මත් කුඩු ජාවාරම්කරුවකුට වෙඩි තබා පැන යෑමට සහාය දුන් සැකකරු අත්අඩංගුවට | දිනමිණ

මත් කුඩු ජාවාරම්කරුවකුට වෙඩි තබා පැන යෑමට සහාය දුන් සැකකරු අත්අඩංගුවට

පකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර මුහුදු මාර්ග ඔස්සේ කෙරන අන්තර්ජාතික මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් අධිකරණයේ විභාගවන නඩුවක සාක්ෂිකරුවකුට තංගල්ලේදී වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරුට පලායෑමට මෝටර් රථයක් දුන් බව කියන සැකකරුවකු තංගල්ල පොලීසිය ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබේ.

සුරතලා නමින් හඳුන්වනු ලබන ඔහු ඉඳුරුවේ පදිංචිකරුවෙකි. අවුරුදු 32ක් වයස ඔහු වෙඩික්කරුට පළායාමට බෙන්තොට පිහිටි වාහන කුළියට සපයන ආයතනයකින් වාහනයක් රැගෙන ඇති බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.

සුරතලා නැමැති මෙම සැකකරු ඉකුත් මහා මැතිවරණයට අපේක්ෂකයෙක් ලෙස තරග කළ අයෙක් බවද අනාවරණය වී තිබේ. එම දේශපාලන පක්ෂය නියෝජනයකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ද සිටියි.

තංගල්ලේ සිදුවූ වෙඩි තැබීමෙන් පසු සුරතලා නැමැත්තාව සඟවාගෙන සිට ඇත්තේ එම පක්ෂයේ නායකයා බවට තොරතුරුද පොලීසියට ලැබී තිබේ. ඒ අනුව ඉදිරියේදී ඔහුවද අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය. එම පක්ෂ නායකයා දකුණේ නමගිය පුද්ගලයෙක් වන අතර ඔහු ඉහළ දේශපාලනඥයන් කිහිප දෙනෙක් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් සමගින්ද ඉතා කිට්ටු ඇසුරක් පවත්වන අයෙකි. ඔහුට විවිධ අපරාධ සම්බන්ධයෙන්ද චෝදනා එල්ලවී තිබේ. මේ වන විට ඩුබායි හී රැඳී සිටින මහා පරිමාණයේ මත්කුඩු ජාවාරම්කරුවෙක් වන කොස්ගොඩ සුජී නමැති පාතාලයේ ප්‍රබලයා සහ මෙම පක්ෂ නායකයා අතර දීර්ඝ කාලයක සිට ගැටුමක්ද තිබේ. එම ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස වරක් ඔහුට කොස්ගොඩ සුජීගේ පාර්ශ්වයෙන් වෙඩි ප්‍රහාරයක්ද එල්ලවී තිබුණි.

ගයාන් කුමාර වීරසිංහ‍

නව අදහස දක්වන්න