පාපන්දු ලීග් 2ක් ගොනු කළ නඩුව නිෂ්ප්‍රභ කරයි-සම්මේලනයේ වැඩ ඉදිරියටම | දිනමිණ

පාපන්දු ලීග් 2ක් ගොනු කළ නඩුව නිෂ්ප්‍රභ කරයි-සම්මේලනයේ වැඩ ඉදිරියටම

 

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව ව්‍යවස්ථා කෙටුම්පත අනුමත කරගැනීමේ අපේක්ෂාවෙන් පැවැත්වීමට නියමිත වූ විශේෂ මහා සභා රැස්වීම පැවැත්වීම අවලංගු කරමින් කොළඹ දිසා අධිකරණය පැනවූ වාරණ නියෝගයට අදාළ නඩුව නිෂ්ප්‍රභ කරයි. රාජ්‍ය සේවා පාපන්දු සංගමය හා ගම්පොළ පාපන්දු ලීගය විසින් ගොනු කරන ලද පැමිණිල්ලක් සලකා බලා දිසා විනිසුරුවරයා මේ නියෝගය නිකුත් කර තිබූ අතර, එමගින් විශේෂ මහා සභා රැස්වීම පැවැත්වීම හා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව ව්‍යවස්ථා කෙටුම්පත අනුමත කරගැනීම සම්බන්ධ කිසිදු හෝ පියවරක් ගැනීම වළක්වා තිබිණි.

එහෙත් පෙරේදා දිනයේ කොළඹ දිසා අධිකරණය එම නඩුව ඉදිරියට පවත්වා ගැනීමට අවශ්‍ය නැතැයි පවසා ඉවතට දමා ඇති අතර, එබැවින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ කටයුතු බාධාවකින් තොරව ඉදිරියට ගෙන යෑමේ අවස්ථාව උදා වී ඇත.

දැනට ශ්‍රී ලංකා පාපන්දු ලෙස හඳුන්වන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට, එහි සභාපති යූ. එල්. ජස්වර් ලෙස හඳුන්වන ජස්වර් උමාර් මහතාට හා එම සම්මේලනයේ ලේකම් උපාලි හේවගේ මහතාට එරෙහිව මේ වාරණ නියෝගය නිකුත් කර තිබිණි. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පසුගිය කාලය පුරා තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී පැමිණිලිකරුවන් වන රාජ්‍ය සේවා පාපන්දු සංගමය හා ගම්පොළ පාපන්දු ලීගය කිසිදු නිල පරීක්ෂණයකින් තොරව අත්හිටුවා තිබූ බවත්, එමගින් එම සංගම් දෙකෙහි අයිතීන් උල්ලංඝනය වී ඇති බවත් අධිකරණයට කරුණු කියා තිබිණි.

රාජ්‍ය සේවා පාපන්දු සංගමයේ සභාපති එම්. එෆ්. එම්. අෆ්ලා මහතා හා ගම්පොළ පාපන්දු ලීගයේ ලේකම් සුනිල් සෙනවීර මහත්වරුන් මේ වාරණ නියෝගය ලබා ගැනීමට කටයුතු කර තිබූ අතර, පාපන්දු ලීග් 64ක නියෝජිතයන් සහභාගී වීමට සූදානමින් සිටි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව ව්‍යවස්ථා කෙටුම්පත අනුමත කරගැනීමේ විශේෂ මහා සභා රැස්වීම ද මේ හේතුවෙන් කල් දැමීමට සිදු විය.

ප්‍රින්ස් ගුණසේකර

නව අදහස දක්වන්න