ගිනි ඇවිළෙනසුලු තැන් නිවා දමමු | දිනමිණ

ගිනි ඇවිළෙනසුලු තැන් නිවා දමමු

පාලක පාර්ශ්වයේ  වගකීම බවට පත් වන්නේ ඉන්ධන පිළිබඳ ගැටලුව විසඳාලීමය. ඒ ගැන කිසිදු වාදයක් හෝ විවාදයක් අවශ්‍ය නොවේ. මේ ගැටලුව යම් පමණකට හෝ  කළමනාකරණය කිරීමට හැකි වුව හොත් ඇතිව ඇති සෙසු ප්‍රශ්නවලට ද  යම් හෝ සහනයක් උදා කර ගැනීමට පුළුවන.

රටක කර්මාන්ත ආර්ථිකය සහ සියලු ක්‍රියාකාරකම් සඳහා ඉන්ධන අවශ්‍යව තිබේ. ඒ අවශ්‍යතාව කෙතෙක්ද යත් ඉන්ධන නැති රටක් එක තැන නවතින්නට එතරම් කාලයක් ගත නොවේ. අද වන විට රජයේ කන්තෝරු, පාසල් සහ පොදු ප්‍රවාහනය මෙන්ම පෞද්ගලික ප්‍රවාහනය පවා සීමිතව තිබෙන්නේ තෙල් හිඟය නිසාය. තෙල් හිඟයට හේතුව බවට පත්ව තිබෙන්නේ තෙල් පෙර මෙන් මිලට ගැනීමට විදෙස් සංචිත නැති වීම සහ සමාගම් අත්පිට මුදලට පමණක් තෙල් දීමට කටයුතු කිරීමය එහි ප්‍රතිඵලය බවට පත්ව තිබෙන්නේ වෙනදා මෙන් ඉන්ධන පිරවුම්හලට ගිය ගමන් තෙල් ලබා ගැනීමට අපට නොහැකි වීමය.

අප රටට ලැබෙන ඩීසල්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් අත්‍යවශ්‍ය සේවා වන විදුලිය, දුම්රිය, ලංගම එවැනි සේවා වෙත යොමු කෙරේ. අර්බුදයේ උග්‍රම කාලයේ සිටින අප රටට එහිදී ප්‍රමුඛතා ලැයිස්තුව අනුව කටයුතු කිරීමට සිදුවීම සාධාරණය. එනිසා මේ මොහොතේදී අප ද යම් කිසි විනයක් ඉවසීමක් ඇතිව වැඩ කළ යුතුය. බැලූ බැල්මට නැගෙන ප්‍රශ්නයක් වන්නේ මෙතරම් වේගවත්ව පිරවුම්හල්වලට එන ඉන්ධන ඉවර වන්නේ කෙසේ ද යන්නය. සාමාන්‍ය ජනගහනයක් ඇති බස්නාහිර පළාතේ ඉන්ධනහළකට සාමාන්‍ය කාලය තුළ ද ලැබුණේ ලීටර් හයදහස් තුන්සියක පෙට්‍රල් බවුසරයකි. එම බවුසරය පැමිණ දිනක් හෝ දින එකහමාරක් ගත වන තෙක් සාමාන්‍ය ලෙස ඉන්ධන ලබා ගැනීමට පුළුවන.

දෛනිකව ගන්නා ඉන්ධන

එහෙත් පසුගියදා අප ගනුදෙනු කරන පිරවුම්හලට දෙවරකට ඔක්ටේන් 92 සහ 95 පෙට්‍රල් බවුසර් දෙකක තොග ලැබිණි.සවස හය වන විට මේ තොග ටැංකිගත කර ඉන්ධන දීම ඇරඹිණි. රාත්‍රිය දහය එකොළහ වන විට ලීටර් දහතුන්දහසක පෙට්‍රල් තොගයම අවසන්ව තිබිණි. මෙයට එක් හේතුවක් වන්නේ එදා දෛනිකව රුපියල් දෙදහසක තුන් දහසක තෙල් ලබා ගත් කෙනා ටැංකිය පුරවා ගැනීමට උත්සාහ කිරීමය. යතුරුපැදිකරු පවා කරන්නේ ඒ දේමය. එය පාරිභෝගිකයාගේ පැත්තෙන් ගෙන සලකන කල අසාධාරණ නැත. ඩීසල් වුවද එසේය. සාමාන්‍ය කාලයේදී බස් රථ සදහා අවශ්‍ය ඩීසල් සවස නිවෙස් බලා යෑමට පෙර පුරවා ගැනීම සාමාන්‍ය සිරිතය. ඔවුන් එහිදී ලබා ගන්නේ මීළඟ දිනයට අවශ්‍ය ඩිසල් ප්‍රමාණය පමණි. එහෙත් අද තත්ත්වය එසේ නොවේ. මේ කරුණු නිසා ඉන්ධන සදහා අධි ඉල්ලුමක් ඇතිව තිබේ. ඒ නිසා නරක තත්ත්වය වඩාත් නරක තත්ත්වයක් බවට පත්ව තිබේ. එනිසා මුලින්ම කළ යුතු දේ වන්නේ පාරිභෝගිකයා තුළ තෙල් බෙදා හැරීම ගැන විශ්වාසයක් ඇති කිරීමය. එමඟින් මූලික ලෙස ඉන්ධන ගැන තිබෙන අධි ඉල්ලුම නැති කළ හැකිය. ඉන් කීලෝමීටර් ගණන් දිගු පෝලිම් කෙටි පෝලිම් බවට පත් කර ගැනීමට පුළුවන.

