ක්‍රීඩක විවේකාගාරයේ සිට පිටියට පණිවිඩ එවූ අංක ගණිත සංඥා පුවරුව රහසක්ද? දසුන්ගේ දැවී ගියේ මගේ වරදින් | දිනමිණ

ක්‍රීඩක විවේකාගාරයේ සිට පිටියට පණිවිඩ එවූ අංක ගණිත සංඥා පුවරුව රහසක්ද? දසුන්ගේ දැවී ගියේ මගේ වරදින්

ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු  ක්‍රිස් සිල්වර්වුඩ් එක් අවස්ථාවක ක්‍රීඩාගාරයේ සිට ක්‍රීඩා පිටියට පෙන්වූ අංක ගණිත සංඥාව. කවුද? මේ 5D ඊළඟට සූදානම්.

 

ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව පන්දු රකිමින් සිටියදී ක්‍රීඩක විවේකාගාරය තුළින් දැල්වූ සංඥා පුවරු පිළිබඳ තමන්ට අවබෝධයක් නොමැති බවත්, එම පුවරු පිළිබඳ අවබෝධයක් ඇත්තේ කණ්ඩායමේ නායකයාට, පුහුණුකරුට හා දත්ත විශ්ලේෂකවරයාට බවත් චරිත් අසලංක පෙන්වා දෙයි.

ප්‍රේමදාස පිටියේ ක්‍රීඩක විවේකාගාරයේ අංක ගණිතමය සංඥා පුවරුවක් වරින් වර සංඥා නිකුත්කළ අතර, එය පිටියේ පන්දු රකිමින් සිටි ක්‍රීඩකයන්ට පණිවිඩ යොමු කිරීම සඳහා යෙදූ නව ක්‍රමවේදයක් බව දක්නට ලැබිණි. එම සංඥා නිකුත් කිරීම කණ්ඩායමේ කළමනාකාරීත්වය විසින් පිටියේ සිටින නායකයාට යොමු කරන බවත්, ඔහු විසින් එම සංඥා පිළිබඳ අවධානය යොමු කොට අවශ්‍ය තීරණ ගන්නා බව දැනුම්වත්ව සිටියාද යන්න මාධ්‍යවේදියකු තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී චරිත් අසලංකගෙන් විමසා සිටි අතර, එයට පිළිතුරු ලබා දෙමින් අසලංක සඳහන් කළේ එම පුවරු සම්බන්ධයෙන් තමා දැනුවත් වී නොමැති බවයි.

“ ඒ ගැන දන්නේ නායකයා, පුහුණුකරු හා දත්ත විශ්ලේෂකවරයායි. මා දැක්කේ නෑ. දැනුයි මමත් දන්නේ“ අසලංක පැවැසීය. කෙසේ වුවද මෙවැනි නවීන සංකල්ප නව ලෝකයේ දියුණු ක්‍රිකට් ක්‍රමවේදයන් බවට පත්ව ඇත. පන්දු යවන්නන්ට අංක ලබාදී ඇති අතර, ඊළග පන්දු ඕවරය යැවීමට වඩාත් සුදුසු ක්‍රීඩකයා කව්ද යන්න නායකයාගේ අවධානයට ලක් කිරීම මේ සංඥා පුවරුව මගින් සිදු කෙරේ. යම් තීරණාත්මක අවස්ථාවක නායකයාට පණිවිඩ එවීමට ඇති අපහසුතාව මෙමගින් වළක්වා ගැනීම ප්‍රධාන අරමුණවී ඇත.

