අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය මිස වෙනත් ආරක්ෂිත ක්‍රියා මාර්ගයක් නෑ - අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදි කියයි | දිනමිණ

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය මිස වෙනත් ආරක්ෂිත ක්‍රියා මාර්ගයක් නෑ - අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදි කියයි

අයිඑම්එෆ් සම්බන්ධයෙන් සමඟි හා ජාතික ජන බලවේගවල ස්ථාවරය කුමක්ද?

විනාශ වූ ආර්ථිකය ගොඩ ගන්න වෙනත් විසඳුමක් ඇත් නම් ඉදිරිපත් කරන්න

සමඟි හා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු වර්ජනයෙන් 21 සංශෝධනය කල් යනවා

ප්‍රකෘති ආර්ථික පදනමක් ඇති කර ගැනීමෙන් පසු පැවැත්වෙන මැතිවරණයකදි මෙවැනි තත්ත්වයකට වගකිව යුත්තන් ප්‍රතික්ෂේප කිරීම ජනතාවගේ අයිතියක්

ඉන්දියාව, ජපානය සහ චීනය යන රටවල මූලිකත්වයෙන් ණය ආධාර සමුළුවක් සංවිධානය වෙනවා

2022 ඉතිරි කාලය සඳහා අගෝස්තු මාසයේ අයවැයක්

ඉන්ධන භාවිතය අරපරිස්සමින්: විදුලි කප්පාදුව අවම කළා: මීළඟ කන්නයට ඇති වෙන්න පොහොර

විනාශ වී තිබෙන ආර්ථිකය ගොඩ ගැනීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය ගැනීම ‍මිස වෙනත් විකල්පයක් නැති බවද කෙටි කලකට දුෂ්කරතා, අසීරුතා විඳ දරාගෙන, රට ගොඩ නැංවීමේ වෑයමට දායක වෙන්නැයි තමන් රටේ සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22)ප්‍රකාශ කර සිටියේය.

වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තුවේදි විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

රජය දැනට අනුගමනය කරන ක්‍රියා මාර්ග අනුව ක්‍රමයෙන් දුෂ්කරතා, අසීරුතා අඩුවෙමින් යන බව ජනතාවට දැනෙනු ඇති බවද පැවැසූ අගමැතිවරයා විදුලි කප්පාදුවද මේ වන විට අවම තත්ත්වයකට ගෙන ඒමට හැකි වී තිබෙන බව කියා සිටියේය.

වර්තමානයේ අපේ රට මුහුණ දෙන සැබෑ තත්ත්වය සහ ඊට පිළියම් වශයෙන් රජය ගන්නා ක්‍රියා මාර්ග පිළිබඳ සති දෙකකට පමණ වතාවක් රටට දැනුම් දීමට කටයුතු කරන බවත් සමහරු අර්බුදය විසඳිීමේ වෑයම උපහාසයෙන් බලන බවත් වික්‍රමසිංහ මහතා කීවේය.

අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය:

“ඔබ ඉන්නේ ඒ කණ්ඩායම් දෙකෙන් මොන පැත්තක වුණත්, රටක් විදිහට එකට එක්වෙලා, මේ අසීරු තත්ත්වයෙන් රට ගොඩ ගැනීමේ ක්‍රියාදාමයට එක්වෙන්න කියා මම ඉල්ලා සිටිනවා.

අපි මේ මුහුණ දෙන්නේ ඉන්ධන, ගෑස්, විදුලි බලය සහ ආහාර පිළිබඳ ප්‍රශ්නයකත් එහා ගිය පීඩාකාරි ආර්ථික අර්බුද තත්ත්වයකට. සියලු ප්‍රශ්න විසඳාගන්න පුළුවන් වෙන්නෙ ආර්ථිකය යළි ප්‍රකෘති තත්ත්වයකට පත් කර ගත්තොත් විතරයි. ආර්ථිකය ප්‍රකෘති තත්ත්වයට පත් කර ගැනීම සඳහා ඩොලර් අර්බුදය මුලින්ම විසඳා ගත යුතුයි.

