යොවුන් ක්‍රීඩිකාවන්ගේ දස්කම් තරගාවලියට වැදගත් - ශ්‍රී ලංකා පිලේ නායිකා චමරි අතපත්තු | දිනමිණ

යොවුන් ක්‍රීඩිකාවන්ගේ දස්කම් තරගාවලියට වැදගත් - ශ්‍රී ලංකා පිලේ නායිකා චමරි අතපත්තු

ඉන්දීය පිලේ පිතිකාරිනියන් හා සංසන්දනය කිරීමේදි ශ්‍රී ලංකා පිලේ පිතිකාරිනියන්ගේ දස්කම් අඩු මට්ටමක පැවැතියද, අද දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන දෙපිල අතර පළමු විස්සයි20 තරගයේදී එම අඩුපාඩුව මග හරවා ගනිමින් ජයග්‍රහණය අත් කර ගැනීමට සියලුම ක්‍රීඩිකාවන් උපරිම දායකත්වය දෙනු ඇතැයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ප්‍රකාශ කළාය. සංචාරක ඉන්දීය කාන්තා පිලට එරෙහිව අද ඇරැඹෙන තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලියට යොවුන් ක්‍රීඩිකාවන් රැසක් කණ්ඩායමට ඇතුළත්ව සිටින බවත්, මේ තරගාවලිය ඔවුන්ට කදිම අවස්ථාවක් බවත් ඇය කියා සිටියාය. අද පැවැත්වෙන විස්සයි20 තරගය පිළිබඳ ඊයේ මාධ්‍ය හමුවකට එක් වූ ශ්‍රී ලංකා පිලේ නායිකා චමරි කියා සිටියේ ඉන්දීය පිල සමග වැඩිපුර ක්‍රීඩා කර ඇති බැවින් ඔවුන්ගේ දස්කම් පිළිබඳ පූර්ණ අවබෝධයකින් යුතුව සිටින බවය.

“කණ්ඩායම් දෙකම හොඳ තත්ත්වයේ තිබෙනවා. නමුත් ඉන්දීය පිලේ වේගයෙන් ලකුණු රැස් කරන පිතිකාරිනියන් වගේම අත්දැකීම් බහුල පිතිකාරිනියන් වැඩිපුර ඉන්නවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ එවැනි පිතිකාරිනියන් අඩුයි. ඒක තමයි අඩුපාඩුවකට තියෙන්නේ. කොහොම වුණත් වේගයෙන් ලකුණු රැස් කරන යොවුන් පිතිකාරිනිය විශ්මි ගුණරත්න වගේම හර්සිතා මාධවී හා කවීෂා දිල්හාරි වගේ යොවුන් පිතිකාරිනියන් උපරිම දස්කම් දක්වාවි කියලා මම විශ්වාස කරනවා. අපි හොඳ සැලසුමක් ඇතිවයි මේ තරගාවලියට එක් වන්නේ.” ඇය කීවාය.

මෙවර කණ්ඩායමට එක්වී සිටින නවක ක්‍රීඩිකාවන් වන කඩුලු රකින ක්‍රීඩිකා කෞෂිනී නෘත්‍යාංගා සහ පාදඟ පන්දු යවන ක්‍රීඩිකා රශ්මි ද සිල්වා කණ්ඩායමට ශක්තියක් වනු ඇතැයි ද ඇය විශ්වාසය පළ කළාය.

“ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන්ගේ සමු ගැනීමත් එක්ක අපිට අභියෝග රැසකට මුහුණ දෙන්න වුණා. විශේෂයෙන් අපිට ශෂිකලා සිරිවර්ධනගේ සමුගැනීමෙන් පසු පිටදඟ පන්දු යවන්නියකගේ අඩුවක් තිබුණා. දැන් රශ්මි කණ්ඩායමට එක්වී සිටිනවා. ඇය දේශීය කාන්තා ක්‍රිකට් පිටියේ දස්කම් පෑ ක්‍රීඩිකාවක්. මුල්පෙළ පිතිකාරිනියක්. ඒ වගේම විශ්මි කියන්නේ අනාගත තරුවක්. ඇයට වේගයෙන් ලකුණු රැස් කිරීමේ හැකියාව තිබෙනවා. ආරම්භක පිතිකාරිනියක් විදිහට විශ්මි මා එක්ක ඉනිම ආරම්භ කළොත් හොඳින් ක්‍රීඩා කරාවි කියලා මම හිතනවා. තුන්ඉරියව් ක්‍රීඩිකා කවීෂා දිල්හාරි ගැනත් අන්තර්ජාතික කාන්තා ක්‍රිකට් පිටියේ පවා අවධානය යොමු වී තිබෙනවා.” චමරි කීවාය.

ෆවුස් මොහොමඩ්

නව අදහස දක්වන්න