අරලිය මිලට නිව් රත්න බෑ කියයි ඩඩ්ලිට තදවී මාධ්‍ය හමුවෙන් නැඟිට යයි | දිනමිණ

අරලිය මිලට නිව් රත්න බෑ කියයි ඩඩ්ලිට තදවී මාධ්‍ය හමුවෙන් නැඟිට යයි

රජයේ පාලන මිලට සහල් දීම සම්බන්ධයෙන් හටගත් මත ගැටුමක් හේතුවෙන් අරලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන මහතා සහල් මෝල් හිමියන් ඊයේ (22) කැඳවා තිබූ මාධ්‍ය හමුවෙන් අතරමඟදී නැඟිට ගියේය.

රජයේ පාලන මිලට සහල් දිය යුතු යැයි අරලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසද්දී නිව් රත්න සහල් අධිපති ලංකේශ්වර මිත්‍රපාල මහතා පාලන මිලට සහල් දිය නොහැකි බව පැවසීමත් සමඟ සහල් මෝල් හිමිකරුවන් අතරම මත ඇති විය. මෙය කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ ඩඩ්ලි සිරිසේන මහතා මෙසේ ද කීය, “දීර්ඝ කාලයක් මුළුල්ලේ ජනතාවට සහල් විකුණා ලාභ ලැබූ ව්‍යාපාරිකයන් ලෙස මේ අවස්ථාවේ ජනතාව වැටී තිබෙන දුක්ඛිත තත්ත්වය පිළිබඳ සිතිය යුතුයි.

පාලන මිලට සහල් අලෙවි නොකරන වී මෝල් වටලා වී තොග රජය භාරයට ගත යුතු යැයි ද ඩඩ්ලිගේ සහල් මාෆියාව ලෙස හැඳින්වුව ද වර්තමානයේ සහල් වැඩි මිලට විකුණන පුද්ගලයන් මාෆියාවක් ගෙනයමින් තිබෙන බව පැහැදිලි වෙනවා.

තමන් ඇතුළු ප්‍රධාන සහල් මෝල් හිමියන් සහල් මිල අඩු කළා සේම වී මිල වැඩි කිරීමට පියවර ගත් බවත් රජය ඉන්ධන ඇතුළු අනිකුත් පහසුකම් දීමට ඉදිරිපත් විය යුතුයි. වී කිලෝ 64ක ප්‍රමාණයක් රුපියල් 7,500 බැගින් මීට පෙර මිලදී ගත් තොග ප්‍රධාන සහල් මෝල් හිමියන් සතුයි. එම වීවලින් රජයේ පාලන මිලට සහල් දිය හැකි වෙනවා.

රුපියල් 7,500කට මිලදී ගත් නාඩු සහ සම්බා වී කිලෝ 64ක ප්‍රමාණයක් රුපියල් 8,000ක් දක්වා ද, රුපියල් 8,000කට මිලදී ගත් කීරි සම්බා වී කිලෝ 64ක ප්‍රමාණයක් රුපියල් 8,500 බැගින් ද, මිලදී ගන්නා බවත් සහල් මිල අඩු කර වී මිල වැඩි කර තිබෙනවා.”

නිව් රත්න සහල් අධිපති ලන්කේෂ්වර මිත්‍රපාල මහතා අදහස් දක්වමින් කියා සිටියේ සහල්වල පාලන මිල රුපියල් විසිපහකින් වැඩි කළ යුතු බවයි. එහිදී අසරණ වී සිටින ගොවීන්ට යම් සහනයක් දීමට පියවර ගත යුතු බව හෙතෙම කරුණු පෙන්වා දෙයි.

මෙහිදී දඹුල්ල සහල්මෝල් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති, කේ.ටී.සී. ආයතනයේ සභාපති එම්. ෂනීර් මහතා පැවසුවේ රජයේ පාලන මිලට සහල් දීමට තමන් කටයුතු කරන බවය.

මේ අවස්ථාවට තවත් සහල් මෝල් හිමියෝ කිහිප දෙනෙක්ම එක්ව සිටියහ.

 

අනුර ප්‍රේමලාල්

ඡායාරූපය - හිරන්ත ගුණතිලක

නව අදහස දක්වන්න