කඩාවැටුණු ආර්ථිකයක් - ඩොලර් සංචිත බින්දුවටම වැටුණු ආර්ථිකයක් - යළි ගොඩනැංවීම ලේසි පහසු කාර්යයක් නෙවෙයි. කඩා වැටීම ආරම්භයේදී කෙසේ හෝ තිරංග දමා කඩා වැටෙන වේගය පාලනය කර ගත්තා නම් මේ තරම් අසීරු තත්ත්වයක් උදා වෙන්නේ නැහැ. නමුත් ඒ අවස්ථාව අපේ රට අහිමි කර ගත්තා. දැන් අපි පතුලටම වැටෙන ලකුණු පේනවා. ඒත් අපි කෙසේ හෝ මෙතැනින් ගොඩ විය යුතුයි. මෙතැනින් ගොඩ එන්නේ නැතිව, රටේ වෙනත් කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු සොයන්න අපට පුළුවන් වෙන්නේ නෑ.

කංචන විජේසේකර ඇමැතිවරයා ඉන්ධන තත්ත්වය පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු කිව්වා.තෙල් සංස්ථාව මේ වෙද්දී ඩොලර් මිලියන 700 ක් ණයයි. මේ ණය බර නිසා ලෝකයේ කිසිදු ආයතනයක් අපේ තෙල් සංස්ථාවට තෙල් දෙන්න කැමති නෑ. අත්පිට මුදලටවත් තෙල් දෙන්න ඒ අය පස්ස ගහනවා.

ඉන්දීය ණය ආධාර යටතේ අපි දැනට .ඩොලර් මිලියන හතරක පමණ මුදලක් ණයට අරන් තියෙනවා. අපි ඉන්දියාවෙන් තවත් ණය ආධාර ඉල්ලුම් කර තියෙනවා. හැබැයි, ඉන්දියාවටත් මේ ආකාරයට දිගින් දිගටම අපට ණය දෙන්න බෑ. සීමාවක් තියෙනවා. අනික් අතට, අප ලබා ගන්නා ණය ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් අපට තිබිය යුතුයි. නැතිනම් කවුරුවත් අපිට පිනට සල්ලි දෙන්නේ නෑ.

දැන් අප ඉදිරියේ ඇති එකම ආරක්ෂිත මාර්ගය අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමයි. වෙනත් කිසිම මාර්ගයක් අප ඉදිරියේ නෑ. අපට යන්න තියෙන්නේ ඒ මාර්ගයේ. ඒ මාර්ගයේ ගොස් අතිරේක ණය පහසුකමක් සඳහා ඔවුන් සමඟ ගිවිසුමකට එළැඹිම අපේ අරමුණයි. ඉන් පසු ආර්ථිකය ස්ථාවර භාවයට පත් කරලීමේ පදනම සකස් කොට, අපනයන ආදායම් වැඩි කර ගැනීමේ කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමයි. මහ බැංකුව, භාණ්ඩාගාරය සහ අදාළ රජයේ නිලධාරීන්, වෘත්තිකයන්, විශේෂඥයන් සමඟ සාකච්ඡා කොට අප මේ වැඩ පිළිවෙළ සැලසුම් කර තියෙනවා.මීට වඩා වෙනත් යහපත් ක්‍රියාමාර්ග තිබේ නම් අපට දන්වන්න. රටට හිතකර ප්‍රායෝගික වෙනත් විසඳුමක් ඔබ ළඟ ඇත්නම් කරුණා කර එය ඉදිරිපත් කරන්න.ඒ වගේම දේශපාලන පක්ෂවලට අවශ්‍ය නම්, ඔවුන්ගේ විසඳුම් පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාද කරන්නත් අපට පුළුවන්. අප ඒ සඳහා ඉඩකඩ ලබා දීමට සූදානම්.

හොඳයි. අප දැනට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ මම සවිස්තරාත්මකව ඔබට කියන්නම්.

