නැති වෙන්න දෙයක් නැති ඔස්ට්‍රේලියාව අද අන්තිම සටනට තුරුම්පු සොයයි | දිනමිණ

නැති වෙන්න දෙයක් නැති ඔස්ට්‍රේලියාව අද අන්තිම සටනට තුරුම්පු සොයයි

ප්‍රින්ස් ගුණසේකර

කෘතගුණ සලකන්න කහ පාටින් සැරසෙන්න

දශක තුනකට පසු ඔස්ට්‍රේලියාවට එරෙහි සිය පළමු ද්විපාර්ශ්වික එක්දින තරගාවලි ජයග්‍රහණය දැනටමත් මුද්‍රා තබා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ අද පස්වරු 2.30ට පස්වැනි හෙවත් අවසන් දිවා - රාත්‍රී එක්දින තරගයට පිවිසෙති. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අති බහුතර ශ්‍රී ලාංකේය නරඹන්නන්ට එරෙහිව තරගාවලිය 4-1ක් ලෙස විශිෂ්ට ජයක් හිමි කර ගැනීම ඔවුන්ගේ එකම බලාපොරොත්තුව වී තිබේ.

එම සිහිනය සැබෑ වුව හොත් එදා මෙදා තුර ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරග 4ක් පිට පිට ජය ගත් පළමු අවස්ථාව රනින් ලියැවේ. එහෙත් තරගාවලිය පරාජය වී සිටින ඔස්ට්‍රේලියා පිල ලජ්ජාවෙන් මිදීම උදෙසා අද තරගය ජය ගැනීමට සිය උපරිම උත්සාහය දරමින් සිටී. දඟ පන්දුවට උචිත ප්‍රේමදාස තණතිල්ලේ වැඩි වාසි ගැනීමට අවශ්‍ය උපක්‍රම කෙරෙහි ඔස්ට්‍රේලියා කළමනාකාරීත්වයේ අවධානය යොමු වී ඇත.

තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය 2 - 1ක් ලෙස පරාජය වූ ශ්‍රී ලංකා පිලට පල්ලෙකැලේ පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 2ක පරාජයක් අත් වූ අතර, නිමා වූ අනෙක් එක්දින තරග තුනේම ජය ගෙන ඉහළ මානසිකත්වයක සිටී.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වසර 30කට පසු ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවේදී එක්දින තරගාවලි ජයක් වාර්තා කළ පළමු අවස්ථාව මේ සංචාරය බැවින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මතක සටහන් රැසක් තැබීමට සමත්ව සිටිති. 1992දී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල ඇලන් බෝඩර්ගේ කැන්ගරු පිල ආර්. ප්‍රේමදාස පිටියේදීම පරාජයට පත් කොට එම තරගාවලි ජය වාර්තා කර තිබිණි.

රටම අර්බුදයට පත් වී ඇති මොහොතක ඔස්ට්‍රේලියා පිලේ ශ්‍රී ලංකා සංචාරයෙන් විශාල වින්දනයක් ක්‍රීඩා ලෝලීන් ලැබූ අතර, එක්සත් ජාතින්ගේ ආහාර අරමුදල හා වෙනත් සමාජ අරමුදල් ඔස්සේ ශ්‍රී ලංකාවට සහාය දෙන ලෙස ද ඔස්ට්‍රේලියා ක්‍රීඩකයෝ ආයාචනා කළහ. මේ හේතුවෙන් ක්‍රිකට්ලෝලීන් විශාල පිරිසක් සමාජ මාධ්‍ය ඔස්සේ ඔස්ට්‍රේලියා පිලට කෘතගුණ පළ කිරීමේ වැදගත්කම පෙන්වා දෙමින් අද පැවැත්වෙන තරගය නැරැඹීමට පැමිණෙන සියලු දෙනා කහ වර්ණයෙන් සැරසෙන ලෙස ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර මෙතෙක් පැවති එක්දින තරග හතරේදී ඉදිරියෙන්ම සිටින පිතිකරුවන් අතර කුසල් මෙන්ඩිස් ඉනිම් හතරේදී අර්ධ ශතක දෙකක් සමඟ ලකුණු 223ක්, පැතුම් නිශ්ශංක ඉනිම් හතරේදී ශතකයක් හා අර්ධ ශතකයක් සමඟ ලකුණු 220ක්, චරිත් අසලංක ඉනිම් හතරේදී ශතකයක් සමඟ ලකුණු 173ක් රැස් කර ඇත. කවදත් ශ්‍රී ලංකාව සමඟ තරගවලදී ඉදිරියෙන් සිටි ඩේවිඩ් වෝනර් ඉනිම් හතරේදී අර්ධ ශතකයක් සමඟ ලකුණු 145ක් රැස් ඇති අතර, ග්ලේන් මැක්ස්වෙල් ඉනිම් හතරේදී අර්ධ ශතකයක් සමඟ ලකුණු 144ක් වාර්තා කර ඇත.

