ආර්ථිකය ශක්තිමත් කිරීමට රුසියාවේ සහාය ගන්න ආණ්ඩුවට උනන්දුවක් නෑ - ජානිපෙ නායක, මන්ත්‍රී විමල් වීරවංශ | දිනමිණ

ආර්ථිකය ශක්තිමත් කිරීමට රුසියාවේ සහාය ගන්න ආණ්ඩුවට උනන්දුවක් නෑ - ජානිපෙ නායක, මන්ත්‍රී විමල් වීරවංශ

මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට රුසියාවේ සහාය ගැනීම සඳහා රජයට කිසි උනන්දුවක් නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) පැවසීය.

පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

රුසියාවෙන් තෙල් ලබා ගැනීමට අවශ්‍ය නම් රුසියාව හා ශ්‍රී ලංකාව අතර ගිවිසුමක් අස්සන් කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා තමන් ඇතුළු පක්ෂ 11 නායකයන් සමඟ පැවැති සාකච්ඡාවේ දී පැවැසූ බව හෙතෙම කීය.

ඉන්දියාව රුසියාවෙන් ඉන්ධන ගන්නේ සියයට 35කට වඩා අඩු මුදලකට බවත් එම වාසිය ශ්‍රී ලංකාවට ද ගත හැකි බවත් වීරවංශ මහතා කීය.

මේ සඳහා මුලින්ම රාජ්‍ය නායක මට්ටමෙන් සාකච්ඡා ආරම්භ විය යුතු බව පැවැසූ ඒ මහතා ඉන් අනතුරුව ශ්‍රී ලංකාවෙන් ප්‍රබල දූත පිරිසක් රුසියාව බලා පිටත්ව යා යුතු බවත් හෙතෙම කියා සිටියේය.

ඉන් අනතුරුව දෙරට අතර ගිවිසුමක් අස්සන් කළ යුතු බවද වීරවංශ මහතා පැවසීය.

මිත්‍රයෝ තීරණය කරන්න ඕනෑ කතාවෙන් නොවෙයි ක්‍රියාවෙන්යැයි තානාපතිවරයා ප්‍රකාශ කළ බව වීරවංශ මහතා කීය.

රුසියාවේ සහාය මෙරටට ලබාගන්නා ලෙසට ආණ්ඩුවට බල කරමින් වැඩපිළිවෙළක් ආරම්භ කරන බව මන්ත්‍රීවරයා පැවසීය.

 

ස්වර්ණා විජේකෝන්,

නුවන් කොඩිකාර සහ

සන්ධ්‍යා කරුණාරත්න

නව අදහස දක්වන්න