අගෝස්තු මාසයේ සිට මෙරටට ඖෂධ හිඟයක් ඇති වන්නේ නැහැ - සෞඛ්‍ය හා ජල සම්පාදන ඇමැති ආචාර්ය, කෙහෙලිය රඹුක්වැල්ල | දිනමිණ

අගෝස්තු මාසයේ සිට මෙරටට ඖෂධ හිඟයක් ඇති වන්නේ නැහැ - සෞඛ්‍ය හා ජල සම්පාදන ඇමැති ආචාර්ය, කෙහෙලිය රඹුක්වැල්ල

වසරකට උතුරේ 18000ක් සුනඛ සපා කෑම්වලට ලක් වෙනවා- මන්ත්‍රී සුරේන් රාඝවන්

ඉන්ධන අර්බුදය නිසා රෝහල් කාර්ය මණ්ඩලය අපහසුතාවන්ට ලක්ව සිටිනවා- මන්ත්‍රී ගාමිණී වලේබොඩ

කෝප් කමිටුව හරහා බෙහෙත් සම්බන්ධයෙන් අපි සොයා බැලුවා - මන්ත්‍රී චරිත හේරත්

ලෙඩක් හැදුණාම පිටරටින් බේත් ගෙන්වීමට කටයුතු කිරීම තමයි දැන් කරන්නේ- මන්ත්‍රී එම්. අතාවුල්ලා

ඖෂධ නිෂ්පාදනයට කටයුතු කිරීම නිසායහපත් තත්ත්වයක් රට තුළ උදා වුණා- මන්ත්‍රී චන්න ජයසුමන

 

එළැඹෙන අගෝස්තු මාසයේ සිට මෙරටට ඖෂධ හිඟයක් ඇති නොවන බව සෞඛ්‍ය හා ජල සම්පාදන ඇමැති, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) ප්‍රකාශ කළේය.

මෙරට පවතින වත්මන් සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පැවැති විවාදයට සහභාගී වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කෙළේය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (22) රැස් විය. නිවේදන, ලිපි ලේඛන, පෙත්සම් වාර්තා ඉදිරිපත් කිරීමෙන් පසුව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් ඇසූ ප්‍රශ්නවලට ඇමැතිවරු පිළිතුරු දුන්හ.

ඇමැති, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එහිදී මෙසේද පැවසීය.

වසර 2023 සහ 2024 කාලයන්ට අවශ්‍ය ඖෂධ පවා මේ වන විට ඇණවුම් කිරීමට හැකියාව ලැබී තිබෙනවා මාධ්‍ය මඟින් ප්‍රචාරය කරන තරමේ ඖෂධ හිඟයක් මෙරට මතු වී නැහැ. විදේශ විනිමය හිඟකම නිසා ඇති ව තිබෙන අර්බුදය දේශපාලන අර්බුදයක් දක්වා දිගු වුණා. සෞඛ්‍ය ක්ෂේත්‍රයට මුදල් දීමට පොරොන්දු වුවත් එය දීමට නොහැකි වුණා. සියලු කණ්ඩායම් එක් කර ගැනීමට අපට හැකිව තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඔවුන් සමඟ සාකච්ඡා කර ගත හැකි හොඳම විසඳුම් ගැනීමට පියවර ගෙන තිබෙනවා. ජීවිතාරක්ෂක අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග 14ක් තිබෙනවා. ඒ බෙහෙත් නැති වුව හොත් රෝගීන් මැරෙනවා. පසුගිය කාලය තුළ ඒ බෙහෙත්වලින් 2ක් අඩුව තිබුණා. නමුත් දැන් වන විට ඒවා සියල්ල තිබෙනවා. ඒ නිසා රෝගීන් මරණයට පත් වන්නේ නැහැ. ජලභීතිකා එන්නත් 25,000ක් අද අපට ලැබෙනවා. ලබන මාසයේ මුල වන විට තවත් එන්නත් 100,000ක් ලැබෙනවා. ඊට අමතරව තවත් එන්නත් ලක්ෂ 2ක් ලැබීමට නියමිතයි. අනුරාධපුරයේ දරුවකු මරණයට පත් වූ එක ගැන කතා කළා. ඇන්ටි‌ වෙනම් ඖෂධය දරුවාට රෝහලේදී දී තිබුණා. ඒ දරුවා මරණයට පත් වූයේ බෙහෙත් නොමැතිකම නිසා නොව වෙනත් කාරණා නිසායි. නමුත් සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය කළේ ඖෂධ නොමැතිකම නිසා මරණයට පත් වූ බවයි. එය සත්‍යයක් නොවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාඝවන් මහතා (ශ්‍රී. ලං.පො.පෙ.)-

