නිලධාරීන්ට කර - අරින්න බෑ | දිනමිණ

නිලධාරීන්ට කර - අරින්න බෑ

මීට වසර කිහිපයකට පෙර ඉන්දීය රජයේ කෘෂිකර්ම ව්‍යාපෘතියක ඉහළ නිලධාරීහු දෙදෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණියහ. ඒ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ව්‍යාපෘති පිළිබඳ පර්යේෂණයක නිරත වීම සඳහාය. මෙය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මත සිදු වන කටයුත්තක් බැවින් මෙරට නිලධාරීහු ඉන්දීය සගයන් දෙදෙනාට ඉහළම අයුරින් පහසුකම් සැපයීමට ක්‍රියා කළහ. ඒ අනුව ඔවුන් දෙදෙනාගේ සංචාරක කටයුතු සඳහා බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ සුඛෝපභෝගි මෝටර් රථයක් ලබා දුන්හ. ඉන්දීය නිලධාරීහු දෙදෙනා එම රථය ප්‍රතික්ෂේප කොට ඉන්දියාවේ නිෂ්පාදිත මරුති වර්ගයේ කුඩා මෝටර් රථයක් තම ගමන් සඳහා වෙන් කර ගත්හ. ඔවුහුම එය පදවාගෙන ගියහ.

ඉන්දීය රාජ්‍ය නිලධාරීන් බොහේ විට සරල පැවැතුම් සහිත අල්පේච්ඡ ජීවිත ගත කරන අය ලෙස ප්‍රකටය. එහෙත් ඔවුන්ගේ දැනුම හා හැකියාව ඉතා ඉහළය. සමහරු රැකියාව සිය ජීවිතය කරගෙන රටට සේවය කරති. තව සමහරු ඉතා අරපරිස්සම් සහිතව රාජ්‍ය සම්පත් පාවිච්චි කරති. තවත් සමහරු පොදු ජනතාව උදෙසා දිවා රෑ නොසලකා රාජකාරි කරති. ශ්‍රී ලංකාවට පැමිණි ඉහත කී නිලධාරීන් දෙදෙනා මරුති වර්ගයේ කුඩා මෝටර් රථයක් තෝරාගත්තේ කරුණු දෙකක් නිසාය. පළමු කරුණ නම්: එය තමන්ගේ රටේ නිෂ්පාදනයක් වීමය. ඔවුහු හැමවිටම රට ගැන පළමුව කල්පනා කරති. දෙවන කරුණ නම්; මරුතියේ ගමන ලාභදායක වීමය. එය සෑහෙන මුදල් ඉතිරියකට හේතුවකි.

ඉහත සිද්ධිය නැවත ලියා තබන්න සිත් වූයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවැත්වූ දේශනයකට කන් දීමෙන් පසුවය. ලේකම්වරයා කියා සිටින්නේ සියලු රාජ්‍ය නිලධාරීන් මේ මොහොතේ ඉතා කැප වීමකින් යුතුව තම වගකීම් ඉටු කළ යුතු බවය. එසේ නොවුණ හොත් ජනතාවගේ ඊළඟ පියවර විය හැක්කේ නිලධාරීන් දෙසට හැරීම බව ද ඔහු පෙන්වා දෙයි. මැයි නව වැනිදා ජනතාව පෙළ ගැසී දේශපාලකයන්ගේ නිවාස ගිනි තැබූහ; ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථාන බිමට සමතලා කළහ. එය රටට බරපතළ අලාභයක් සේම නීති විරෝධී ක්‍රියාවලියක් ද වන්නේය. එහෙත් ජනතාවගේ පීඩනය හා අප්‍රසාදය පිට වී ඇත්තේ ප්‍රචණ්ඩත්වය ඔස්සේය. එය ප්‍රතික්ෂේප කළ යුතු වුව වැළැක්වීමේ හැකියාවක් කිසිවකුට නැත.