සරු ව්‍යාපාරයක්

ඒ අතර තවත් පිරිසක් ඉන්ධන අලෙවිය සරු ව්‍යාපාරයක් බවට පත් කර ගෙන සිටිති. වරින්වර පැමිණ තෙල් එක් රැස් කර ගන්නා ඔවුන් තම නව ජීවනෝපාය සකස් කරගෙන සිටින්නේ තෙල් විකිණීමෙනි. එය ද තෙල් සඳහා වූ අධි ඉල්ලුමට ප්‍රධාන හේතුවක් බවට පත්ව තිබේ. අප කළ සොයා බැලීම්වලදී කළු කඩයේ පෙට්‍රල් ලීටරය රුපියල් හය සියයේ සිට දහස දක්වා තිබේ. සමහර ත්‍රීරෝද රථ රියැදුරන් තම හයර් එකට කළු කඩේ තෙල් මිල ද එක් කර තිබේ. රුපියල් දෙසීයක හයර් එකක් සඳහා ඔවුන් රුපියල් තුන් සියයක් අය කරති. අප සඳහන් කරන්නේ ඇතිව තිබෙන කළු කඩ ක්‍රමය පිළිබඳවය. කළු කඩය පිරවුම්හලටම පැමිණි අවස්ථාවක් ගැන ද පසුගියදා වාර්තා විය. එහිදී වාර්තා වූයේ තෙල් තිබියදී තෙල් සඟවාගෙන තෙල් නැති බව පැවසීමය. එහිදී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ක්‍රියාත්මක වූ ආකාරය ප්‍රසාදජනකය. එවැනි අකටයුතුකම් සිදු වන තැන් සොයා බලා කටයුතු කිරීම ද කළ යුතුය. එමඟින් තෙල් හොර පාරේ යෑම නවතා ලීමට පුළුවන.

දැනට ඇති තදබදයට විසඳුමක් ලෙස වාහන අංක වර්ගීකරණය සහ වාහනවල අත්‍යවශ්‍යභාවය අනුව දිනයක් වෙන් කර කටයුතු කිරීමේ සැලසුමක් ගැනද වාර්තා පළ වේ. අද ඇතිව තිබෙන තදබදකාරී තත්ත්වයට විසඳුමක් ලෙස එවැනි විකල්ප ක්‍රමයක් ඇති කිරීම කාලෝචිත ක්‍රියාවකි. එය නොපමාව ක්‍රියාත්මක කිරීම වඩාත් සුදුසුය. දැන් අර්බුදය ඇතිව තිබේ. අර්බුදය ඇති කළේ කවුරුද? එයට හේතුව කුමක්ද? කියා වාද විවාද කරමින් කාලය කා දැමීම සුදුසු දෙයක් නොවේ. සිදු විය යුත්තේ ගැටලුව සමථයකට පත් කරන මඟක් සෙවීමය. ආර්ථික සහ සමාජීය ප්‍රශ්න මැද ගැටලුව විසඳීම සඳහා පක්ෂ විපක්ෂ සියල්ලන් එක්ව වැඩ කළ යුතුය. සීමිත කාලයකින් පසු ගැටලු සමනය කර ගැනීමෙන් පසු මැතිවරණයක් ගැන හෝ බලය පිළිබඳ සියලු පාර්ශ්වවලට කල්පනා කළ හැකිය. මූලික දේ විය යුත්තේ උද්ගතව තිබෙන ගැටලුව තෝරා ගැනීම සහ එය විසඳීමය.

