හැබැයි ඔය කියන තරම් බෙහෙත් හිඟයක් නෑ ලබන මස මුල් සතියේ ජලභීතිකා එන්නත් මාත්‍රා 125,000ක් මෙරටට - සෞඛ්‍ය ඇමැති | දිනමිණ

හැබැයි ඔය කියන තරම් බෙහෙත් හිඟයක් නෑ ලබන මස මුල් සතියේ ජලභීතිකා එන්නත් මාත්‍රා 125,000ක් මෙරටට - සෞඛ්‍ය ඇමැති

ජලභීතිකා එන්නත් මාත්‍රා 125,000ක් ලබන මස මුල් සතිය වන විට ලැබීමට නියමිත බවත් ඉන් එන්නත් මාත්‍රා 25,000ක් පෙරේදා (21) මෙරටට ලැබුණු බවත් සෞඛ්‍ය හා ජලසම්පාදන ඇමැති, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.

ලබන මස මුල් සතිය වන විටදී ජලභීතිකා එන්නත් 100,000ක් චීන රජයෙන් මෙරටට ලැබෙන බවත් ඖෂධ මිලදී ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් ලැබීම සිදු වන බවත් ඇමැතිවරයා පැවසීය.

“වත්මන් ආර්ථික දුෂ්කරතා හමුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු සේවා අඛණ්ඩව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාමේ සැලසුම්” යන මාතෘකාව යටතේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව පෙරේදා (21) කියා සිටියේය.

අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 664ක් පවතින අතර ඉන් ඖෂධ වර්ග 51ක හිඟයක් කලින් තිබුණ ද, එම හිඟය ඖෂධ 49ක් දක්වා අඩු වී බවත් ඖෂධ හිඟය ඉක්මණින්ම අවසන් කිරීමට හැකි බවත් ඇමැතිවරයා පැවසුවේය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත බෙහෙත් හිඟයක් පවතින බවට විවිධ මත පළ වුවද, එවැනි පාලනය කළ නොහැකි බෙහෙත් හිඟයක් නැති බවත් ලබාදීමට නොහැකි වුවහොත් රෝගීන් මරණයට පත්විය හැකි ඖෂධ වර්ග 14ක් පවතින අතර එකී ඖෂධ වර්ගවල කිසි හිඟයක් නැති බවත් ඇමැතිවරයා කීය.

බෙහෙත්වලට විකල්ප බෙහෙත් වර්ග ගණනාවක් ඇති නිසා රෝහල් වෙත පැමිණෙන ඕනෑම අසාධ්‍ය රෝගියකුට ප්‍රතිකාර කිරීමේ හැකියාව රෝහල් සතුව පවතින්නේ යැයි ද, වාර්ෂිකව බෙහෙත් ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 260කට ආසන්න මුදලක් වැය වන අතර මේ වන විට විවිධ ක්ෂේත්‍රවලින් අමෙරිකානු ඩොලර් මිලියන 49ක් ලැබී ඇතැයි ද ඇමැතිවරයා පැවසීය.

ලබන අගෝස්තු මාසය වන තෙක් යම් දුෂ්කරතා පැවතියද 2023 වසරේ මැද හෝ වසර 2024 ට ආසන්න වන තෙක් කිසිම අවස්ථාවක බෙහෙත් හිඟයක් ශ්‍රී ලංකාවේ ඇති විය නොහැකි බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

සන්ධ්‍යා කරුණාරත්න

නව අදහස දක්වන්න