කැමරාව බිම තබා අවසන් ගමනට ගිය ‘තලේ’ | දිනමිණ

කැමරාව බිම තබා අවසන් ගමනට ගිය ‘තලේ’

ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණ සිනමා කැමරා ශිල්පියකු වූ එම්. වී. හේමපාල මහතා තම සියලු නිර්මාණ දායකත්වයන් අනාගත පරපුර වෙත රස විඳීමට ඉතිරි කොට මෙලොව හැර ගියේ පසුගිය විසි වැනිදාය. ඒ මහතා මිය යන විට අසූ එක් වැනි වියේ පසු විය. මාවැල්ල විතානගේ හේමපාල මහතා බොහෝ දෙනකු හැඳින්වූයේ 'තලේ' නමිනි. ඊට විශේෂ හේතුවක් වූයේ ඔහුව බොහෝ දෙනා හැඳින්වූයේ තම උපන් ගමේ නමින් කොටසක් ද සමඟ වීමයි. ඔහු උපන්නේ ගාල්ල, අක්මීමන,පිලාන, තලහිටියාව නම් ගමෙහි ය. එනිසා ඔහුව බොහෝ දෙනා හැඳින්වූයේ 'හේමපාල තලේ' නමිනි.

මෙරට සිනමා ගමන් මඟ මෙන්ම ටෙලි නාට්‍ය අංශය පිළිබඳව කතා කිරීමේදී ද හේමපාල මහතාගේ නම සඳහන් නොකරම බැරිය. ඒ මක්නිසාද යත් ශ්‍රේෂ්ඨ ගණයේ නිර්මාණවේදීන්ගේ කලා කෘති සඳහා හේමපාල මහතාගේ දායකත්වය ඉහළින්ම ලැබුණු බැවිනි. කුඩා සන්ධියේදී ගාල්ල තක්ෂිලා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ හෙ‍ෙතම පසු කාලීනව සේන්දු වූයේ දෙහිවල පිහිටි තම මාමා කෙනකුගේ වෙළෙඳ සලක් වෙතයි. එහි නවාතැන් ගත් ඔහුට තම කලා දිවියේ ආරම්භය සිදු වන්නේ දෙහිවලිනි. එහිදී ඔහුට හමු වන්නේ ශ්‍රේෂ්ඨ ගණයේ නාට්‍ය ශිල්පියකු වූ සුගතපාල ද සිල්වා මහතාය. ඔහුගෙන් කලාව පිළිබඳ මුල් පොත් කියැවූ හේමපාල මහතා සිනමාව සම්බන්ධයෙන් හා සිනමා කැමරාකරණය සම්බන්ධයෙන් මුලින්ම බොහෝ දෑ ඉගෙන ගත් ඩී.බී. නිහාල්සිංහයන් අතිනි. හේමපාල මහතා පසුකාලීනව පවා තමාගේ කැමරා ශිල්පීය කටයුතු සම්බන්ධයෙන් සඳහන් කිරීමේදී ගරුත්වයෙන් යුතුව හඳුන්වන්නේ ඩී.බී. නිහාල්සිංහ මහතා පිළිබඳවය.

හේමපාල මහතා තමාගේ ගුරුවරයා ලෙසින් හඳුන්වන ඩී.බී. නිහාල්සිංහයන් හමුවන්නේ සුගතපාල ද සිල්වා මහතාගේ තට්ටු ගෙවල් සහ බෝඩිංකාරයෝ නාට්‍ය පුහුණුවීම් කටයුතු නැරඹීමට ගිය අවස්ථාවකදීය. ඒ අතරවාරයේදී ඔහුට ඩී.බී. අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් රූගත කිරීමේ අවස්ථාව නැරඹීමට ද ලැබිණි. මේ සියලු කටයුතුවලින් හේමපාල මහතා තුළ සැඟව සිටි කලා ශිල්පීය ගුණයන් මතු විය. මේ දෑ නිසා හේමපාල මහතා කිසිත් අපේක්ෂා නොකළ මොහොතක නිහාල්සිංහයන් කැමරා අධ්‍යක්ෂණය කළ 'සත් සමුදුර' චිත්‍රපටයට සම්බන්ධ වීමේ අවස්ථාව ලැබිණි. ඒ 1962 වසරේදී ය. සුවිශේෂිතම කාරණාව වන්නේ ශ්‍රී ලාංකේය ටෙලි නාට්‍ය වංශ කතාවේ ප්‍රථම ටෙලිනාට්‍ය වන 'දිමුතු මුතු' ටෙලි නාට්‍යයේ කැමරා ශිල්පියා වශයෙන් ද කටයුතු කරන්නට අවස්ථාව ලැබුණේ හේමපාල මහතාට වීමය. ඉන්පසු 'සුදු සහ කළු' ටෙලි නාට්‍ය මෙන්ම 'රේඛාව' ටෙලි නාට්‍යයට සම්බන්ධ වූ ඔහු ඒ සියලු ටෙලි නිර්මාණ සඳහා සම්මානයෙන් පාත්‍ර විය.