වසරකට උතුරේ 18000ක් සුනඛ සපා කෑම්වලට ලක් වෙනවා. සුනඛයන්ට තමයි එන්නත් දිය යුත්තේ. ලංකාවේ වීදි සුනඛයන් මිලියනයක් පමණ සිටිනවා. ඒ නිසා සුනඛ සපාකෑම්වලට ජනතාව ලක් වෙනවා.

ඇමැති රඹුක්වැල්ල මහතා-

කතාව ඇත්ත. එන්නත් මාත්‍රා 50,000ක් මසකට අවශ්‍යයි. එක් එන්නතක් රුපියල් 35,000 ක් පමණ වෙනවා. වයිට්ල් බෙහෙත් 14ම අප සතුව තිබෙනවා. අත්‍යවශ්‍යම ඖෂධ වර්ග 554ක් තිබෙනවා. ඉන් අඩුව පවතින්නේ 49යි. ඒ සඳහා විකල්ප ඖෂධ භාවිතා කළ හැකියි. විකල්ප ඖෂධ අප සතුව තිබෙනවා. අගෝස්තු මාසයෙන් පසුව ඖෂධ හිඟය නැති වේවි. මානව සම්පත සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඇතිව තිබෙන ගැටලු ඍජුවම මේ ක්ෂේත්‍රයටම පමණක් අදාළ නැහැ. ප්‍රවාහනය ද ඒ සඳහා බලපා තිබෙනවා. වෛද්‍යවරුන් වුවත් ෂෙඩ් එකකට ගියාම ප්‍රමුඛත්වය දීමේදී ඒ ගැන ඇතැමුන් ප්‍රශ්න කරනවා. සෑම සිකුරාදාවකම ෂෙඩ් 74ක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයට ඉන්ධන දීමට වෙන් කර තිබෙනවා. බලශක්ති, ප්‍රවාහන ඇමැතිවරුන්ට මම ස්තුතිවන්ත වෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඩොලර් මිලියන 82 ක් අපට ආධාර ලැබී තිබෙනවා. ඩොලර් මිලියන 260 ක් පමණ වැය වෙනවා පිටරටින් ගේන ඖෂධ අමුද්‍රව්‍යවලට. ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 23ක් හා 50ක් ලැබී තිබෙනවා. ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් ඩොලර් මිලියන 200ක් ලැබී තිබෙනවා. ඩොලර් මිලියන 500 ක් පමණ අපට මේ වන විට ලැබෙනවා. ඒවා ඖෂධ මෙරටට ගැනීමට යොදා ගන්නවා. පිටරටින් ගේන ඖෂධ සඳහා ඩොලර් මිලියන 98ක ඇණවුම් කර තිබෙනවා. මුදල් නිසා ඖෂධ හිඟයක් අගෝස්තු මාසයෙන් පසුව ඇති වීමට නොහැකියි. පෙට්‍රල් පෝලිම්වල තිබෙන ජනතාව තේ, ආහාර බෙදනවා. ඒක තමයි අපේ සංස්කෘතිය. අපේකම. ඒවා අගය කළ යුතුයි. ඉදිරි සති පහ තුළ ඖෂධ හිඟයක් ඇති නොවී කළමනාකරණය කර ගැනීමට හැකි වෙයි කියලා අපි අපේක්ෂා කරනවා.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා (ශ්‍රී.ලං.පො.පෙ.)-