පාලක පාර්ශ්වයේ වගකීම

පාලක පාර්ශ්වයේ වගකීම බවට පත් වන්නේ ඉන්ධන පිළිබඳ ගැටලුව විසඳාලීමය. ඒ ගැන කිසිදු වාදයක් හෝ විවාදයක් අවශ්‍ය නොවේ. මේ ගැටලුව යම් පමණකට හෝ කළමනාකරණය කිරීමට හැකි වුව හොත් ඇතිව ඇති සෙසු ප්‍රශ්නවලට ද යම් හෝ සහනයක් උදා කර ගැනීමට පුළුවන. අද ඇතුව තිබෙන අධි උද්ධමනකාරී තත්ත්වයට ඉන්ධන ගැටලුව විශාල ලෙස බලපා තිබේ. ධීවරයාට මුහුදු යාමට ඩීසල් සහ භූමිතෙල් හිගය. සී සෑමට අවශ්‍ය කරන ට්‍රැක්ටරයට ඩීසල් නැත. එනිසා අද ප්‍රශ්නකාරී තත්ත්වය උග්‍ර අතට පත්ව තිබේ. ආණ්ඩුව මේ ගැන අවධානය යොමු කළ යුතුය. ජනතාව ද ගැටලුව ගැන අවබෝධයෙන් වැඩ කළ යුතුය. ගැටුම් නිර්මාණය කර හෝ ආරක්ෂක අංශ සමග ගැටී සෙස්සන් සමග ගුටි ඇන ගැනීමෙන් ඉන්ධන ලැබෙන්නේ නැත; ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ ද නැත. ලැබෙන විසඳුම තව දුරටත් ප්‍රමාද වීම පමණක් සිදු වේ. අප සැම දෙනා සාමාන්‍ය මිනිසුන්ය. එබැවින් අපෙන් මෙන්ම ආරක්ෂක අංශ, ෂෙඩ් හිමියන් එහි සේවකයන්ගෙන් ද අඩුපාඩු දුබලකම් සිදු වීමට පුළුවන.එසේ වූවා යැයි ගැටුම් නිර්මාණය කර ගැනීම මේ මොහොතේ සිදු කරන අනුවණකමකි. එවැනි අනුවණ වැඩ නිසා හිරේ යැමට හෝ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වුව හොත් එහි පාඩුව ඔබේ සමීපතමයන්ට මිස වෙන අයට නොවේ.

ආරක්ෂක අංශ හෝ පොලිසිය පිරවුම්හල් වෙත පැමිණ ඇත්තේ ඔබේ ආරක්ෂාව සහ නිසි පිළිවෙළ සහ සාධාරණ ක්‍රමයක් ඔස්සේ තෙල් දීමටය. ඇතැම් තැන්වලින් වාර්තා වන පරිදි දේශපාලන බලවත් පිරිස් සහ චණ්ඩි පිරවුම්හල් පෝලිම් හැසිරවීමට සහ අයථා ක්‍රම මගින් ඉන්ධන පිට කිරීමට පැමිණෙති. එය එසේ කියා ජනතාවට නීතිය අතට ගැනීමට අයිතියක් නැත. ජනතාව කළ යුත්තේ ඒ ගැන ආරක්ෂක අංශවල අවධානය යොමු කිරීමය. එමඟින් අනවශ්‍ය ප්‍රශ්න රැසක් මඟහැරී යයි.

ඉන්ධන නැතැයි කියා මාර්ග හරස් කිරීම ද අද නිතර සිදුවන්නකි. එය යල් පැන ගිය මෝඩ සටන් ක්‍රමයකි. මාර්ගය හරස් කළා යැයි කියා නැති තෙල් මහ පාරෙන් මතුව එන්නේ නැත. ආරක්ෂක අංශ සමග ගැටුම් ඇති වීමට ප්‍රධාන හේතුව බවට පත් වන කරුණක් බවට පත්ව තිබේ. එනිසා අප වැනිම පිරිසක් අපහසුතාවට පත් වන පාරවල් වැසීමේ ක්‍රමය නවතා දැමිය යුතුය.

ඉන්ධනහල සමඟ ගැටුම්

ඉන්ධනහලේ පොම්පකරු හෝ කළමනාකරු සමඟ ගැටීම ද මෝඩකමකි. ඔවුනට පැවරී තිබෙන කාර්ය වන්නේ ලැබෙන තෙල් බෙදා දීමය. එසේ තිබියදී නොලැබුණ තෙල් බෙදා දෙන ලෙස රණ්ඩුසරුවල් වීම නුසුදුසුය.

ජනතාව සිටින්නේ ද විශාල පීඩාවකය. ඔවුන් දින දෙක තුන සිටින්නේ පෝලිම්වලය. එනිසා ඔවුන් සිටින්නේ ද ඉවසීමේ රතු කට්ටට එපිටිනි. එනිසා ආරක්ෂක අංශ ද ඔවුන් තමන්ගේ සතුරන් පිරිසක් නොව සහෝදරයන් පිරිසක් යැයි සිතා වැඩ කළ යුතුය. තමන්ගේ බලය ජනතා යහපත වෙනුවෙන් යෙදවිය යුතුය. එමඟින් ජනතා ගරුත්වය සහ ආදරය සමග ගැටලුව කළමනාකරණය කළ හැකිය. ජනතාව ද බුද්ධිමත්ව වැඩ කළ යුතුය. ආදරය කරුණාව සහ අවබෝධය සහිතව වැඩ කිරීමෙන් අප වැටී ඇති අර්බුදයේ පතුලෙන් උඩට ඒමටත් පසුව ගොඩට ඒමටත් හැකියාව ලැබෙනු නියතය.

 

උදිත ගුණවර්ධන

නව අදහස දක්වන්න