මැයි 20 වැනිදා වන විට කැබිනට් මණ්ඩලයේ බහුතරය පත් කළා. එතැන් සිට අපි අපේ වැඩ පිළිවෙළ ආරම්භ කළා. මුලින්ම අප 2019 පැවැති බදු ක්‍රමයට ආපසු යෑමට තීරණය කළා. 2025 වන විට ජාතික අයවැයේ ප්‍රාථමික අතිරික්තයක් ඇති කිරීමට එකඟ වුණා. ආදායම් සහ බදු පිළිබඳ සාකච්ඡා කරන අයිඑම්එෆ් නියෝජිත පිරිස ලංකාවට ආවා. ඔවුන් අදාළ වාර්තාව ලබා දුන්නා. පසුගිය සඳුදා අයිඑම්එෆ් ප්‍රධාන නියෝජිත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණියා. ඉදිරි දින කීපය පුරාම ඔවුන් සමග සාකච්ඡා පැවැත්වෙනවා.

මේ වන විට ආරම්භක සාකච්ඡා පවත්වා අවසන්. රාජ්‍ය මූල්‍ය අංශය, මූල්‍ය අංශය, ණය තිරසරභාවය, බැංකු අංශයේ ස්ථාවරභාවය, සමාජ ආරක්ෂණ ජාලය ආදී අංශ රැසක් පිළිබඳව අදහස් හුවමාරු කරගත්තා.ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳ විශේෂඥ උපදෙස් දෙන ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් සමාගම් නියෝජිතයන් දැන් ලංකාවට පැමිණ ඒ කටයුතුවල නිරත වෙනවා. ණය ආපසු ගෙවීම් ප්‍රතිව්‍යූහගත කරලීමේ සැලැසුම් රාමුව සකසමින් සිටිනවා.

අමෙරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ නියෝජිත කණ්ඩායම ලබන සඳුදා ලංකාවට එනවා.

මේ කණ්ඩායම් තුනම කඩිනමින් ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පසුබිම අප සකස් කළා. ඔවුන් සමග අප දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වනවා. ඒ වගේම දැන් මේ කණ්ඩායම් තුනටම එකට එක්ව ශ්‍රී ලංකාවේදී සාකච්ඡා පැවැත්වීමේ අවකාශ උදාවෙනවා. අපේ වැඩ පිළිවෙළ වේගවත් කරලීමට ඒ අවකාශය රුකුලක්. ජූනි මාසය අවසන් වෙද්දී අපි අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග, නිලධාරී මට්ටමේ එකඟත්වයකට එළැඹිමට බලාපොරොත්තු වෙනවා.

මෙතනදී වඩාත් වැදගත් වෙන්නේ ණය ගෙවීම් ප්‍රතිව්‍යූහගත කරලීමේ සැලැස්මයි. ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් සමාගම් සමග එක්ව ජූලි මාසය අවසන් වීමට පෙරාතුව මේ සැලැස්මේ රාමුව සකස් කිරීමට අප උත්සාහ කරනවා.ඉන් පසු මේ සැලැසුම් රාමුවත්, නිලධාරී මට්ටමේ එකඟතාවත් සලකා බලා අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය අවසාන තීරණයට එළැඹීමට නියමිතයි.

මේ වැඩ කටයුතුවලට සමාන්තරව අපි ඉන්දියාව, ජපානය සහ චීනය යන රටවල මූලිකත්වයෙන් ණය ආධාර සමුළුවක් සංවිධානය කරන්නට සැලසුම් සකස් කරනවා. මේ රටවල් තමයි අපට ණය දෙන ප්‍රධාන රටවල්. ඔවුන් සමග යම් යම් නොහොඳ නෝක්කාඩු ඇති වී තිබුණා. අප ඒවා සමනය කරමින් නැවතත් හොඳ හිත තහවුරු කරලීමට වෙහෙසෙනවා. මේ රටවල් ණය ආධාර ප්‍රදානය කරන ක්‍රමවේදයන්හි වෙනස්කම් තියෙනවා. ආධාර සමුළුව මගින් අප උත්සාහ කරන්නේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් මේ රටවල් තුන සමග පොදු එකඟතාවකට පැමිණීමටයි.