හේමපාල මහතා චිත්‍රපට 150කට අධික සංඛ්‍යාවකට කැමරා ශිල්පියකු වශයෙන් සම්බන්ධ වී ඇති අතර, 1986 වසරේ හොඳම වර්ණ කැමරා ශිල්පියාට හිමි සම්මානය දිනා ගන්නට ද සමත් විය. එම සම්මානය ඔහු දිනා ගත්තේ ධර්ම ශ්‍රී කල්දේරා අධ්‍යක්ෂණය කළ 'ගිම්හානයේ ගී නාදය' චිත්‍රපටයේ කැමරාකරණය වෙනුවෙනි. ඒ ඔහුගේ ප්‍රථම වර්ණ කැමරා අධ්‍යක්ෂණයයි. එමෙන්ම 'කෙළි මඬල' චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය සඳහා ජනාධිපති සම්මානය දිනා ගැනීමට හා සරසවි සම්මානය දිනා ගන්නට සමත් වූ අතර, රේඛාව ටෙලි නාට්‍යයේ හොඳම ආලෝකකරණ ශිල්පියා මෙන්ම 'දිමුතු මුතු', 'සුදු සහ කළු' ටෙලිනාට්‍ය සඳහා ද සම්මානයෙන් පාත්‍ර වන්නට ද වරම් ලැබීය. 'සත් සමුදුර' චිත්‍රපටයට සම්බන්ධ වීමෙන් සිනමා ගමන් මඟ ඇරඹි හේමපාල මහතා පසුකාලීනව ටයිටස් තොටවත්ත, වාමදේවන්, ලෙනින් මොරායස්, ඇන්ඩෘ ජයමාන්න යන ප්‍රවීණ කැමරා ශිල්පීන්ගේ සහාය කැමරා ශිල්පියා වශයෙන් ද කටයුතු කරන්නට වරම් ලැබීය. ඔවුන්ගෙන් ගත් ගුරුහරුකම් සමඟ හේමපාල මහතා මුල් වරට ප්‍රධාන කැමරා ශිල්පියා වශයෙන් චිත්‍රපටයකට සම්බන්ධ වූයේ ජෝ මයිකල් මහතාගේ 'සිරිල් මල්ලි' චිත්‍රපටයටය. ඉන්පසුව වැලිකතර, සැණකෙළිය, චණ්ඩි පුතා, හාරලක්සෙ මංකොල්ලය, මරුවා සමඟ වාසේ, බඩුත් එක්ක හොරු, මුතුමැණිකේ, කෙළිමඬල, තුත්තිරි මල්, රිදී නිම්නය, කිවුලෙගෙදර මොහොට්ටාල වැනි චිත්‍රපට ගණනාවකට සම්බන්ධ වීමේ අවස්ථාව ලද්දේය. ටෙලි නාට්‍ය විස්සකට වැඩි ප්‍රමාණයකට ඔහු කැමරා අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වී තිබේ. මීට අමතරව රූපවාහිනී වෙළෙඳ දැන්වීම් ගණනාවකට ද ඔහු කැමරා අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වූයේය. ස්වර්ණවාහිනී ආයතනයේ පළමු කැමරා ශිල්පියා වශයෙන් සම්බන්ධ වූ හේමපාල මහතා එහි වසර දහයකටත් වැඩි කාලයක් සේවය කළේය. සිනමා නිර්මාණ ගණනාවකට මෙන්ම ටෙලි නාට්‍ය ගණනාවකට ද කැමරා අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වූ ඔහු කලක් රෝගාතුරව සිට පසුගිය විසි වැනිදා තම ජීවිතයට සමු දුන්නේ කලා ක්ෂේත්‍රයේ වසර 50කටත් වඩා කාලයක් අත්දැකීම් බෙදා හදා ගැනීමෙන් අනතුරුවය.

රජිත බස්නායක

නව අදහස දක්වන්න