IMF අවසන් තුරුම්පුව | දිනමිණ

IMF අවසන් තුරුම්පුව

අයි.එම්.එෆ්.ණය ව්‍යාපෘතිය අපට ඇති අවසන් උපායමාර්ගය වෙයි. එය අන්තිම තුරුම්පුව ලෙස සැලකීම වඩා නිවැරැදිය. සාකච්ඡා සාර්ථක වී කඩිනමින් ණය ලැබුණ හොත් බොහෝ ගැටලු විසඳා ගත හැකිය. ණය නොලැබුණ හොත් ආර්ථිකය ඉතා අසීරු තත්ත්වයකට ඇද වැටෙනු ඇත. එම ආයතනයේ නිලධාරීහු පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ දින දහයක නිරීක්ෂණ චාරිකාවක යෙදී සිටිති; ඒ අතර මෙරට බලධාරීහු කැටුව සාකච්ඡා වට කිහිපයක් පවත්වති. මෙරට ආර්ථිකයේ සැබෑ තත්ත්වය සොයා බැලීම හා අවශ්‍ය ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම අයි.එම්.එෆ්. නිලධාරීන්ගේ වගකීම බව සඳහන්ය.

අගමැතිවරයා අයි.එම්.එෆ්. ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂවරිය සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇත. ඒ සෑම සාකච්ඡාවක්ම නිමාවට පත් වී ඇත්තේ සුබවාදී ලෙසය. අන්තර්ජාතික මූල්‍යායතනය නිල නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවට ආර්ථික සහයෝගය ලබා දෙන බවට සහතික වී ඇත. එම ආයතනයේ නිලධාරීන්ගේ නිරීක්ෂණ චාරිකාව සිදු වන්නේ ද ඉහත සාකච්ඡාවල ප්‍රතිඵලයක් හැටියටය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ සාකච්ඡා සඳහා සුදුසුම පුද්ගලයා වන අතර ඔහුට අන්තර්ජාතික පිළිගැනීමක් ද තිබේ. අගමැතිවරයා සිය උපරිම පරිශ්‍රමය දරමින් ණය ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට දායක වන බව පෙනෙයි.

ලෝකයේ කිසිදු මූල්‍යායතනයක් අසාර්ථක රාජ්‍යවලට ණය දෙන්නේ නැත. එම ආයතන එකිනෙක රාජ්‍යයන් පිළිබඳ තොරතුරු රැස් කරන අතර ඒවායෙහි ස්වභාවයට අනුව තීන්දු තීරණ ගනු ලැබේ. රටක ආර්ථික ක්‍රියාවලිය, ණය ගෙවීමේ හැකියාව, දේශපාලන ස්ථාවරත්වය, මානව හිමිකම් ආදී ක්ෂේත්‍ර ගණනාවක සැබෑ තත්ත්වය අයි.එම්.එෆ්. ආයතනය විසින් නිරීක්ෂණය කරනු ලැබේ. එහි අර්ථය වන්නේ විද්‍යාත්මක තොරතුරු මත පදනම් වෙමින් ණය ව්‍යාපෘති ක්‍රියාත්මක වන බවය. ණය ලබා ගැනීමෙන් පසු ඒවා වැඩදායී ආර්ථික ක්‍රියාවන් සඳහා යෙදවිය යුතුය. ඒ සඳහා නිසි සැලැසුමක් ද අපට තිබිය යුතුය. නිසි සැලැසුමක් නැතොත් ණය ලැබෙන්නේ නැත.