අයිඑම්එෆ් සහතිකය අපට ලැබුණොත් අප ගැන ලෝකයට විශ්වාසයක් ඇති වෙනවා. ලෝකයේ අනික් රටවලින් ආධාර සහ අඩු පොලී ණය ලබා ගැනීමේ අවස්ථාවත් අපට ලැබෙනවා.

ඒ සමගම අයිඑම්එෆ් මුදල් ලැබෙන තුරු අතරමැදි කෙටි කාලීන ණය ආධාර ලබා ගැනීම සඳහා අප ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සමගත්, අමෙරිකාව ඇතුළු අපට හිතවත් වෙනත් රටවල් හා රාජ්‍ය නායකයන් සමගත් සාකච්ඡා පවත්වමින් යනවා.

මේ කටයුතු සාර්ථක ලෙස නිම කර ගැනීමෙන් පසු ආර්ථික ස්ථාවරභාවයට පදනම දමා ගන්න අපට පුළුවන්. එතැනින් මේ ගමන අවසන් වුණා කියා සතුටු වෙන්න අපට බැහැ. එතැන තමයි, අපේ ඉදිරි ගමනේ ආරම්භය. ශක්තිමත් ආර්ථිකයක් කරා යන අලුත් ගමනක ආරම්භය.

එතැන් සිට අපි අපේ ආර්ථික ශක්තිමත් කරලීමේ, නව ශ්‍රී ලාංකේය ආර්ථිකයක් බිහි කරලීමේ ගමන ඉදිරියටම යා යුතුයි. අපනයන ආර්ථිකයක් වුණේ නැතිනම් මේ ණය ගෙවන්නට බැහැ.මේ ඉදිරි ගමනේ පදනම සැකසීම සඳහා අගෝස්තු මාසයේ 2022 ඉතිරි කාලය සඳහා අන්තර් කාලීන අයවැයක් අප ඉදිරිපත් කරනවා. 2023 වසර සඳහා අයවැය ලේඛනය නොවැම්බර් මාසයේ ඉදිරිපත් කරනවා. ඊට අමතරව ආර්ථිකය ශක්තිමත් කරලීම සඳහා අවශ්‍ය නව නීති රීති සහ අණ පණත් කීපයක් ද අප පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මේ පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සමඟඅප සාකච්ඡා ආරම්භ කර තියෙනවා. ඒ සාකච්ඡාවලට සහභාගී වී, රට ගොඩ නැංවීමේ කාරියට උර දෙන සියලු පක්ෂවලට සහ විද්වතුන්ට මගේ ස්තුතිය පුද කරනවා.

ඒ සමඟම ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමටත්, දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමටත් අපි ක්‍රියා කරනවා. ලබන කන්නයේදී හිඟයකින් තොරව ගොවීන්ට පොහොර ලබා දීමට සැලැසුම් සකස් කර තියෙනවා.සහල් මිල පාලනය කිරීම උදෙසා, ඉන්දීය ණය ආධාර යටතේ සහල් ගෙන්වා වෙළෙඳපොලට නිකුත් කිරීමට අප පියවර ගන්නවා. ඒ මගින් පාරිභෝගිකයන්ට සහනයක් ලබා දෙනවා.