"ඔස්ට්‍රේලියාව වැනි කණ්ඩායමකට එරෙහිව ශතකයක් ලැබීමත් තරගාවලිය ජයග්‍රහණය කිරීමත් යන කරුණු දෙක නිසා විශාල සතුටක් කණ්ඩායම තුල තියෙනවා. ප්‍රබල ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව පිතිකරණයේ දී ප්‍රබල අභියෝගයක් වුණා. ඒ වගේම ධනංජය ද සිල්වාගේ ඉනිම ගැන මතක් කරන්න ඕන. ඒකෙන් මට ලොකු නිදහසක් ලැබුණා. ඔහුගේ ඉණිම නිසයි මම දිගු ඉනිමක් ක්‍රීඩා කළේ. අප දෙදෙනා කතා කළේ අවස්ථාව ලැබෙන පරිදි වේගයෙන් ලකුණු ලබා ටිකක් වේලා කඩුල්ල ආරක්ෂා කර ගන්නයි. ඒක සාර්ථක වුණා“

“දසුන් ශානකගේ දුවද්දී දැවී යාම මගේ අතින් වුණ ලොකු වරදක්. එහි වගකීම සම්පූර්ණයෙන්ම මා භාර ගන්නවා. ඒ දේ සිදු නොවුණේ නම් තවත් ලකුණු ප්‍රමාණයක් අපට ලබා ගැනීමේ අවස්ථාව තිබුණා. අවසන් ඕවරයේ අවසන් පන්දුවේදී අපේ සැලැස්ම වුණේ වේගය අඩුකොට පන්දුවක් යැවීමටයි. ඒ ගැනයි එකතුවෙලා කතා කළේ. මොකද අන්තිම පිතිකරුවන්ට ‘ස්ලෝ බෝල්‘ එකට ගහන්න අමාරුයි. අප ඒ බව දැනගෙන හිටියා“ අසලංක සදහන් කළේය.

ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායමට මෙරට ක්‍රීඩාංගණවල තණතීරු අධ්‍යයනයේදී සිදු වූ දුර්වලතා ශ්‍රී ලංකා කණ්ඩායමට එක්දින තරගාවලියේ දී වාසි සහගත වූ බව චරිත් අසලංකගේ අදහස විය. සිය මංගල ශතකය රැස් කරමින් සිවුවැනි එක්දින තරගයේ ශ්‍රී ලංකා ඉනිමේ නියමුවා බවට පත් වූ චරිත් අසලංක තරගයේ වීරයා බවට පත් විය.

ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති සිවුවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 4ක ඓතිහාසික ජයක් ලබා තරග 5කින් සමන්විත දිවා - රාත්‍රී එක්දින තරගමාලාවේ තවත් තරගයක් ඉතිරිව තිබියදී තරග 3-1කින් ජය තහවුරුකර ගත්තේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වසර 30කට පසු ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවේදී එක්දින තරගාවලි ජයක් වාර්තා කළ පළමු අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ රනින් ලියැවිණි. 1992දී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් සිංහයෝ ඇලන් බෝඩර්ගේ කැන්ගරු පිලට ආර්. ප්‍රේමදාස පිටියේදීම එලෙස බැටදී තරගාවලි ජයක් වාර්තාකර තිබිණි.

ශ්‍රී ලංකාව අවසන් වරට ඔස්ට්‍රේලියාවට එරෙහිව ද්විපාර්ශ්වික එක්දින තරගාවලියක් ජයග්‍රහණය කර ඇත්තේ 2010 වසරේදී වන අතර, එය ඔස්ට්‍රේලියාවේදී 2010 නොවැම්බරයේ තරග 3කින් සමන්විත තරගාවලියේදී වාර්තා විණි. මෙල්බර්න් හා සිඩ්නි ක්‍රීඩාංගණවල තරග දෙකේ ජය ලබා 2-1ක් ලෙස තරගාවලි ජය ශ්‍රී ලංකාව සතුකර ගත්තේය. ඉන් පසුව ඔස්ට්‍රේලියාවට එරෙහිව වසර 12කට පසු ශ්‍රී ලංකාව එක්දින තරගාවලියක් ජයග්‍රහණය කළේ ද ඊයේ වීම විශේෂත්වයකි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර, මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ඕවර් 49කදී සියලු දෙනා දැවී ලකුණු 258ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව ලකුණු 254කට දැවී ගියේය. අවසන් එක්දින තරගය හෙට (24) පස්වරු 2.30ට පැවැත්වේ.

ප්‍රින්ස් ගුණසේකර

නව අදහස දක්වන්න