ශ්‍රී ලංකාව 1960 ගණන්වල සිට විදේශ ආධාර හා ණය ගෙන ඇත. මෙයින් සමහර ව්‍යාපෘති සාර්ථක වී ඇත. සමහර ව්‍යාපෘති අසාර්ථක වී ඇත. සමස්තය දෙස බලන විට පෙනී යන්නේ විදේශ ණය හා ආධාර විධිමත් සැලසුමකට අනුව භාවිත කර නැති බවය. ඇතැම් ව්‍යාපෘති සඳහා වෙන් කළ මුළු මුදල පවා ශ්‍රී ලංකාව ගෙන නැත. එම මුදල් අදාළ ආයතන විසින් ආපසු ගෙන තිබේ. ඇතැම් විදේශීය ව්‍යාපෘති අතර මඟ නැවතී ඇත. මෙවර අයි.එම්.එෆ්. ආයතනය සමඟ සාකච්ඡා ආරම්භ වන්නේ ද සැලකිය යුතු ප්‍රමාදයකට පසුවය. ශ්‍රී ලංකාවට පෙර සූදානමක් නැති බව ඉන් කියවෙයි. ආර්ථිකය යනු ප්‍රමාද කළ හැකි දෙයක් නොවේ. අපේ බලධාරීන් එය වටහා ගත යුතුය.

ණය ව්‍යාපෘතියත් සමඟ අගමැතිවරයාගේ අවධානයට ලක් වී ඇති විෂය ක්ෂේත්‍ර කිහිපයක් ඇත. පළමුවැන්න ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රතිපාදන යෙදවීමය. මූලික අවශ්‍යතා යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්ධන, ගෑස්, ඖෂධ යනාදියයි. දෙවැන්න විදේශ විනිමය උපයන නිෂ්පාදන ක්ෂේත්‍ර වැඩි දියුණු කිරීමය. එම ක්ෂේත්‍ර ලෙස අපනයන වෙළෙඳාම, සංචාරක කර්මාන්තය හා තවත් අ‍ායෝජන සැලකිය හැකිය. තෙවැන්න රටේ දුප්පත්ම කණ්ඩායම් සඳහා ආර්ථික සහන සැලැසීමය. මේ කරුණු තුන සම්පූර්ණ වුව හොත් රට යථා තත්ත්වයට පත්වනු ඇතැ’යි විශ්වාස කළ හැකිය. දැනට බරපතළ ප්‍රශ්න දෙකක් හැටියට පවතින්නේ ඉන්ධන හිඟය හා ගෑස් හිඟයයි. ඒවාට අදාළ පෝලිම් දිනපතාම දිගුවන අතර ඒවා නොසන්සුන්ය.

ආර්ථික අර්බුදයට විසඳුම් වශයෙන් ආණ්ඩුව ගත් පියවර අසාර්ථක යැයි කිව නොහැකිය. ඒවායෙහි ප්‍රතිඵල එකිනෙක නිකුත් වන්නට පටන් ගෙන තිබේ. බැංකු වෙත ලැබෙන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය මිලියන පනස් හතරකින් ඉහළ ගොස් ඇත. විදේශ රැකියා සඳහා පිටත්වන වෘත්තිකයන්ගේ හා ශ්‍රමිකයන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් ඇත. ඔවුන්ගේ ගනුදෙනු බැංකු ඔස්සේ සිදු කරන්නැයි රජය දී ඇති උපදේශනය වැඩි දෙනකු පිළිගෙන තිබේ. මේ අනුව විදේශ ප්‍රේෂණ ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකිය. ආයෝජන මණ්ඩලයේ නව තීන්දු තීරණ නිසා විදේශීය ආයෝජකයන්ගේ පැමිණීම ද ඉහළ යන්නට පුළුවන. අයි.එම්.එෆ්. මූලික සාකච්ඡා සාර්ථක බවද අගමැති කාර්යාලය දන්වා තිබේ.

අයි.එම්.එෆ්. ව්‍යාපෘතියෙන් පසුව විදේශ ආධාර සමුළුවක් පවත්වන බව අගමැතිවරයා කියා ඇත. පියවරෙන් පියවර ඉදිරියට යන බවක් දැක ගත හැකිය. අපේ ආර්ථික අර්බුදය දිගුකාලීන එකක් නොවන බව අගමැතිවරයා නිතර කියයි. එම විශ්වාසය පවා වැදගත්ය. අපට මේ අර්බුදය ජය ගත හැකි යැයි විශ්වාසයක් හැම දෙනා තුළ ම ඇති වන්නේ නම්, එය බෙහෙවින් වටී.

නව අදහස දක්වන්න