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් මතුව තිබෙනවා. ඖෂධ නොමැති බවට රෝගීන් මැසිවිලි නඟනවා. පවතින ඉන්ධන අර්බුදය මත රෝහල් කාර්ය මණ්ඩලය අපහසුතාවන්ට ලක්ව සිටිනවා. මේ සම්බන්ධයෙන් නිසි පියවර ගත යුතු බවට මම මේ සභාවට යෝජනා කරනවා. මධ්‍යම ආණ්ඩුව, පළාත් සභාව, වතු සතු රෝහල් තිබෙනවා. රට තුළ රෝහල් ඇතුළු ප්‍රතිකාර මධ්‍යස්ථාන 2164 ක් තිබෙනවා. 175,000 ක් ඇඳන් තිබෙනවා. 18,000 ක් වෛද්‍යවරුන් සිටිනවා. 2000ක් පමණ විශේෂඥ වෛද්‍යවරුන් සිටිනවා. දේශීය වෛද්‍ය ප්‍රතිකාර කරන රෝහල් ඇතුළු ප්‍රතිකාර මධ්‍යස්ථාන 113ක් තිබෙනවා.

නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා මුලසුනට පැමිණියේය.

මන්ත්‍රී වලේබොඩ මහතා-

නිවාරණ සේවාවන් සැපයීම සිදු කරනවා. ඒ සඳහා පවුල් සෞඛ්‍ය සේවිකාවගේ, මහජන පරීක්ෂක නිලධාරීන් මඟින් නිවාරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනවා. අනෙක් ක්ෂේත්‍රය ප්‍රතිකාර කිරීමයි. මෙරට මාතෘ හා ළමා මරණ සංඛ්‍යාව අඩු වුණා. එසේ අඩුව තිබෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැවැති ප්‍රගමනය නිසාය. මේ වන විට රට තුළ අර්බුදයක් උද්ගතව තිබෙනවා. ප්‍රතිකාර සේවා, නිවාරණ සේවා සියල්ලම මේ වන විට අභියෝගයට ලක්ව තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා-

පසුගිය කාලයේ මෙරට ඖෂධ නිෂ්පාදනයට කටයුතු කිරීම නිසා යහපත් තත්ත්වයක් රට තුළ උදා වුණා. සේලයන් එක පවා අද අපේ ර‌ටේ නිෂ්පාදනය කරනවා. ඇතැම් විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දත්ත නිසි ලෙස නොලැබීම නිසා සමහර අවස්ථාවලදී අපට නිවැරදි තීරණ ගැනීමට නොහැකි වෙන අවස්ථා තිබෙනවා. සර්ප දෂ්ටනයක් නිසා අනුරාධපුර රෝහලේදී මරණයට පත්වූ දරුවකු සම්බන්ධයෙන් වැරදි අදහසක් රට තුළ සමාජගත කිරීමට මාධ්‍ය කටයුතු කළා. එම නිසා ජනතාව රෝහල් වෙත නොපැමිණ ගොඩ වෙදකම් කිරීම නිසා මරණ කිහිපයක් ද ඇතිව තිබෙනවා. රෝහල් තුළ රෝගීන්ට ප්‍රතිකාර සඳහා ඖෂධ හිඟයකින් තොරව තිබෙන බව සමාජ ගත කළ යුතුයි.

වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ මහතා-

කොවිඩ් කාලයේ පවා ජනතාවට ඖෂධ හිඟයකින් තොරව දීමට අපට හැකි වුණා. අරමුදලක් ස්ථාපිත කළ යුතුයි. මහ බැංකුවේ අධීක්ෂණය යටතේ එය පැවතිය යුතුයි. ඩොලර් මිලියන 75 ක පමණ මුදලක් තමයි පසුගිය කාලය තුළ මහ බැංකුවට ලැබුණේ. ණය ගෙවීම් නතර කළාට ලෝක බැංකුවෙන් යනාදියෙන් ගත් ණය දිගටම ගෙවීම් කරනවා. ඩොලර් මිලියන 163 ක මුදලක් පසුගිය කාලය තුළ මහ බැංකුව ගෙවා තිබෙනවා. විවිධ අංශ මඟින් මේ ණය ගෙවීම් අයථා ලෙස භාවිතා කරන බවට චෝදනා තිබෙනවා. කුමන අඩුපාඩු තිබුණත් පැවැති ආණ්ඩු සෞඛ්‍ය වෙනුවෙන් තම යුතුකම් ඉටු කර තිබෙනවා. අපි නිදහස ලබන විට මෙරට ඇඳන් තිබුණේ 18,000 යි. අද වන විට එය 80,000 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය පුළුල් කිරීමට සෑම ආණ්ඩුවක්ම කටයුතු කර තිබෙනවා. ඒ නිසා තමයි මාතෘ මරණ, ළමා මරණ අවම වී තිබෙන්නේ.

පත් කළ මන්ත්‍රී චරිත හේරත් මහතා (ශ්‍රී.ලං.පො.පෙ.)-

මේ ක්ෂේත්‍ර දෙකේම නිදහසෙන් පසුව ජයග්‍රහණ රැසක් තිබෙනවා. වෛද්‍ය ක්ෂේත්‍රයේ දැනුම ගන්නා ක්‍රම අලුත් වෙනවා. නමුත් වෛද්‍ය ක්ෂේත්‍රයේ කළමනාකරණ අංශය අලුත් වීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් විය යුතුයි. මේ සේවාවන් යාන්ත්‍රණයක් ලෙස සමාජගත වන විට නවීන ලෝකයට ගැළපෙන පරිදි වෙනස් කර තිබෙනවාද කියලා සොයා බැලිය යුතුයි. කෝප් කමිටුව හරහා බෙහෙත් සම්බන්ධයෙන් අපි සොයා බැලුවා. රට තුළ බෙහෙත් කොපමණ තිබෙනවා ද කියලා සිස්ටම් එකක් තුළ සොයා ගැනීමට අපහසුයි. බැංකු පද්ධතිය තුළ මෙරටට අද දින තුළ ලැබුණ මුදල් කොපමණද කියලා සිස්ටම් එක හරහා හවසට කියන්න පුළුවන්. නමුත් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ එය කළ නොහැකියි. රට තුළ කොපමණ බෙහෙත් තිබේද කියලා නොදන්නාකම නිසා ඖෂධ නාස්ති වීමට ඉඩක් තිබෙනවා. වඩාත් කළමනාකරණ දත්ත පද්ධතියක් දිය යුතුයි. අපි පස්සට ගිහිං තිබෙන්නේ කළමනාකරණය පැත්තෙන්. සෞඛ්‍ය විශේෂඥභාවය පිළිගන්නා ගමන් යාන්ත්‍රණය ද ශක්තිමත් කළ යුතුයි. ඒ සඳහා ප්‍රතිපත්ති වෙනසක් ඇති කළ යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා (දෙ.ජා.ස.)-

රටම දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා. ජලභීතිකා එන්නත් නොමැති බවට වාර්තා පළ වෙනවා. එම බෙහෙත් නොමැතිකම නිසා මිනිසුන් සුනඛයකුගේ සපාකෑමට ලක් වුවහොත් බෙහෙත් නැතිකම නිසා බුරන්න පටන් ගනීවි. අ‌පේ ප්‍රදේශවල සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට විශේෂ දීමනාවක් දිය යුතුයි. සෞඛ්‍ය සම්බන්ධයෙන් ජනතාව විශාල වශයෙන් පීඩාවට පත් වෙනවා. මන්දපෝෂණයෙන් තොර ජනතාවක් බිහි කළ යුතුයි. කිලිනොච්චියේ සිටින දරුවන් වැඩිම මන්දපෝෂණයට ලක්ව ඇති දරුවන් ලෙස හඳුන්වන්න පුළුවන්.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා මුලසුනට පැමිණියේය.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා (ශ්‍රී.ලං.පො.පෙ.)-

