ඇෆ්ගනිස්තානයේ භූ කම්පනයෙන් 1000ක් වැළලෙති | දිනමිණ

ඇෆ්ගනිස්තානයේ භූ කම්පනයෙන් 1000ක් වැළලෙති

1500කට තුවාල

ඇෆ්ගනිස්තාන නැගෙනහිර පළාතේ සිදු වූ ප්‍රබල භූමි කම්පාවකින් අවම වශයෙන් පුද්ගලයන් 950ක් ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊයේ ඇෆ්ගනිස්තාන වේලාවෙන් අලුයම 1.30ට පමණ සිදු වූ බව කියන මේ බිහිසුණු භූ කම්පනය රිච්ටර් මාපකයේ 5.9ක් ලෙස සටහන් වූ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කර තිබූ අතර, ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව 1500කට වඩා වැඩි බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.

නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ පක්ටිකා ප්‍රාන්තයේ සිදු වී ඇති මේ ප්‍රබල භූමිකම්පාව වසර විස්සකට පසු එරට සිදු වූ දරුණුතම භූ කම්පනය බව ඊයේ ඇෆ්ගනිස්තාන තලේබාන් රජය නිවේදනය කළේය. මිය ගිය පුද්ගලයන්ගේ මළ සිරුරු සොයා ගැනීමට සහ තුවාල ලැබූ පුද්ගලයන් බේරා ගැනීමට රජයේ නිලධාරීන් මෙන්ම ජනතාව ද දැඩි ප්‍රයත්නයක යෙදුණු බවත්, එය යුද පිටියට ස්වරූපයකට පත් වූ බවත් මේ ව්‍යවසනය ඇසින් දුටු පුද්ගලයන් වාර්තාකරුවන්ට පවසා තිබේ.

පාකිස්තාන දේශසීමාව ආසන්නයේ පිහිටි කෝස්ට් ප්‍රාන්තයට ද භූ කම්පනයෙන් හානි සිදුවී ඇති අතර, එහි පුද්ගලයන් 25 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද, තවත් පුද්ගලයන් පිරිසක් තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.

තලේබාන් නායක හිබාතුල්ලා අකුන්සඩා ප්‍රකාශ කර ඇත්තේ භූ කම්පනයෙන් නිවාස සිය ගණනක් විනාශයට පත්වී ඇති බවය. එමෙන්ම මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව දහස ඉක්මවනු ඇතැයි ද ඔහු සඳහන් කර තිබේ.

භූ කම්පනයේ බලපෑම අසල්වැසි පාකිස්තානයට, ඉරානයට සහ ඉන්දියාවටත් දැනී ඇති අතර, ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර සහ පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර ද සෙලවීමකට ලක්වූ බව වැඩිදුරටත් වාර්තා වේ. කෙසේ වුවත් භූ කම්පනයෙන් අසල්වැසි රටවල යම්කිසි පුද්ගල හානියක් හෝ දේපොළ හානියක් සිදු වූ බවට මෙතෙක් වාර්තා වී නැත.

 

නව අදහස දක්වන්න