ලේකම්වරයාගේ කතාව අප කාගේත් අවධානයට ලක් විය යුතු කරුණුවලින් සමන්විතය. ඔහුගේ කතාව ඔස්සේ බොහෝ දෑ නිරීක්ෂණය කළ හැකිය. රටේ ආර්ථික බංකොලොත්භාවයට දේශපාලන නායකයන් පමණක් නොව, ඉහළ නිලධාරීන් ද වගකිව යුතු බව රටේ බහුතරය පිළිගනිති. හිටපු මහ බැංකු නිලධාරීන්ට, මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ට, ආර්ථික උපදේශකයන්ට හා තවත් අයට මේ වන විටත් චෝදනා එල්ල වෙමින් පවතී. ඒවායින් ගැලවීමේ හැකියාවක් ඔවුන්ට නැති බව අපගේ පිළිගැනීමය. රටක මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් සලකා බලන විට එහි ප්‍රධාන කාර්යභාරය ඉටු කළ යුත්තේ ඉහළ නිලධාරීන් බව පිළිගත යුතු කාරණයකි. දේශපාලකයන් බොහෝ විට ක්‍රියා කරනුයේ ඡන්ද පදනම හා තම පක්ෂය සලකාගෙනය. ඒ අනුව රටට අවාසි සහගත තීන්දු තීරණ ද දේශපාලකයන් විසින් ගනු ලැබේ. කොන්දක් ඇති නිලධාරීන් ඒවාට අවනත වන්නේ නැත. ‘යර්ස් සර්‘ කියමින් දේශපාලකයන් ළඟ දණින් වැටෙන නිලධාරීන් කිසිකලෙක රටට යහපතක් සිදු කරන්නේ නැත.

රටේ දැන් පවතින ආර්ථික බංකොලොත්භාවයට හා විදේශ සංචිත හිඟයට නිලධාරීන් කිහිප දෙනකු වග කිව යුතු බවට චෝදනා නැඟී ඇත. මේ පිළිබඳ නිරීක්ෂණ හා පරීක්ෂණ කරන කෙනකුට මූල්‍ය කළමනාකරණයට අදාළ ඉහළ නිලධාරීන් ක්‍රියා කර ඇති අන්දම විමසුමට ලක් කළ හැකිය. එක්තරා කාලයක රටේ උද්ධමනය වාර්ෂික ආර්ථික වෘද්ධිය හා තවත් සුවිශේෂ ආර්ථික සංඛ්‍යාලේඛන මහබැංකුවේ ඉහළ නිලධාරීන් හා මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් එකතුව වෙනස් කර ඇතැ‘යි චෝදනාවක් කලකට ඉහත ඉදිරිපත් විය. එහි ඇත්ත නැත්ත සොයා බැලීමට විධිමත් පරීක්ෂණයක් කළ යුතුය. ඒ අතර එදා පැවැති ආර්ථික යථාර්ථය හා සසඳන කල නිලධාරීන්ගේ සංඛ්‍යා දත්ත අතර ගැටීමක් ඇති බව අපට ද වැටහී තිබිණි. නිලධාරීන්ගේ ස්වභාවය වටහා ගැනීමට එය ද හොඳ සාක්ෂියකි.

තවත් කරුණු කිහිපයක් සඳහන් කළ යුතුය. ලිට්රෝ ගෑස් සමාගමේ වෘත්තීය සමිති කිහිපයක් කියා සිටින්නේ ගෑස් අර්බුදයට හේතුව ඩොලර් හිඟය නොව, ඉහළ කළමනාකාරීත්වයේ වැරැදි තීන්දු බවය. පුදුමයකට මෙන් ‘ලිට්රෝ‘ සමාගමේ නව සභාපතිවරයාද එය පිළිගෙන තිබේ. ඔහු පෙන්වා දෙන්නේ සමාගමේ හිටපු සභාපතිවරුන් ගෑස් සපයා ගැනීම සම්බන්ධයෙන් විධිමත් සැලැසුමක් අනුව කටයුතු කර නැති බවයි. විදුලිබල මණ්ඩලය ඇතුළු තවත් රාජ්‍ය - ආයතන ගණනාවකට මේ චෝදනාව තිබේ. එයින් පැහැදිලි වන්නේ ජනතාවගේ බදු මුදලින් පඩි කමින් සැපවත් ජීවිත ගත කරන ඇතැම් නිලධාරීන් තමන්ගේ වගකීම හා යුතුකම ඉටු කර නැති බවය.

රටේ සියලු නිලධාරීන් ඉහත තත්ත්වය නිරීක්ෂණය කොට ස්වාධීන තීන්දුවක් ගත යුතුව තිබේ. අපගේ පිළිගැනීමට අනුව දේශපාලකයාට වඩා රාජ්‍ය නිලධාරියා පොදු ජනතාව ගැන සානුකම්පිතව සලකා බැලිය යුතුය. ඉංග්‍රීසි පාලන සමයේ රාජ්‍ය නිලධාරියකු ලෙස කටයුතු කළ ලෙනාඩ් වුල්ෆ්ගෙන් මීට අදාළ ආදර්ශ ගත හැකිය.

නව අදහස දක්වන්න