පිටරටින් අතිවිශාල බෙහෙත් තොගයක් ගෙන්වනවා. ඩොලර් මිලියන 260 ක පමණ බෙහෙත් ගෙන්වනවා. ඖෂධ, වෛද්‍ය උපකරණ, රසායනික ද්‍රව්‍ය යනාදිය සියල්ලම ඩොලර් මත යැපෙන දේවල්. ග්‍රාමීය රෝහල්වල බෙහෙත් සැබැවින්ම නැති තත්ත්වයක් උදාවෙලා තිබෙනවා. හෘදය රෝගීන්ට අවශ්‍ය බෙහෙත් එහෙම හිඟවෙමින් පවතිනවා. ණයවර ලිපි විවෘත කර බැංකුවලට ගියාම බැංකුවල ඩොලර් නොමැතිකම නිසා ඔ්ඩර් කළ ද්‍රව්‍ය පවා ගෙන්වීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා තිබෙනවා. කස්ටම් එකට ඇවිත් තිබෙන බෙහෙත් ක්ලියර් කර ගැනීමට ගිය විට ඒවා ගෙන්වූවේ කෙසේද කියලා අහනවා. ක්ලියර් කර ගන්න දෙන්නේ නැහැ.

ඇමැති රඹුක්වැල්ල මහතා-

මාසයක් පමණ යනවා ක්ලියර් කරන්න. ඒ නිසා ඒ ගැන සාකච්ඡා කර වැඩපිළි‌වෙළක් සැකසීමට පියවර ගෙන තිබෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා (ශ්‍රී.ලං.පො.පෙ.)-

ජනතාව වෙනුවෙන් ගන්නා නිවැරදි තීරණවලට විපක්ෂයේ සිට අපි උදව් කරනවා.

ඇමැති රඹුක්වැල්ල මහතා-

එන්.එම්.ආර්.ඒ. ගැන කී කරුණු වැරදියි වර්තමානයේ. අවුරුදු හතරකින් වාර්ෂික වාර්තා යවා නොමැතිකම නිසා ඔවුන් ඉවත් කරන්න වුණා. ජයරත්න මහතා මේ වන විට පත් කර තිබෙනවා. සී.ඔ. කෙනෙක් ඉදිරි කාලය තුළ පත් කරනවා.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා (ශ්‍රී.ලං.පො.පෙ.)-

කුමන අර්බුදය ආවත් ඩොලර් ගැටලුව බලපා තිබෙනවා. පක්ෂ විපක්ෂ අය අර යෝජනා මේ යෝජනා කරනවා. නමුත් කිසිවෙක් ඩොලර් අර්බුදයට විසඳුමක් දෙන්‌නේ නැහැ. දේශපාලන ස්ථාවරභාවයක් රටක් තුළ තිබිය යුතුයි. නොඑසේ නම් ලෝකයේ රටවලින් අපට උදව් ගත නොහැකියි. පසුගිය කාලය තුළ කැබිනට් මණ්ඩල කීයක් නම් පත් වුණා ද. දැන් සිටින අගමැතිවරයාත් ඉවත් කර අලුත් අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් පත් කරන බවට කතාබහක් යනවා. මේක විහිලුවක් වෙලා. රුපියල් 205ට තිබූ ඩොලර් එක මාස තුනක් ගත වන විටදී රුපියල් 365ක් දක්වා වැඩි වෙලා තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. අතාවුල්ලා මහතා (ශ්‍රී.ලං.පො.පෙ.)-