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පිබිදීමක් ඇති කරලීම උදෙසා, වෙහෙසෙන, කැපවෙන පුද්ගලයන්ටත්, කණ්ඩායම්වලටත් ස්තුතිය පළ කරන්න මම මෙය අවස්ථාවක් කර ගන්නවා. ආහාර සුරක්ෂිතාව පිළිබඳ රජයේ සාකච්ඡාවන්ට පක්ෂ භේද පසෙක ලා බොහෝ අය සහභාගී වෙන බවත් මම මෙහිදී සිහිපත් කරනවා. විශේෂයෙන්ම, සමගි ජනබලවේගයත්, ජාතික ජනබලවේගයත් කෘෂි ගොවිපොළ පිහිටුවීමට මූලිකත්වය ගන්නා බව ප්‍රකාශයට පත් කර තියෙනවා. රජයෙන් කිසිදු සහායයක් නොඉල්ලා එවැනි ගොවිපොළ පිහිටුවීමට කටයුතු කිරීම පිළිබඳව මම ඔවුන්ට විශේෂ ස්තුතිය පුද කරනවා. අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පසුගියදා ප්‍රකාශ කළ පරිදි වගා කළ යුතු ස්ථාන පවා මේ වන විට ඔවුන් තෝරා ගෙන අවසන්. මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව සතු රක්ෂිත හිස් ඉඩම් ගණනාවක් කෘෂිකාර්මික කටයුතු සඳහා වෙන් කිරීමට බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා කටයුතු කරගෙන යනවා. සජිත් ප්‍රේමදාස මහතාටත්, අනුර දිසානායක මහතාටත් වගා කිරීම සඳහා ඉඩම් පිළිබඳ ගැටලු ඇත්නම් බන්දුල ගුණවර්ධන ඇමතිවරයත් සමග සාකච්ඡා කරන ලෙස මම ඉල්ලා සිටිනවා. ඒ වගේම ආහාර සුරක්ෂිතා කමිටුවේ ලේකම්වරයටත් මේ පක්ෂ දෙකේ නායකයන් සමග සාකච්ඡා කරන මෙන් මම දැනුම් දී තිබෙනවා.

පසුගිය සඳුදා කැබිනට් මණ්ඩලය 21 වැනි සංශෝධනයට එකඟත්වය පළ කළා. සමගි ජන බලවේගය ඉදිරිපත් කළ 21 වැනි සංශෝධන යෝජනා පිළිබඳ දැන් ශ්‍රේෂ්ඨාධිකරණය සිය මතය ප්‍රකාශ කර තියෙනවා. රජයේ යෝජනාවට කැබිනට් මණ්ඩලය එකඟ වී තියෙනවා. දැන් අප කඩිනමින් කළ යුත්තේ මේ යෝජනා පිළිබඳ එකඟත්වයකට පැමිණ පාර්ලිමේන්තුවට අවසන් කෙටුම්පත ඉදිරිපත් කිරීමයි. නමුත් සමගි සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු වර්ජනය නිසා 21 වැනි සංශෝධනයේ කාර්යයන් තව දුරටත් ප්‍රමාද වීම කණගාටුවට කරුණක්.

අප අලුතින් යේජනා කළ පාර්ලිමේන්තු කමිටු ක්‍රමය පිළිබඳව පූර්ණ සැලසුමක් හා වාර්තාවක් ලබා දෙන ලෙස මම හිටපු කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කළා. එතුමාගේ වාර්තාව පසුගිය සඳුදා අපට ලබා දුන්නා.සිංහල දෙමළ ශෝධන ලැබුණු පසු මා එය පාර්ලිමේන්තුවට ලබා දෙනවා.

ඒ නිසා මම මේ පක්ෂ දෙකෙන්ම ඉල්ලා සිටින්නේ, වහාම පාර්ලිමේන්තුවට පැමිණ, 21 වන සංශෝධනය සම්මත කරලීමේ පිළිවෙළට දායක වෙන ලෙසයි. පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ස්ථාපිත කිරීමට එක්වෙන ලෙසයි.

මම මීට කලින් අවස්ථා ගණනාවකදී සිහිපත් කළා වගේ අද අපි මේ මුහුණ දෙන්නේ සාමාන්‍ය තත්ත්වයකට නෙවෙයි. නූතන ඉතිහාසයේ කිසි අවස්ථාවක අපේ රට මේ වගේ අර්බුදකාරී තත්වයකට මුහුණ දී නැති බව මා වරින් වර සඳහන් කර තියෙනවා.

