වැදගත් සිද්ධි තුනක් | දිනමිණ

වැදගත් සිද්ධි තුනක්

රටේ වර්තමාන තත්ත්වය හා ඉදිරි ගමන වටහා ගත හැකි ප්‍රධාන සිදුවීම් තුනක් කෙරෙහි අපගේ අවධානය යොමු කිරීම වටී. අගමැතිවරයා ඉදිරි ආර්ථික සැලැසුම ඉදිරිපත් කිරීම පළමු සිද්ධිය වෙයි. පාර්ලිමේන්තුවේදී එය ඉදිරිපත් කළ ද ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා විපක්ෂය පැමිණ සිටියේ නැත. දෙවන සිද්ධිය නම්, ප්‍රධාන හාල්මෝල් හිමියන් ආණ්ඩුවේ පාලන මිලට සහල් විකිණීමට එකඟ වීමය. මෝල් හිමියන් කලකට පසු හොඳ තීන්දුවක් ගෙන තිබේ. එය මහජනයාගේ පැත්තේ සිට ගත් තීරණයක් බව කිව යුතුය. ධම්මික පෙරේරා ව්‍යාපාරිකයා මහජන නියෝජිතයකු ලෙස දිවුරුම් දීමත් විදේශ විනිමය ඉපැයීම ඔහුගේ ඉලක්කය බව ප්‍රකාශයට පත් වීමත් තුන් වන සිද්ධිය වෙයි.

අගමැතිවරයා පෙන්වා දෙන අන්දමට අයි. එම්. එෆ්. සාකච්ඡා සාර්ථකව ඉදිරියට යයි. කීර්තිමත් ආයතන දෙකක් විසින් ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳ වැඩසටහන කඩිනමින් අවසන් කරනු ලැබේ. එම සැලැසුම් ඉදිරිපත් කිරීමෙන් පසු අයි. එම්. එෆ්. ආයතනය ණය පිළිබඳ තීරණය ගනු ඇත. සියල්ල සඳහා කාලයක් ගත වන බව පැහැදිලිය. ඒ අතර වසරේ අවසන් කාර්තුව සඳහා අන්තර්කාලීන අයවැයක් ඉදිරිපත් කරන බව ද, මිත්‍ර රටවල ප්‍රධානත්වයෙන් විදේශ ආධාර සමුළුවක් පවත්වන බව ද අගමැතිවරයා පෙන්වා දෙයි. මේ ආර්ථික සැලැසුම කෙරෙහි විශ්වාසයක් තබාගත හැකි බව ආර්ථික විශේෂඥයන්ගේ මතය වෙයි.

ඉන්දීය රජය ශ්‍රී ලංකාවට දෙන ආර්ථික සහයෝගය තහවුරු කරනු සඳහා එරට විදේශ ලේකම්තුමා ප්‍රමුඛ නිලධාරී කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ සිටිති. එම නිලධාරීන් මෙරට බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ද සඳහන්ය. මේ අතර අමෙරිකාවේ ආර්ථික විශේෂඥයන් කිහිප දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ නිරීක්ෂණ කටයුතුවල යෙදීමට නියමිත බව ද වාර්තා වෙයි. මේවා ආර්ථිකය ගොඩනැඟීමට අදාළ මූලික සාධක ලෙස පිළිගත හැකිය. රටේ මූලික ආර්ථික ගැටලු විසඳා ගැනීම සඳහා විදේශ ආධාර හා ණය අවශ්‍ය බව පිළිගත් කාරණයකි. අප කැමැති වුව, අකැමැති වුව ආධාර හා ණය ලබා ගත යුතුව තිබේ. සිදු විය යුත්තේ ඒවා ලබා ගැනීම කඩිනම් කිරීමය.