මේ තරගාවලියේ දැනට ඉදිරියෙන්ම සිටින කඩුලු ලාභීන් වන්නේ පැට් කමින්ස් හා 19 හැවිරිදි දුනිත් වෙල්ලාලගේය. පැට් කමින්ස් තරග 3කදී ලකුණු 120කට කඩුලු 6ක් බිඳ හෙළා සිටින අතර, දුනිත් වෙල්ලාලගේ තරග 4කදී ලකුණු 159කට කඩුලු 6ක් බිඳ හෙලා ඇත. ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩර්සේ, චාමික කරුණාරත්න සහ වනිඳු හසරංග කඩුලු 5 බැගින් දවා ගෙන සිටිති.

එක්දින ක්‍රිකට් තරගාවලියේ දී යොදාගත් තණතීරු ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමටම පාරාවළල්ලක් වනු ඇති බව ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් මාධ්‍ය හමුවේදී පැවසීය. දඟ පන්දු යවන්නන්ට වඩාත් යෝග්‍ය තණතීරු තුළ ක්‍රීඩා කිරීමට අවස්ථාව දීමෙන් ටෙස්ට් තරගාවලියට සූදානම්වීම උදෙසා කදිම අවස්ථාවක් ලැබූ බව ඔහු පැවසීය.

“අපි සැමවිටම බලාපොරොත්තුවෙන්නේ දඟ කැවෙන තණතීරු. මේක ටෙස්ට් තරගාවලියට සූදානම් වීමට නියම අවස්ථාවක්. අප හොඳ පුහුණුවක් ටෙස්ට් තරගාවලියට යන්න ලබා ගත්තා. ප්‍රේමදාස පිටියේ තරග දෙකම එකම තණතීරුවේ ක්‍රීඩා කළා. ඒක තමයි අපටත් ඕනෙ. අපට ඒ පුහුණුව දැල් තුළදී ගන්න බැහැ”

සිව්වැනි එක්දින තරගයට ක්‍රීඩා කළ වෝනර්, ට්‍රැවිස් හෙඩ් මර්නස් ලබුෂේන් හා කැමරන් ග්‍රීන් යන පිතිකරුවන් ටෙස්ට් තරගාවලිය සඳහා ද ක්‍රීඩා කිරීමේ අපේක්ෂාවෙන් පසු වෙති. සීමිත ඕවර තරග අතරතුර ට්‍රැවිස් හෙඩ් ආබාධයකට ලක්ව ඇති හෙයින් ඔහු අද තරගයට ක්‍රීඩා නොකරන බව පැවසේ. ස්ටීව් ස්මිත්ට සහ මිචෙල් ස්ටාක්ට ආබාධ හේතුවෙන් එක්දින තරගාවලිය අහිමි වී ගිය අතර, ටෙස්ට් තරගාවලියට සූදානම් බව ක්‍රිකට් ඔස්ට්‍රේලියා පවසයි.

 

නව අදහස දක්වන්න