රෝගයක් ඇති වීමට පෙර රෝගය ඇති වීම වළක්වා ගැනීමට අපි පියවර ගත යුතුයි. ලෙඩක් හැදුණාම පිටරටින් බේත් ගෙන්වීමට කටයුතු කිරීම තමයි දැන් කරන්නේ. කොවිඩ් කාලයේ එන්නත් ගෙන්වා අක්‍රමිකතා කළා කියලා චෝදනාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා (ශ්‍රී.ලං.පො.පෙ.)-

දේශීය වෛද්‍ය ක්‍රමය තුළින් ඖෂධ අපනයනයෙන් ඩොලර් උත්පාදනය කළ හැකියි. හෝමියෝපති ක්‍රමය සඳහා පිටරට ජනතාව යොමු වෙලා සිටිනවා. එමඟින් මෙරටට සංචාරකයන් දේශීය ප්‍රතිකාර සඳහා ගෙන්වා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. ඉතිහාසයට දොස් කියන එක නැවැත්විය යුතුයි. හැමෝම එක්ව ප්‍රශ්නවලට පිළිතුරු සොයමු. බටහිර හා දේශීය වෛද්‍ය ක්‍රම ඒකාබද්ධ කරමින් රටට ඩොලර් උත්පාදනය කරන වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ මහතා (ශ්‍රී.ලං.පො.පෙ.)-

මේ විවාදයට බයේ විපක්ෂය අද පාර්ලිමේන්තුව වර්ජනය කර තිබෙනවා. පසුගිය පාලන කාලය තුළ සිදු කළ අක්‍රමිකතා නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයට මේ තත්ත්වය උදා වෙලා තිබෙනවා. පසුගිය යහපාලන කාලයේදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පරිගණකයෙන් අස්ථානගත වුණා. පිළිකා නාශක, ප්‍රතිජීවක ඖෂධයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කළා. එහිදී නිලධාරීන් ද ඒවාට සම්බන්ධ බවට හෙළිව තිබෙනවා. ඒ අක්‍රමිකතා සිදු කළ නිලධාරීන් තවමත් ඒ තනතුරුවල සිටිනවා. 2015 සිට ඖෂධ නියාමන අධිකාරිය, වෛද්‍ය සැපයීම් අංශය අන්ත දූෂිත තත්ත්වයක තිබුණේ.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා (ශ්‍රී.ලං.පො.පෙ.)-

විපක්ෂයේ සිටින බලවේග දෙක මේ සභාවේ නොසිටීම නිසාදෝ අද මේ සාකච්ඡාව ඉතාම සාර්ථකව හරවත් ලෙස සිදු වෙනවා.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මුලසුනට පැමිණියේය.

මන්ත්‍රී උපුල් ගලප්පත්ති මහතා-

ආර්ථික අර්බුදය නිසාම වැඩිපුරම අවදානමට ලක්වූ ක්ෂේත්‍රයන් වනුයේ සෞඛ්‍ය, අධ්‍යාපනය, කෘෂිකර්මය, කර්මාන්ත යන ක්ෂේත්‍රයන් වේ. අමෙරිකාවේ එක් පුද්ගලයකුට ඩොලර් 10000ක් වෙන් කරන විට අපේ අයෙකුට වෙන් කරන්නේ ඩොලර් 150ක් පමණ ප්‍රමාණයක්. එහෙම වුණත් මෙරට සෞඛ්‍ය දර්ශක ඉහළ අගයක තිබීම ගැන අපි සතුටු විය යුතුයි.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා (ශ්‍රී.ලං.පො.පෙ.)-

අඳුරට සාප කර ඉන්නවාද නැත්නම් එක පහනක් හෝ දල්වනවාද කියලා කියමනක් තිබෙනවා. පවතින අර්බුදයෙන් දුප්පත් ජනතාව දුකට පත්ව තිබෙනවා. අප සතුව දේශීය වෛද්‍ය ක්‍රමයක් තිබෙනවා. ඒ ක්‍රමය අපි භාවිතයට ගත යුතුයි. බටහිර හා දේශීය වෛද්‍යවරුන් අතර මත ගැටුම් තිබෙනවා. දේශීය වෙදකමත් සමඟ ඒකාබද්ධ වුවහොත් මේ පවතින අර්බුදයට අපට සාර්ථකව මුහුණ දීමට හැකි වෙනවා.

මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී ගයාෂාන් නවනන්ද මහතා (ශ්‍රී.ලං.පො.පෙ.)-

වර්තමානයේ පවතින ඖෂධ අර්බුදයට හිටපු මහ බැංකු අධිපති, හිටපු මුදල් ලේකම් ඍජුවම වගකිව යුතුයි. වෛද්‍ය සැපයීම් අංශය රටට නිවැරදිව සේවය කරනවාද කියන එක ගැටලුවක්. ඒ ආයතනයේ තිබෙන ‌බෙහෙත් ඒ ආයතනයේ නිලධාරීන්වත් දන්නේ නැහැ. ප්‍රමුඛතාවය හදාගෙන ගෙන්විය යුත්තේ කුමන බෙහෙත්ද කියලාවත් ඔවුන් දන්නේ නැහැ. ජනතාව වෙනුවෙන් රාජ්‍ය සේවාව වගකීම් සහගතව ඉටු කිරීමට මේ නිලධාරීන් පියවර ගත යුතුයි.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සම්පත් අතුකෝරාල මහතා (ශ්‍රී.ලං.පො.පෙ.)-

ගුවන්යානා තුනක ඩොලර් උගන්ඩාවට රැගෙන ගිය බවට කීවාම ජනතාව යම් කාලයකට එය විශ්වාස කළා. එහි සත්‍යය වසන් කළා. මෙරට තෙල්, ආහාර, ඖෂධවලට යන වියදම ජනතාවට හෙළි නොකිරිම නිසා වැරදි අවබෝධයක් ජනතාව අතර තිබෙනවා. ජාතික ප්‍රතිපත්තියක් මේ සඳහා අවශ්‍ය වෙනවා. එමඟින් මේ අර්බුද විසඳා ගත හැකියි.

මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී විජිත බේරුගොඩ මහතා (ශ්‍රී.ලං.පො.පෙ.)-

ඖෂධවල හිඟයක් ඇති බවට සමාජය තුළ නිර්මාණය කර තිබෙනවා. විපක්ෂය කරන මේ වර්ජනය තුළ පිටරටට වැරදි පණිවුඩයක් යනවා. රටට උදව් කරන්න සිටින අය ඒ උදව් වළක්වාලන විදියට මේ විපක්ෂය කටයුතු කරනවා. රටේ පුරවැසියන් ආරක්ෂා කිරීම උදෙසා විපක්ෂය කටයුතු කළ යුතු වුවත් එවැනි දෙයක් සිදු නොවන බවක් දක්නට ලැබෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අසංක නවරත්න මහතා (ශ්‍රී.ලං.පො.පෙ.)-

අපේ රටේ ජනතාව පෝලිම්වල ඉන්ධන ටික ගන්න නැතිව පීඩාවෙන් සිටිනවා. මේ පීඩනය මතින් දේශපාලනය කිරීම උචිත නැහැ. සර්වපාක්ෂික ආණ්ඩුව හදන්න යෝජනාවක් පවතිනවා. නමුත් විපක්ෂය මඟහැරියා. ඒ යෝජනාව ක්‍රියාත්මක නොවීම නිසා මේ අර්බුද තවමත් තිබෙනවා.

පාර්ලිමේන්තුව ජූලි මස 04 වැනිදා

උදෑසන 10.00ට නැවත රැස් වේ.

 

ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර සහ සන්ධ්‍යා කරුණාරත්න

නව අදහස දක්වන්න