සහල් වෙළෙඳපොළ සම්බන්ධයෙන් ප්‍රධාන වී මෝල් හිමියන් ගෙන ඇති තීරණය අගය කළ යුතුය. ඔවුන්ගේ අදහස වී ඇත්තේ ජනතාව අසීරුතාවකට පත් වී ඇති අවස්ථාවක තමන්ගේ ලාභය ගැන පමණක් අවධානය යොමු කොට කටයුතු කිරීම නුසුදුසු බවය. මෝල් හිමියන් හා ආණ්ඩුව එකම තීරණයක සිට කටයුතු කර නැත. ආණ්ඩුව සහල් සඳහා පාලන මිලක් ප්‍රකාශයට පත් කරන විට මෝල් හිමියෝ සහල් සඟවති. මෝල් හිමියන් සහල් නිකුත් කරන විට ආණ්ඩුව විදේශීය සහල් වෙළෙඳපොළට නිකුත් කරයි. දෙපැත්තේම ඇත්තේ කඹ ඇදීමකි. මේ මොහොතේ එය නතර වී ඇත. එය ජනතාවට සහනයකි. රටේ ව්‍යාපාරිකයන් ආර්ථික අර්බුදය විසඳීමට සහයෝගයක් දීම වැදගත්ය.

රටේ නම ගිය ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා මහජන නියෝජිතයකු ලෙස ආණ්ඩු පක්ෂයට එකතු වීම සුවිශේෂී සිද්ධියකි. ඔහුගේ වැඩි අවධානය යොමු වී ඇත්තේ විදේශීය ආයෝජන ලබා ගනිමින් රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට සහාය දීමය. කීර්තිමත් ව්‍යාපාරිකයන් දේශපාලනයට සම්බන්ධ වීම මෙන්ම ඔවුන් රට ගොඩනැඟීමට හවුල් වීම සුවිශේෂ තත්ත්වයකි. ඔවුන්ගේ කළමනාකරණ හැකියාවන් හා වෙළෙඳ සබඳතා රටේ පොදු යහපත උදෙසා යොදා ගැනීම වැදගත් ලක්ෂණයක් සේ සැලකිය හැකිය. ධම්මික පෙරේරා මහතා සුදුසු තත්ත්වයක තබා ඔහුගෙන් රටට යමක් ලබාගැනීම ආණ්ඩුවට අයත් කාර්යභාරයකි. එය කඩිනමින් ඉටු කිරීමට ආණ්ඩුවේ බලධාරීන් වග බලා ගත යුතුව තිබේ.

වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු කිරීමට ප්‍රමුඛතාව දෙන අතර රට නව අපනයන ආර්ථිකයක් වෙත යොමු කිරීම ආණ්ඩුවේ ඉලක්කය බවය. එය එක්වර හාස්කමකින් කළ හැකි දෙයක් නොවේ. පියවරෙන් පියවර අප ඒ වෙත ගමන් කළ යුතුය. ඒ අතර පවතින දුෂ්කරතා තවත් කෙටි කාලයක් පවතිනු ඇත. ගෑස් ගැටලුව විසඳීම සඳහා ලෝක බැංකු ආධාර ගෙන ඇති අතර ඉන්ධන ගැටලුව තවත් කෙටි කාලයක් පවතින බව පැහැදිලිය. මෙකී අන්තර් කාලය තුළ ඉන්ධන අරපරිස්සමෙන් භාවිත කිරීමත්, ජාවාරම්වලින් වැළකී සිටීමත් රට වැසියාගේ වගකීම වෙයි. රටේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා සියල්ලන්ගේම සහයෝගය අවශ්‍ය වෙයි.

අගමැතිවරයා පෙන්වා දෙන අන්දමට අපගේ අවසන් තුරුම්පුව වී ඇත්තේ අයි.එම්.එෆ්. සහයෝගය පමණි. එම ආයතනයේ සහතිකය නැතිව කිසිදු රටකින් මූල්‍ය සහයෝගයක් ලබා ගත නොහැකිය. ඒ අනුව අපගේ මූලික අවධානය යොමු විය යුත්තේ අයි. එම්. එෆ්. ආයතනය වෙතය. විපක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කර ඇති අතර එයින් සිදු වන ආර්ථික හෝ දේශපාලන හෝ වාසියක් නැත. මේ අවස්ථාවේ සියලු දේශපාලන පක්ෂ රට ගොඩනැඟීමට කොන්දේසි විරහිතව සහයෝගය දිය යුතුය.

නව අදහස දක්වන්න