ශක්තිමත් ආර්ථික පදනමක් සකස් කර ගැනීමෙන් පසුව මැතිවරණයකදී ඔබ කැමති පක්ෂයට රට බාර දෙන්න. වඩාත් සුදුසු 225 දෙනෙකු පාර්ලිමේන්තුවට පත් කර යවන්න. ඒ වගකීම සහ බලය තියෙන්නේ පුරවැසියන්ට. එතැනදී, රට මෙවැනි තත්ත්වයකට ඇද වැටීමට මූලික වූවා යැයි සිතන අයව ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ජනතාවට හිමි වෙනවා. ඒත් ඒ සියල්ල ඉටු කර ගන්න පුළුවන් වෙන්නේ රට වැටී ඇති තත්වයෙන් යළි යථා තත්වයට පත් කර ගැනීමෙන් පසුවයි.

ඒ බවත් සිහි තබාගෙන, වර්තමානයේ රට වැටී ඇති තත්වයෙන් යළි ඔසවා තැබීමේ වෑයමට දායක වන ලෙස මම මේ රටේ හැම පුරවැසියෙකුගෙන්ම ඉල්ලා සිටිනවා.

ඒ නිසා අපි මුලින්ම මේ තත්වයෙන් ගොඩ එන්නට එක්සිත්ව එක්සත්ව වෙහෙසෙමු. අසීරුතා ඇතිවේවි. දුෂ්කරතා මතුවේවි. ඒ දුෂ්කරතා, අසීරුතා මැද්දේ අපිට රට ගොඩනැංවීම වෙනුවෙන් සුළුවෙන් හරි කරන්න පුළුවන් දේවල් තියෙනවා. මම හැම පුරවැසියෙකුගෙන්ම ඉල්ලා සිටින්නේ කෙටි කලෙකට මේ දුෂ්කරතා, අසීරුතා විඳ දරාගෙන, රට ගොඩ නැංවීමේ වෑයමට දායක වෙන ලෙසයි.

ලෝක බැංකුවෙන් ලබා ගන්නා ඩොලර් මිලියන 70 ක් සහ අපේ ඩොලර් මිලියන් 20 ක් යොදවා ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට දැනට පියවර ගෙත තිබෙනවා. මේ ගෑස් තොග ලැබුණු විට ගෑස් හිඟය සම්පූර්ණයෙන්ම තුරන් කරන්නට හැකි වෙනවා.

ඉන්ධන සඳහා මාසයකට ඩොලර් මිලියන 550 ක් පමණ අවශ්‍යයි. දැනට අප මුහුණ දෙන ආර්ථික ප්‍රශ්න මත මේ මුදල මාසිකව සපයා ගැනීම දුෂ්කර කාර්යයක්. ඒ නිසා අපට ලැබෙන ඩොලර් අදායම අනුව හැකි උපරිම ඉන්ධන ප්‍රමාණය ගෙන්වා ගැනීමට කටයුතු කරනවා. ඉන්ධන ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳීමට තව කාලයක් ගත වේවි. මේ නිසා ඉතාම අරපරිස්සමෙන් ඉන්ධන භාවිත කරන ලෙස මම ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

අප අද මුහුණ දෙන අර්බුද හමුවේ පාසල් අධ්‍යාපනය කඩාවැටී ඇති බව අප දන්නවා. දරුවන්ට මාස ගණනාවක් අධ්‍යාපනය අහිමි වුණා. මුලින්ම කොවිඩ් වසංගතය නිසා. ඊළඟට ආර්ථික කඩා වැටීම නිසා. සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිතුමා ඇතුළු අමාත්‍යංශ නිලධාරීන් මේ සම්බන්ධයෙන් පියවර ගනිමින් සිටිනවා. පාසැල් බස් රථ, පාසැල් වෑන් සඳහා ඉන්ධන ප්‍රමුඛත්වය ලබා දීමේ වැඩ පිළිවෙලක් ගැන අදාළ බලධාරීන් සැලසුම් සකස් කරමින් යනවා. පාසල් දරුවන්ට අඛණ්ඩව අධ්‍යාපනය ලබා දීමට හැකි පරිසරයක් ඉක්මනින්ම සකසා දෙනවා.

