අගෝස්තු හා දෙසැම්බර් පාසල් නිවාඩු කෙටි වෙයි | දිනමිණ

අගෝස්තු හා දෙසැම්බර් පාසල් නිවාඩු කෙටි වෙයි

දරුවන්ට මඟහැරෙන සියලු කාලඡේද ආවරණයටත් පියවරඅධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේ්ම්ජයන්ත්

එළඹෙන අගෝස්තු හා දෙසැම්බර් පාසල් නිවාඩු කෙටි කර පාසල් පැවැත්වෙන දින ගණන වැඩි කර එම අතිරේක දිනවල දී මේ කාලයේ දරුවන්ට මඟ හැරෙන සියලු කාලඡේද ආවරණය කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.

ඇමැතිවරයා ඒ බව පැවසුවේ ඊයේට (21) යෙදී තිබූ අන්තර්ජාතික යෝග දිනය නිමිත්තෙන් කොළඹ නිදහස් චතුරශ‍්‍රයේ එදින පැවති රැස්වීමෙන් අනතුරුවය.

ප‍්‍රාථමික ගුරුවරුන්ට ජූලි මස සිට අඛණ්ඩ පුහුණු සැසි පැවැත්වෙන බවත්, උසස් පෙළ ගුරුවරුන් සඳහා විශ්වවිද්‍යාල පද්ධතිය ඔස්සේ පුහුණු සැසි ලබාදීම මඟින් උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ට පුනරීක්ෂණ, ප‍්‍රශ්නෝත්තර හා අතිරේක වැඩසටහන් පැවැත්වීමට නියමිත බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

මේ විශේෂ අධ්‍යාපන වැඩසටහන් අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් මාසවල ක‍්‍රියාවට නැංවෙන බවද, සියලු පුහුණු සැසි ජූලි මාසයේ පැවැත්වීමට පළාත් නවයේ ම අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සම්බන්ධ කර ගෙන දෛනිකව ගන්නා දත්ත හා තොරතුරු ඇසුරින් මේ වනවිටත් අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙමින් පවතින බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

එසේම, දිවයිනේ ප‍්‍රධාන නගරවල හැර සෙසු ග‍්‍රාමීය ප‍්‍රදේශවල සියයට 70 -80ක ප‍්‍රතිශතයකින් ගුරුවරුන්ගේ හා සිසුන්ගේ පාසල් පැමිණීම් වාර්තා වන බවත් පැවසීය.

විසි එක් වැනි සංශෝධනයට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවද, එය කෙටුම්පතක් ලෙස නීති කෙටුම්පත් සම්පාදකගෙන් යළි ඉදිරිපත් වූ පසු කැබිනට් අනුමැතිය ගෙන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඕනෑම පාර්ශ්වයකට දින 14ක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ඒ සඳහා අභියෝග කළ හැකි බවද කීය. එසේම, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබෙන නියෝග මත එය පාර්ලිමේන්තුවේ විවාදයට ගත හැකි බවත් ඇමැතිවරයා පැවසීය.

 

සිතාරා සේනානි

නව අදහස දක්වන්න