දිවංගත ජනපති රණසිංහ ප්‍රේමදාස 98 වැනි ජන්ම සැමරුම අද | දිනමිණ

දිවංගත ජනපති රණසිංහ ප්‍රේමදාස 98 වැනි ජන්ම සැමරුම අද

පුංචි පවුලක උපත ලැබූ මිනිසුන් සමඟ ජීවත් වී පුංචි අයගේ සමාජයෙන් කළඑළි බැස ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපතිවරයා දක්වා යෑමට රණසිංහ ප්‍රේමදාස මහතාට හැකි වූයේ එදා සිටම අනුගමනය කළ අවංක වූත්, ඍජු වූත් අධිෂ්ඨානශීලී වූත් කැපවීමෙන් යුතු චර්යා රටාව නිසාය. තමා කරන දේ නිසි පරිදි කළා පමණක් නොව, සෙස්සන් ද එම පිළිවෙතට නැඹුරු කිරීමට ප්‍රේමදාසයන් කටයුතු කළේය. කරන දේ හරියට කිරීමට අණ ක‍ළේය. උපදෙස් දුන්නේය. කාලය කා දමමින් ඈළි මෑළිව වැඩ කරන, වැඩ හොර කරන බවට පෙනෙන අය ඔහු තම සමීපයටවත් ගත්තේ නැත. එවැන්නන්ට ප්‍රේමදාස මහතා ළඟ තැනක් නොලැබිණි. අද කළ යුතු දේ අදම, නිසි අයුරින් අවසන් නොකරන අය පලවා හැරියේය.

මීට අවුරුදු විසි නවයකට පෙර මැයි පළමු වැනිදා ලෝක කම්කරු දිනය සමරන දා කොළඹ ආමර්වීදිය මංසන්ධියේදී පෙළපාළිය සංවිධානාත්මකව හසුරුවන්නට ගොස් ඇදහිය නොහැකි අන්දමේ ඛේදවාචකයකට ගොදුරු වී දෙනෝදාහක් ඉදිරිපිට, කිසිවකුට සිතා ගැනීමටවත් නොහැකි අයුරින් ඔහු දෙනෙත පියා ගත්තේය. ඒ අවස්ථාවේ ඊට යාර කිහිපයක් ඈත මම ද සිටි‍යෙමි.

හැමදාමත් ජනතාව දිනාගෙන, ජනතාව අතරේම ජීවත් වෙමින්, ඔවුන්ට සෙත සලසමින්, ඔවුන් සමඟම ඉදිරියට යෑම එතුමාගේ ඒකායන අරමුණ විය. සිදාදියේ මුඩුක්කුවේ ජීවත් වන අසරණ දුප්පත් ජනතාව මෙන්ම, ඈත එපිට ගම් දනව්වල පැල්පතේ කල් ගෙවන ගොවියා ද විවිධ හේතූන් මත සමාජයෙන් කොන් කර, බොහෝ දෙනා පිළිකුලෙන් ඈත් කළ අය ද, අසරණ භාවයට පත්ව සිටි දක්ෂ ගායක ගායිකාවන් ද සොය සොයා ගොස් ඒ සෑම දෙනාටම පිහිටක් වන්නට ඔහු නිරතුරුව වෙහෙසුණේය. "මිනිසුන් තරම් සැපතක් ලොව නැතේය...” යනුවෙන් අරුත්බර කවි ගායනයකට තම අදහස් ගොනු කොට දක්ෂතම ගායකයකු ලවා ලොවට ඇසෙන්නට කියැවූයේ ද ඒ අන් කවරකු නොව, ප්‍රේමදාස මහතාය.

ප්‍රේමදාස මහතා 1939 වර්ෂයේදී පස් දෙනකුගෙන් පමණ ආරම්භ වූ ශ්‍රී සුචරිත වාග් වර්ධන ළමා සමාජය ආරම්භ කොට අමද්‍යප සේවය හරහා සාන්ත බස්තිය‍මේ බහුලව තිබුණු රා තැබෑරුම් සහ අරක්කු තැබෑරුම් වසා දැමීමේ ව්‍යාපාරය මුලින්ම ආරම්භ ක‍ෙළ්ය. සාදු ජන සමාජය දේශපාලන හා වෘත්තීය සමිති ව්‍යාපාරය ද ඔස්සේ ගිය ගමනේදී හැමදාමත් එතුමා උත්සාහ කළේ ජනතාව දිනා ගැනීම මඟින් මෙලොව හැම දෙයම දිනන්නටය. ප්‍රේමදාස මහතාගේ ආත්ම විශ්වාසය, අධිෂ්ඨානය මරණ මොහොත දක්වාම ක්‍රියාත්මක වූ බව අප හැම දෙනාටම දැක ගන්නට ලැබුණි.

