මූතූර් ආදීවාසීන්ගේ ඉඩම් ගැටළු විසදීමට කමිටුවක් | දිනමිණ

මූතූර් ආදීවාසීන්ගේ ඉඩම් ගැටළු විසදීමට කමිටුවක්

මූතූර්, නල්ලූර් ප්‍රදේශයේ ජීවත් වන ආදිවාසීන්ගේ ඉඩම් ගැටළුව විසදීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ විශේෂ අවධානය යොමුව තිබේ.
 
යුධමය වාතාවරණය හේතුවෙන් අතහැර දමා ගිය එම ඉඩම්වල මේ වනවිට විවිධ පුද්ගලයින් පදිංචි වී ඇති අතර ආදීවාසින් 2009 වසරේ සිට ඔවුන්ගේ ඉඩම් යළි ලබාදෙන ලෙස විවිධ අවස්ථාවලදී ඉල්ලීම් කර ඇත. එහෙත් එම ඉල්ලීම් පිළිබඳව කිසිදු අවධානයක් යොමු කර නොමැති වීම හේතුවෙන් මෙම ආදීවාසින් ආණ්ඩුකාරවරිය හමුවේ ඔවුන්ගේ දුක්ගැනවිල්ල පැහැදිලි කළහ.
 
අනතුරුව අවස්ථා කිහිපයකදීම ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන  කමිටුවේදි මේ සඳහා තීන්දු කිහිපයක්ම ගැනිණි. එම කටයුතු සොයා බැලීම සඳහා ආණ්ඩුකාරවරිය පසුගියදා මූතූර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියාය.
 
මේ සඳහා ආදීවාසි ජනතාව නියෝජනය කරමින් සහ දැනට එම ඉඩම්වල පදිංචිකරුවන් පිරිසක්ද එක්ව සිටියහ. එහිදී ආණ්ඩුකාරවරිය දෙපාර්ශවයේම අදහස් අවධානයට ලක් කළාය.
 
අනතුරුව ඉදිරි සතිය තුළ මෙම ගැටළුව විසඳා අවසන් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කළාය. ත්‍රිකුණාමලය අතිරේක දිසාපති (ඉඩම්)ගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත් කරන ලදි.
 
මේ අවස්ථාවට ත්‍රිකුණාමලය අතිරේක දිසාපතිවරයා, මූතූර් ප්‍රාදේශිය ලේකම්, පළාත් නිවාස අධිකාරියේ සභාපති ජනාර්තන් ජෙගනාදන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

නව අදහස දක්වන්න