් පුළුවන. එහෙත් තෙල් පිළිබඳ ගැටලුවට ස්ථාවර විසඳුමක් කිසිවකු ළඟ නැත.

තෙල් නැතිව කිසිවක්ම කළ නොහැකිය. ආර්ථිකය රැඳී ඇත්තේ තෙල් මතය. ජීවිතය රැඳී ඇත්තේ ද තෙල් මතය. අධ්‍යාපනය, සෞඛ්‍යය ඇතුළු සියලු සේවා රැඳී ඇත්තේ ද තෙල් මතය. ඉන්ධන නැතිව ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේ හැකියාවක් නැත. තෙල් ප්‍රශ්නය මත පාසල් සතියකින් වසා දමන්නට රජය තීන්දු කර තිබේ. ඊළඟ සතියේ පාසල් විවෘත කළ හැකි ද යන ගැටලුවට පිළිතුර ඇත්තේ තෙල් සැපයීම මතය. තෙල් හිඟය නිසාම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බොහොමයක් වැඩ අවුල් වී ඇත. ඉදිරියේදී එම තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකිය. මේ වන විට අපේ ප්‍රධාන ගැටලුව ඉන්ධන යැයි කිව හොත් එය බොරුවක් නොවේ.

මේ අතර පිරවුම්හල් තුළ ද, පෝලිම් තුළ ද තෙල් ප්‍රවාහනය තුළ ද නොයෙක් ආකාරයේ ජාවාරම් සිදු වෙයි. සමාජ මාධ්‍යවල පළ වන ප්‍රවෘත්තිවලට අනුව තෙල් බවුසර් අතරමඟ නවතා වැඩි මිලට තෙල් විකුණයි. තව පිරිසක් තෙල් රැස් කරති. පිරවුම්හල් තුළ ද නීතියක් රීතියක් නැත. පෝලිමේ සමහර කෙනකුට ලැබෙන තෙල් ලීටර් ප්‍රමාණය තව කෙනකුට ලැබෙන්නේ නැත. තවත් කෙනකුට බූලිවලට තෙල් පුරවා ගත හැකි ය. මේවා දකින මිනිස්සු කෝප වෙති. පිරවුම්හල්වල සේවකයන්ට පහර දෙති. ඒවා නැවැත්වීමට එන පොලිසියට ද මහජනයා පහර දෙති. මේ වන විට තත්ත්වය ඉතා බැරෑරුම් ය. පොලිසිය හා මහජනයා අතර ගැටුම් වර්ධනය වුව හොත් එය තවත් බරපතළ අර්බුදයකට මුල වනු ඇත.

දැන් පවතින තත්ත්වයට අනුව සලාක ක්‍රම, ප්‍රමුඛතා ලැයිස්තු ආදියෙන් ගැටලුවට විසඳුමක් ලැබේ යැයි සිතිය නොහැකිය. සෞඛ්‍ය සේවය සඳහා තෙල් සපයා ගැනීමේ විශේෂ අවසර පත්‍රයක් නිකුත් කර තිබූ අතර එය රැගෙන පිරවුම්හල් වෙත ගිය වෛද්‍යවරුන් පලවා හරින්නට මිනිස්සු උත්සුක වූහ. විභාග ප්‍රශ්න පත්‍ර පරීක්ෂාවේ නියුක්ත ගුරුවරුන්ට ද එබඳු අවසර පතක් දුන් අතර, ඔවුන් මිනිසුන්ගෙන් ගුටි නොකා බේරුණේ යාන්තමටය. එක්තරා ගුරුවරයෙක් කියා සිටියේ අදාළ අවසර පත්‍රය ගුටි කෑමට දුන් එකක් බවය. මේ සිද්ධිවලින් පෙනී යන්නේ ඉතා සංකීර්ණ අවස්ථාවකට අප මුහුණ දී ඇති බවය. ආණ්ඩුව පැත්තෙන් ගත්ත ද පාලකයන් දැඩි පීඩනයකට ලක් වී ඇත.

කිසිදු රාජ්‍යයක් තවත් රාජ්‍යයකට නොමිලේ තෙල් දෙන්නේ නැත. තෙල් වෙළෙඳපොළ පවතින්නේ අධික ලබන ස්ථානයක් හැටියටය. රුසියාවෙන් ලාභයට තෙල් මිල දී ගත හැකි බවට යෝජනාවක් ඉදිරිපත් වී ඇත. ඉරානයෙන් තෙල් ලබා ගත යුතු යැයි තවත් යෝජනාවක් ඉදිරිපත් වී ඇත. එහෙත් කුමන පදනමක් යටතේ තෙල් ගැනීමට වුව ඩොලර් සංචිත පවත්වා ගත යුතුය. අවම වශයෙන් ඩොලර් බිලියන දහයක්වත් සපයා ගන්නේ නැතිව ජනතාවගේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කළ නොහැකි බව ආර්ථික විශේෂඥයන්ගේ මතය වී තිබේ. මේ අනුව ඉතා ඉක්මනින් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය ගත යුතුව තිබේ. එම ආයතනයේ නිලධාරීහු කණ්ඩායමක් අද දිවයිනට එති.

ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල වැනි ආයතනවලින් ණය ගැනීම පහසු නැත. එම ආයතන ණය ගෙවීමේ හැකියාව හා රටේ ආර්ථික කළමනාකරණය ගැන විශේෂයෙන් සොයා බලයි. කොන්දේසි නැතිව ණය ගැනීමේ හැකියාවක් නැත. තව අතකින් අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීම ප්‍රමාද වී ඇත. මේ සාකච්ඡා ගිය වසරේ ආරම්භ වූයේ නම් අද වන විට ණය ලැබී අවසන්ය. අර්බුදය උත්සන්න වන තරමට ණයවලින් ගත හැකි ආර්ථික ප්‍රයෝජන අඩු වෙයි. මේ වන විට තෙල් හා ගෑස් සඳහා පමණක් අතිවිශාල ඩොලර් ප්‍රමාණයක් සපයා ගැනීමට රජයට සිදු වී ඇත. එය පහසු කටයුත්තක් නොවේ. විවේචකයන් කුමන මත ඉදිරිපත් කළ ද රාජ්‍ය නායකයන් සිය උපරිම පරිශ්‍රමය ණය හා ආධාර ගැනීම සඳහා යොමු කර ඇත. එය පිළිගත යුතු කාරණයකි.

අප බණ කීමට කැමති නැති වුව ජනතාවගේ දැන ගැනීම සඳහා වැදගත් වචන කිහිපයක් සටහන් කර තබන්නට කැමැත්තෙමු. පළමුවෙන් කිව යුත්තේ අර්බුදයෙන් ගොඩයෑම සඳහා සෑම පුරවැසියකුම යම් කැප වීමක් කළ යුතු බවය. කැප වීම, ඉවසීම හා උත්සාහය නැතිව අපට මෙතැනින් අඟලක් හෝ ඉදිරියට යා නොහැකිය. දෙවනුව කිව යුත්තේ සෑම අවස්ථාවක් සඳහාම විකල්ප ක්‍රියාමාර්ග වෙත යොමු විය යුතු බවය. එය අර්බුදයට මුහුණ දීමේ උපාය මාර්ගයක් ද වෙයි. තෙවනුව කිව යුත්තේ අර්බුදය ජය ගත හැකි යැයි විශ්වාසයක් අප තුළ ගොඩනඟා ගැනීමය. ඇතැම් රාජ්‍යයන් මීටත් වඩා දරුණු අර්බුදවලට මුහුණ දී සාර්ථකත්වය ළඟා කරගෙන තිබේ.

නව අදහස දක්වන්න