දුප්පතාට සේවය කරනවා යැයි බොහෝ දේශපාලනඥයන් කීවේ කියන්නන් වාලේය. විලාසිතාවකට අනුවය. වැඩි දෙනකු හෙළුවේ කිඹුල් කඳුළුය. එහෙත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දුප්පත්කමේ වේදනාව හරියටම හඳුනාගෙන ඔවුන් දිළිඳු බවින් මුදාලීමේ සැබෑ උවමනාව ඇතිව රණසිංහ ප්‍රේමදාස මහතාකටයුතු කළේය. දුප්පත් ජනතාවට ප්‍රදානය කළ 'ජන සවිය' ඊට හොඳම උදාහරණයයි. එතුමා විවේකයක්, විරාමයක් නොමැතිව දවසේ පැය විසි හතරෙන් වැඩි ප්‍රමාණයක් මිඩංගු කළේ, ජනතාවගේ සුබසාධනය සඳහාය. එක් එක් පවුල් වශයෙන් මෙන්ම, ගම් වශයෙන්ම, රට වශයෙන් ද එතුමා එම කටයුතු සොයා බලා නිවැරදිව කිරීමට උපදෙස් දුන්නේය. දිළිඳු ජනතාව සොයා ගමින් ගමට දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට පළාතෙන් පළාතට එතුමා ගියේය.

කොළඹින් පිට නොයන සෑම දිනකම ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා තමන් විසන්ම පාන්දර 4.00, 4.30 වන විට සුචරිතයට යාබද එතුමාගේ නිවෙසේදී පෝලිම්වල සිටින අයගේ දුක්ගැනවිලි, මැසිවිලි, පැමිණිලි තමාම කියවන ලදුව බොහෝ ප්‍රශ්නවලට ඒ මොහොතේම විසඳුම් දුන්නේය. සෙසු ප්‍රශ්නවලට ද අදාළ නිලධාරීන්ට දන්වා ප්‍රමාද නොකර ඉක්මනින් විසඳුම් දීමට කටයුතු කරන ලෙස උපදෙස් දුන්නේය. අලුයම සියලු පුවත්පත් කියවීම එතුමාගේ දෛනික ක්‍රියාවකි. ඒවායේ සඳහන් විවේචන, ප්‍රශ්න පෙන්වාදී අඩුපාඩු, සිදු වී ඇති අයුතු අසාධාරණකම් වී නම් ඒවාට වගකිව යුතු නිලධාරීන් අමතා නිදි පැදුරෙන් අවදි කිරීමත්, වහාම එම අඩුපාඩුකම් සම්පූර්ණ කරවීමත් ඔහුගේ සිරිත විය.

ප්‍රේමදාස මහතා යන හැම තැනකටම ජනතාව පොදි කකා, රැස් කකා, තෙරපි තෙරපී එකතු වූහ. එම වේදිකාවේ ගමේ කොල්ලෙකු, කෙල්ලකු ගීයක් ගයා, නැටුමක් නටා දක්ෂකමක් පෙන්වයි නම් ඔහුට හෝ ඇයට ගුවන්විදුලියේ, රූපවාහිනියේ, ටවර්හෝල් වේදිකාවේ හෝ එල්ෆින්ස්ටන් රඟහලේ තැනක් ලැබේ. එමෙන්ම ඒ හැම තැනකදීම කුමක් හෝ දුක්ගැනවිල්ලක්, පැමිණිල්ලක් නැතහොත් අවනඩුවක් සඳහන් ලියුම් රැගත් අඩු තරමින් විසිපහක, තිහක ජනතාව වේදිකාව අසලට රොක් වෙති. ඒ සියලු ලිපි ප්‍රේමදාස මහතා භාර ගන්නේ ඉමහත් සතුටකිනි. එවාට ද කඩිනමින් අවශ්‍ය කටයුතු සිදු කරයි. පෙත්සම්, සංදේශ පැමිණිලි සිය දහස් ගණන් ලියා මාස ගණන්, අවුරුදු ගණන් බලා සිටියත් තම අවශ්‍යතාව ඉටු නොවූ අයට පිහිට වීමේ අලුත් ක්‍රමයක් ලෙස 'ජංගම සේවාව' නමින් වැඩපිළිවෙළක් ඇරඹීම ද රණසිංහ ප්‍රේමදාසයන් විසින් කරන ලද වැදගත් කාර්යයකි.

 

ශ්‍රී සුචරිත ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම්

දේශමාන්‍ය විජිත කදිරගොන්න

නව අදහස දක්වන්න