අපි පියවරෙන් පියවර, අඩියෙන් අඩිය මේ ගමන ඉදිරියට යමු.

ලෝකය අපට උදව් කරන්නේ මේ වැටුණු තැනින් නැගිටීමට අප තුළ ඕනෑකමක්, කැපවීමක් ඇති බව ඔවුන්ට දැනුනොත් විතරයි. ඉතින් මේ අවස්ථාවේ අපට එක්කෝ රට ගොඩ නැංවීමේ අභිලාශය අප තුළ ඇති බව පෙන්වන්න පුළුවන්. එහෙමත් නැත්නම්, එවැනි අවශ්‍යතාවක් අපට නැති බව පෙන්වීම සඳහා නොයෙකුත් කඩාකප්පල්කාරී ක්‍රියා කරන්න පුළුවන්. ඔබ මෙතනදී අරගල කළ යුත්තේ රට නැංවීම වෙනුවෙන්. එහෙම නැතුව රට විනාශ කිරීම වෙනුවෙන් නොවෙයි. ඒ නිසා හැම අවස්ථාවකදීම හොඳින් සිතා බලා, විමසිල්ලෙන් කටයුතු කරන ලෙස මම ඉල්ලා සිටිනවා.

සමගි ජනබලවේගයත්, ජාතික ජනබලවේගයත් දැන් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමේ පොදු ස්ථාවරයකට පැමිණ තිබෙනවා.

අයිඑම්එෆ් සමඟ එක්ව කටයුතු කළ යුතු බව සමගි ජනබලවේගය කලින් ප්‍රකාශ කර තිබුණා. දැන් ඔවුන්ගේ ස්ථාවරය වෙනස් වෙලාද? අයිඑම්එෆ් සාකච්ඡා ගැන ජාතික ජනබලවේගය එකඟද නැද්ද?පාර්ලිමේන්තුව වර්ජනය කරන්නේ ඒ නිසා ද?

සියලු දේශපාලන පක්‍ෂ සමග සාකච්ඡා කරන ලෙස මම අයිඑම්එෆ් නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියා. මේ සාකච්ඡා සඳහා සහභාගී වන ලෙසට මම මේ පක්‍ෂ දෙකෙන්ම ඉල්ලා සිටිනවා. විවේචනයට වඩා මේ අවස්ථාවේ රටට වැදගත් වෙන්නේ විසඳුම්. ඒ නිසා ඔබ සතුව වඩාත් හොඳ විසඳුම් ඇත්නම්, ඒවා ඉදිරිපත් කරන්න.ඒවා අරගෙන ක්‍රියා කරන්නම්.

21 වෙනි සංශෝධනය නොබෝ දිනෙකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. මේ පක්ෂ දෙකට 21 වන සංශෝධනය අවශ්‍යද නැද්ද? ස්වාධීන කොමිසන් සභා අවශ්‍යද නැද්ද? පාර්ලිමේන්තු කමිටු ක්‍රමය මගින්, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියළු මහජන මන්ත්‍රීවරුන් රාජ්‍ය පාලනයට හවුල්වීමට ඔවුන් එකඟද විරුද්ධද? ඒ පිළිබඳ ඔබේ මතය ඉදිරිපත් කිරීමේ අවස්ථාව දැන් සමගි සහ ජාතික ජනබලවේගයට හිමිවී තියෙනවා. මෙහිදී අප අමතක නොකළ යුතු වැදගත් කරුණක් තියෙනවා. සමස්ත පාර්ලිමේන්තුව පිළිබඳවම ජනතාවගේ පොදු විරෝධතාවක් එල්ල වෙමින් පවතින අවස්ථාවක් මේ. එවැනි අවස්ථාවක රටේ අනාගතයට බලපාන ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ ගණනාවක් පාර්ලිමේන්තුවට යෝජනා වී තියෙනවා. එවැනි මොහොතක රටට සැබෑ ආදරයක් ඇත්නම් කළ යුත්තේ ඒ ප්‍රතිසංස්කරණ සඳහා සහය වීමයි. ඒ ප්‍රතිසංස්කරණයන්හි අඩුපාඩු ඇත්නම් ඒවා පෙන්වා දී නිවැරදි කිරීමයි.

