‘බ්‍රික්ස්’ රටවල් පහ ත්‍රස්තවාදයට එරෙහිව එක් වෙයි | දිනමිණ

‘බ්‍රික්ස්’ රටවල් පහ ත්‍රස්තවාදයට එරෙහිව එක් වෙයි

කිසිදු වෙන් කිරීමකින් තොරව ත්‍රස්තවාදයට එරෙහිව සහයෝගිතාව ශක්තිමත් කිරීමට එක් වන ලෙස ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩොවල් ප්‍රකාශ කර ඇත. බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව එක්ව ගොඩ නඟා ගත් ‘බ්‍රික්ස්‘ රටවල් පහේ ජාතික ආරක්ෂක උපදේශකවරුන්ගේ සාකච්ඡාවකදී අජිත් ඩොවල් මේ ඉල්ලීම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ මස අගභාගයේ පැවැත්වීමට නියමිත ‘බ්‍රික්ස්‘ සමුළුවට සමගාමීව වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති මේ සාකච්ඡාවේදී ත්‍රස්තවාදයට එරෙහිව ශක්තිමත් වීමට අමතරව කොවිඩ් වසංගතයේ අභියෝගය සහ දේශගුණික විපර්යාස ජය ගැනීමේ අභියෝගය සම්බන්ධවත් සහයෝගයෙන් යුතුව විසඳුම් සෙවීමට රටවල් පහේ ආරක්ෂක උපදේශකවරුන් එකඟතාවට පැමිණ තිබේ. ඒ සඳහා අඛණ්ඩව සහයෝගය දැක්වීමේ වැදගත්කම අවධාරණය කර ඇති ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා තොරතුරු තාක්ෂණය, අභ්‍යවකාශය හා සමුද්‍රීය ආරක්ෂාව වැනි ක්ෂේත්‍ර කෙරෙහි ද බ්‍රික්ස් රටවල අවධානය යොමු විය යුතු බව සඳහන් කර ඇත.

බ්‍රික්ස් රටවල් පහේ සමුළුව මේ මස අගදී චීනයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන අතර, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, රුසියාවේ ජනාධිපති ව්ලැදිමිර් පුටින්, බ්‍රසීලයේ ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ සහ දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රම්පෝසා ද වීඩියෝ තාක්ෂණය ඔස්සේ එම සමුළුවට එක් වනු ඇතැයි වාර්තා වේ.

 

නව අදහස දක්වන්න