තුන් තුඹ මල් තුඹ මල්... | දිනමිණ

තුන් තුඹ මල් තුඹ මල්...

කහ පාටට පිපුණු මල් සිනාසෙන්නේ නැඟෙන හිරුට ආයුබෝවන් කියන්නාක් මෙනි. එහෙත් අද අප මේ කියන්න යන්නේ මල් යායක් ගැන නම් නොවේ. මේ තුඹ කරවිල යායකි. මහවැලි ඩී කලාපයේ මීගස්වැව බේබියාගම ප්‍රදේශයේ අක්කර දෙකක පමණ වපසරියක වගා කර ඇති ආකර්ෂණීය තුඹ කරවිල වගාවකට අප ගියේ පසුගිය දිනකය.

මහවැලි ඩී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර ගාමිණී ගුණවර්ධන මහතාගෙන් ලද තොරතුරක් මත පාන්දර හයට පමණ එම ස්ථානයට ගිය අපට දැක ගත හැකි වූයේ ඉතාම සුන්දර දසුනකි. එනම්, එක යායට පීදුණු කහ පාට තුඹ කරවිල මල් යායකි. ඒ අතර තුඹ කරවිල වීදි අතරේ මල් පරාගණය කරන කාන්තාවෝ ද කීපදෙනෙකි.

ඔවුන් පළමුවෙන්ම කරන්නේ තුඹ කරවිල වගාවේ පිපී තිබෙන පිරිමි මල් බකට් එකට කඩා ගැනීමයි. ඉන්පසු කඩා ගත් පිරිමි මලේ රේණු ගැහැනු මලේ අතුල්ලා කෘත්‍රිමව පරාගණය කරයි. එක් පිරිමි මලකින් ගැහැනු මල් කීපයක් පරාගනය කළ හැකි බවයි ඔවුන් පැවසුවේ.

ඔවුන් මේ කටයුත්ත කළේ ඉතාමත් කාර්යශූරවය.

මේ වගාවේ හිමිකරු නලීන් සම්පත් මහතා තුඹ කරවිල වගාවට සම්බන්ධ වූ ආකාරයත් ඔහුගේ අනාගත බලාපොරොත්තු ආදියත් අපට පැවසූවේ මේ අයුරින්.

"මම මේ ප්‍ර⁣⁣දේශයට අලුත්. මගේ බිරියගේ ගම තමයි මීගස්වැව.මම විදේශගතව සිටයි මෙහි ආවේ. මේ ප්‍රදේශයේ තුඹ කරවිල වගා කොට තිබුණේ නැහැ. මට ඕනෑ වුණා තුඹ කරවිල වවන්න. කලාපයේ ලලිත් සහ රංජිත් කියන ඒ.අයි. මහත්වරුන් දෙදෙනා වගාවට අවශ්‍ය තාක්ෂණයත්, සෝලා පද්ධතියත්, ජල සැපයුම් පද්ධතියත් 50%ක මූල්‍ය දායකත්වයක් යටතේ මට සපයා දුන්නේ මහවැලියෙන්. මේ ප්‍රදේශයේ ගොවීන් නව තාක්ෂණය භාවිතා කරලා ගොවිතැන් කරණ්න බයයි. මට ඕනෑ ඔවුන්ව මේ සඳහා යොමුකරවන්න. මම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මගේ නිශ්පාදන සියල්ල දෙනවා. සුපිරි වෙළෙඳසල් සඳහා ත් කටයුතු කරමින් ඉන්නවා. ඒවගේම මම වැටකොලු වගාවක් ආරම්භ කළා. ඉදිරියේදී.කිරි ගවයන් හා කුකුළු ගොවිපොළක් පටන් ගන්නත් බලාපොරොත්තු වෙනවා.

මගේ ලොකුම බලාපොරොත්තුව නම් තුඹ කරවිල විදේශ වෙළෙඳපොළට යැවීම. මම ඒ සඳහා සැලසුම් හදලා තියෙන්නේ. මේ ප්‍රදේශයේ ගොවීන් දැන් මගේ වගාව දැකලා පැහැදීමකින් ඉන්නේ. විදේශ වෙළෙඳපොළට විශාල තොග වශයෙන් දෙන්න ඕනෑ. මම ගොවීන්ට පැළ දෙනවා. මහවැලියෙන් අවශ්‍ය තාක්ෂණය හා මූල්‍යා පහසුකම් සපයා දේවි. ගව හා කුකුළු ගොවිපොළවලින් අවශ්‍ය පොහොර ටික ගන්න පුළුවන්. මේ වගාවන් පොලි ටනල් තුළ කරන්නත් අදහසක් තිබෙනවා.

කෘමි හානි හා රිළවුන් වැනි සතුන්ගෙන් හානි සිදු වෙනවා. ඒවා අවම කර ගෙන වගාව සාර්ථකව කර ගෙන යන්න පුළුවන්. දැනට ස්ථිර සේවකයන් හත් දෙනෙක් ඇතුළුව දොළොස් දෙනෙක් සේවය කරනවා. ඉදිරියේදී විශාල සේවක පිරිසකට රැකියා අවස්ථා දෙන්න මට පුළුවන් වේවි.

අපේ රටට දැන් තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි විදේශ විනිමය ලැබීමේ අඩුව. අපට ලේසියෙන්ම කෘෂි නිෂ්පාදන විදේශ වෙළෙඳපොළට යවා ඩොලර් ඉපයිය හැකියි. අපට හොඳ පසක් හා ජලය අවශ්‍ය තරම් මෙහි තිබෙනවා. රජය ගොවි ජනතාවට පහසුකම් හා අවශ්‍ය තාක්ෂණ දැනුම දීලා ගොවීන් උනන්දු කළොත් අපටත් රටටත් යහපත් කාලයක් උදා වේවි.”

 සටහන සහ ඡායාරූප

සමන්ත වීරසිරි

නව අදහස දක්වන්න