ඒ නිසා හුදු සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදී, රට වෙනුවෙන් අලුතෙන් සිතන්න කියා මම හැම දෙනෙකුගෙන්ම ඉල්ලා සිටිනවා. ඒ වගේම අපට අවශ්‍ය දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ කඩිනම් කර ගැනීම උදෙසා, පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී වන ලෙස ද ආරාධනා කරනවා.

ක්‍රමවේදය වෙනස් කරන්නැයි කියන්නේ පරණ දේශපාලනයට යෑම නොවෙි. පාර්ලිමේන්තුවේ විපක්ෂ යනු විකල්ප ආණ්ඩුවයි.ආණ්ඩුව බැරි නම් විකල්ප වැඩසටහනක් ප්‍රතිපත්ති තිබිය යුතුයි. බැසිල් රාජපක්ෂ මහතා මට වඩා හොඳ මුදල් ඇමතිවරයෙක් යැයි විමල් වීරවංශ මහතා පැවැසුවා. එහෙනම් මා එය පිළිගන්නම්.

මේ විකල්ප ඉදිරිපත් කිරීම සඳහා සිකුරාදා පාර්ලිමේන්තුව රැස් කරන ලෙස මා ඉල්ලා සිටිනවා. සිකුරාදා එන්න අප ලෑස්තියි. මේ ප්‍රශ්නවලින් පැනලා යන්නට බැහැ.මූල්‍ය අරමුදලට යන්න ඕනේ ද නැද්ද කියා කියන්න.තෙල් හොයා ලබා දෙන්නේ කෙසේද? ආහාර වගා කරන්නේ කෙසේද කියා කියන්න.අපට සැලැස්මක් නැති නම් මේ අයගේ සැලැස්ම හොඳ නම් මේ අයට ආණ්ඩුව භාර දෙන්නැයි ජනතාව කියාවි.

බලයට එනකොටත් දිව්වා.විපක්ෂයට එනකොටත් දුවනවා .ඉතින් මෙහෙම රටක් පාලනය කරන්නේ කොහොමද?

මම පුහුණු කරපු අය බලය ගන්නේ කොහොමද කියා දන්නේ නැහැ.ඒ ගැන මට කනගාටුයි. මේ ප්‍රතිසංස්කරණ කඩිනමින් ඉටු කිරීම ජනතා අපේක්ෂාව බවද මම මෙහිදී අවධාරණය කරන්නට කැමතියි.

රට ගැන සිතා, අන් සියලභේද කෙටි කාලයකට අමතක කර එකට එක්වී කටයුතු කළොත් අපට මේ ව්‍යසනයෙන් ලංකා මාතාව බේරා ගන්න පුළුවන්. වටු වැද්දාගේ දැලෙන් වටු කුරුල්ලන් ගැලවුණේ හැම දෙනාම එකට එක්වී දැල ඔසවාගෙන පියාඹපු නිසා. වැද්දාට බැන බැන හිටියා නම්, මුළු වටු රැලම දැලට හසුවෙනවා. ගොදුරු වෙනවා. ඒ නිසා අපි මේ ආර්ථික අර්බුද දැලෙන් මිදෙමු. අපි එක්වී ඒ අභියෝගය ජය ගනිමු.

මේ ආර්ථික අර්බුද දැලෙන් මිදීම සඳහා අප එක් වී කටයුතු කරමු.

ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර සහ සන්ධ්‍යා කරුණාරත්න

නව අදහස දක්වන්න