අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ බලපවත්නා උග්‍ර පොහොර හිඟය හේතුවෙන් මෙවර යල කන්නය සඳහා සැලසුම් කළ පරිදි වී හා අතිරේක ආහාර භෝග වගාව කිරීමට නොහැකි වී තිබේ.
2022 යල කන්නය තුළ ඉඩම් හෙක්ටයාර 91,500ක් වී වගාව සඳහා යොදා ගැනීමට නියමිතව තිබුණ ද මේ දක්වා පොහොර ඇතිව හෝ නැතිව වගා කිරීමට බිම් සකස් කිරීම හෝ වී වගාව සිදු කර ඇත්තේ ඉඩම් හෙක්ටයාර 67,935ක් පමණි. ඒ අනුව හෙක්ටයාර 30,000කට ආසන්න වගා ඉඩම් ප්‍රමාණයක් පුරන්ව යමින් පවතී. යල කන්නයේ වගා කටයුතු සඳහා කොම්පෝස්ට් හා කාබනික පොහොර මෙට්‍රික් ටොන් 49,000ක් අවශ්‍ය බවට ඇස්තමේන්තු කර තිබුණ ද පොහොර සැපයීම භාර ගත් කෘෂි පොහොර සමාගම් එකොළහක් කලට වේලාවට ගොවීන්ට පොහොර සැපයීම සිදු කර නැත. යල කන්නයේ වගා කටයුතු මේ වන විට අවසන් වී ඇතත් අදාළ සමාගම් මඟින් දිස්ත්‍රික්කයේ ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානවලට සපයා ඇත්තේ මෙට්‍රික් ටොන් 17,080ක් වැනි සුළු පොහොර ප්‍රමාණයක් පමණි.
ආහාර සුරක්ෂිතාව සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ 2022 යල කන්නයේ අතහැර දමා ඇති කුඹුරු ඉඩම් තුළ අතිරේක ආහාර භෝග වගා කිරීමේ වැඩසටහනක් දිස්ත්‍රික් නියෝජ්‍ය ගොවිජන සංවර්ධන කොමසාරිස් කාර්යාලයේ මෙහෙයවීමෙන් දියත් කර ඇත.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් 'දිනමිණට' අදහස් දැක්වූ නියෝජ්‍ය ගොවිජන සංවර්ධන කොමසාරිස් චමින්ද ඒකනායක මහතා මෙසේ පැවසීය.
"දැනට කුඹුරු ඉඩම් අක්කර 16,200ක පමණ ගොවිජන සංවර්ධන බලප්‍රදේශ මට්ටමින් බඩඉරිඟු, සෝයා, කුරක්කන්, උඳු, මිරිස්, ලොකු ලූනු, කවුපි, මුං, රටකජු, එළවළු, කෙසෙල්, කොමඩු හා ගස්ලබු වගා කර තිබෙනවා. අක්කර 8736.75ක සෝයා හා අක්කර 1279.4ක උඳු වගා කළා. ලොකු ලූනු වගා කර ඇති බිම් ප්‍රමාණය අක්කර 1065ක්. අක්කර 428ක බඩඉරිඟු වගාව සිදු කර ඇති අතර, අක්කර 497.5ක කවුපි හා අක්කර 207.75ක මුං වගාව සාර්ථකව පවත්වාගෙන යනවා. එළවළු වගා කර ඇති කුඹුරු ඉඩම් ප්‍රමාණය අක්කර 2164.3ක්. එහි වට්ටක්කා, වම්බටු, මෑ වර්ග හා බණ්ඩක්කා වගාවට මුල්තැන හිමි වී තිබෙනවා."
නිමල් විජේසිංහ - අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් සමූහ
නව අදහස දක්වන්න